(උපාලි ආනන්ද සහ​ බී. ජී. චතුරංග)

​අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පිහිටි දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේ ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන නැමැති අය ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි එළඹෙන 26 වැනි දින විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාට  නියෝග කළේය.

​ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, රුවන්වැලි මහා සෑය ආසන්නයේ පිහිටි දන්සැල් කලාප පරිශ්‍රයේ සත්‍යග්‍රහය පැවති ස්ථානයේ ඇති වූ ගැටුම අතරතුර රාජාංගනය සද්ධාරතන නමැත්තාට පහර දී තුවාල සිදු කිරීමේ සහ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලන්ගොඩ කස්සප හිමියන් හැර අනෙකුත් භික්ෂූන් වහන්සේලා සිව්නමට සහ සිවිල් පිරිමි පුද්ගලයන් දෙදෙනාට සහ කාන්තාවට ඇප ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් මෝසමක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමිනි.

​ඒ අනුව අදාල මෝසම ඉදිරිපත් කරමින් නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් අධිකරණයට කියා සිටියේ, රුවන්වැලි මහා සෑ පරිශ්‍රය අසල දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තම සේවාදායක භික්ෂූන් වහන්සේලා සිව්නම සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අධිකරණ නියෝග මත මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

​එහෙත්, තම සේවාදායක භික්ෂූන් වහන්සේලා සහ එහි සිටි අනෙකුත් පිරිස සමඟ ගැටුමකට මුල පුරමින් කලහකාරී තත්ත්වයක් සැලසුම් කළ රාජාංගනය සද්ධාරතන නමැත්තා ඇතුළු පුද්ගලයන් 25 කට අධික පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, අනුරාධපුර පොලිසිය හිතාමතාම, චේතනාන්විතව අදාළ සැකකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර අත්අඩංගුවට නොගෙන සිටින බවටද නීතිඥවරුන් චෝදනා කළේය

​ප්‍රශ්නගත ගැටුමට මූලිකවම වගකිව යුත්තේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු එම ස්ථානයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් බවද අධිකරණයට පෙන්වා දුන් නීතිඥවරු, කිසිදු ගැටුමක් ඇති නොවීමට වග බලා ගැනීමට පොලිසියට පහසු හැකියාවක් තිබියදී, මැර කණ්ඩායම්වලට රිසිසේ නීතිය අතට ගෙන, නොතිබූ ගැටුමක් ඇති කිරීමට පොලිසිය පහසුවෙන් ඉඩ සලසා දුන් බවද සැල කළ නීතිඥවරුන් මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නරඹන විට, මෙම ගැටුමට මුල් වූ මැර කණ්ඩායම් මෙහෙය වූයේ අනුරාධපුර පොලිසියේ නිලධාරීන් දැයි සැකයක් පවතින බවද සඳහන් කළේය.

​මෙම ගැටුමට අදාළව මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තම සේවාදායක භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් සැකකරුවන්ට ඇප ලබා දීමට ඇප පනත ප්‍රකාරව මෙම අධිකරණයට බලය පවතින බවත්, තම සේවාදායකයින් තව දුරටත් බන්ධනාගාරගත කර සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් නීතිඥවරුන් සඳහන් කළහ.

ඒ අනුව, තම සේවාදායක භික්ෂූන් වහන්සේලා සිව්නම ඇතුළු අනෙකුත් සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද නීතිඥවරු අධිකරණයෙන් අයැද සිටියහ.

​නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා, සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට නීතිඥවරුන් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.