ඥානා කරුණාරත්න
 
තම කුසින් බිහිකළ දරුවන් තිදෙනකු රට වෙනුවෙන් හමුදාවට භාර දී, ඒ අතුරින් දෙදෙනකුම යුදබිමේ දී සදහටම අහිමි වූ මවකගේ හදවත තුළ කොතරම් නම් වේදනාවක් සැඟවී තිබිය හැකි ද?
 
දරුවන්ගේ සෙනෙහසින් පිරී තිබූ ඇගේ ලෝකයෙන් දෙදෙනකුම වෙන්ව ගියද, ඇගේ හදවතේ මව් සෙනෙහස කිසිදා වියැකී ගියේ නැත. ඒ සෙනෙහස දරුවන් දෙදෙනකුගේ මතකයන් තුළ පමණක් සිර නොවී, තවත් ජීවිත සිය ගණනකට ජීවය දෙන්නට සමත් වූයේය. දරුවන් වෙනුවෙන් සිය වාරයකටත් වඩා රුධිරය පරිත්‍යාග කළ ඇය, දරුවන් අහිමි වූ වේදනාව හදවතේ දරාගෙන තවත් දරුවන්ගේ ජීවිත රැකගැනීමට කැප වූ අම්මා කෙනෙකි. තම දරුවන් දෙදෙනකුගේ ජීවිත අහිමි වීමේ අසීමිත වේදනාව තුළින් පවා, තවත් දරුවන්ගේ ජීවිතවලට හුස්මක් වන්නට හැකි වූ ඇය සැබැවින්ම වීර මවකි.
 
ඥානා කරුණාරත්න වන මෙම මව මේ වන විට හැත්තෑපස් වැනි වියේ පසුවන්නීය. බළන්ගොඩ, තලගස්කන්ද ප්‍රදේශයේ උපත ලැබූ ඇය වැඩිමහල්  සහෝදරයන් දෙදෙනකු, වැඩිමහල්  සහෝදරියක් සහ බාල සහෝදරයෙක් යුත් පවුලේ සාමාජිකාවකි. අද වන විට එම සහෝදර සහෝදරියන් අතරින් ජීවතුන් අතර සිටින්නේ ඥානා සහ ඇගේ වැඩිමහල් සහෝදරයා පමණි. ඇගේ මවුපියෝ ගොවියෝ  වූහ.
 
පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයි. ඒ. කරුණාරත්න  සමග ඥානා විවාහදිවියට එළැඹෙන විට ඇය ඉතාම තරුණ වියේ පසුවූවාය.ඒ වනවිට ඇගේ වයස අවුරුදු දහඅටකි.
 
"මගේ විවාහය සිද්ධ වුණේ තාත්තා හොයලා දීපු කෙනෙක් එක්කයි. මහත්තයාගේ නම කරුණාරත්න. එයා පදිංචි වෙලා හිටියේ පැල්මඩුල්ලේ. රක්වානේ වත්තක කොන්දොස්තර කෙනෙක් විදිහට මහත්තයා වැඩ කළා. ඒ කාලේ අපිට හාල් - පොල් කඩයකුත් තිබුණා. මහත්තයා රස්සාවට ගියාට පස්සේ මම තමයි කඩේ වැඩ ටික කරගෙන ගියේ.
 
අපිට දරුවෝ හතර දෙනෙක් හිටියා. ලොකු පුතා සමන් කරුණාරත්න. දෙවැනි පුතා චමින්ද කරුණාරත්න. තුන්වැනි පුතා රුවන් කරුණාරත්න. ඒ පුතාලා තුන්දෙනාට පස්සේ අපිට දුවෙක් ලැබුණා. එයා දර්ශනී කරුණාරත්න. මගේ ජීවිතේ ලොකුම කඩාවැටීම සිද්ධ වුණේ 1988 ජුනි මාසයේ දී. මහත්තයා හෘද රෝගයකින් මියගියා. එතකොට මට වයස අවුරුදු තිහයි. මහත්තයා මට වඩා අවුරුදු දාහතක් වැඩිමහල්. එයා මිය යනකොට මගේ ලොකු පුතාට අවුරුදු දාහතයි. බාල දුවට යන්තම් අවුරුදු දෙකහමාරයි.
 
