(විමුක්ති එස් රුද්‍රිගු)

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මුහුදේ අටවා තිබූ බෝම්බයක ගැටීමෙන් පිපිරීමක් ඇතිවී විශාල ගින්නක් හටගෙන ඇතැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය පසුගියදා වාර්තා කළේය.

අනුමැතිය ලබානොදුන් මුහුදු මාර්ගයක් ඔස්සේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් පිටවීමට උත්සාහ කිරීමේදී එම මාර්ගයේ අටවා තිබූ බෝම්බයක ගැටී මෙම නෞකාව අනතුරට ලක්ව ඇති බව එම පුවත් සේවය සඳහන් කර තිබේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකට අනුව අදාළ නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් පිටවීමට පෙර සිය නාවික මාර්ගෝපදේශන පද්ධති සහ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති අක්‍රිය කර තිබේ.

අනතුරෙන් පසුව නෞකාවේ ඇතිවූ ගින්න ඉතා විශාල එකක් වී ඇති අතර සැලකිය යුතු දුරකින් පිහිටි වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවා එය දැකගත හැකිවූ බව වාර්තා වේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂක නීති සහ රෙගුලාසි නොසලකා හරිමින් ගමන් කරන ඕනෑම තෙල් ප්‍රවාහන නෞකාවකට මෙවැනි දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.

අවසර නොලත් මුහුදු මාර්ග භාවිත කරන නෞකාවලට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේදී හෝමුස් සමුද්‍ර සන්ධියට පමණක් සීමා නොකරන බවත්, සමස්ත කලාපය පුරා එවැනි නෞකා හඹාගොස් දඬුවම් කරන බවත් එම බලකාය ප්‍රකාශ කර ඇත.