එදා ඉඳන් පුංචි දරුවෝ හතරදෙනෙක්ගේ මුළු වගකීමම මගේ කරපිටට වැටුණා. ඒ දවස්වල මට දැනුණ දුක වචනවලින් කියන්න බැහැ. මහත්තයා නැති වුණාට පස්සේ දරුවෝ හතර දෙනාගේ ජීවිත ගොඩනඟාගන්න මම පුදුම දුක් කන්දරාවක් වින්දා. මගේ සහෝදර සහෝදරියෝ වගේම මහත්තයාගේ නෑදෑයොත්  මට ගොඩක් උදව් කළා. මට තිබුණේ එකම බලාපොරොත්තුවයි. මොන දුකක් විඳලා හරි මගේ දරුවෝ හතරදෙනාව හොඳින් උස්මහත් කරලා, එයාලගේ ජීවිත සාර්ථක කරලා දෙන එකයි. මහත්තයා නැති වුණා කියලා මම ඒ අයට කිසිම දේකින් අඩුවක් කලේ නැහැ.”
 
“මට අවුරුදු තිහේ දී තමයි මම මුලින්ම ලේ දන් දුන්නේ. ඊට පස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ මම ක්‍රියාන්විතේ දි මියගිය දරුවන් දෙන්නා වෙනුවෙන් අවුරැදු ගානක් ලේ දන් දුන්නා. හැම අවුරුද්දකම වාර තුනක් විතර ලේ දන් දුන්නා. මට හිතුණේ මගේ දරුවෝ නැති වුණත්, තවත් අම්මා කෙනකුගේ දරුවෙක්ගේ ජීවිතයක් හරි මගේ ලේවලින් බේරගන්න පුළුවන් නම් ඒක ඒ පින මගේ නැති වුණ දරැවෝ දෙන්නාට අත් වෙන්න කියලායි ලේ දුන්නේ.”
 
ඥානා අම්මාගේ දරුවෝ අධ්‍යාපනය ලැබුවේ පල්ලේබැද්ද වජිරවංශ මහා විද්‍යාලයෙන් ය. සැමියාගේ වියෝවෙන් පසු දරුවන් සිව්දෙනාගේ අනාගතය ගොඩනැගීමේ වගකීම කරට ගත් ඥානා අම්මාට ඒ ගමන පහසු වූයේ නැත. ආර්ථික දුෂ්කරතා දිනෙන් දින උග්‍ර වෙද්දී, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ද ඇයට විශාල අරගලයක නිරත වීමට සිදුවිය.මව නිහඬව විඳින දුකත්, බාල සහෝදරයන් දෙදෙනාගේ සහ සහෝදරියගේ අනාගතය වෙනුවෙන් ඇය දරන වෙහෙසත් වැඩිමහල් පුතු සමන්ට රහසක් වූයේ නැත. මවගේ බර සැහැල්ලු කළ යුතුය යන හැඟීම ඔහුගේ සිත තුළ දලුලා වැඩෙන්නට විය. ඒ අනුව උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටි වැඩිමහල් පුතා සමන් හමුදා සේවයට එක්වීමට තීරණය කළේය. ඒ වන විට රටේ  පැවතියේ  දරුණු යුධ සමයකි.  සමන්ගේ එම තීරණයට ඥානා අම්මාගේ දෙවැනි පුතා චමින්දට ද යම් බලපෑමක් කළේය.
 
“ඒ කාලේ මගේ අයියත් හමුදාවේ සේවය කළා. ඒ නිසා පුතා හමුදාවට යනවා කියපු වෙලාවේ මගේ හිතේ ලොකු බයක් තිබුණේ නැහැ. ඒ වගේම මහත්තයා මියගියා කියලා මගේ අයියගේ පවුලේ අය අපේ දරුවන්ව අතහැරියේ නැහැ. ඒ අය අදටත් මං ගැන හොයලා බලනවා. ඒක මට ලොකු ශක්තියක්. මගේ ලොකු පුතා සමන් හමුදාවට බැඳුණේ 1992 අවුරුද්දේ. පුතා සේවය කළේ යුද්ධ හමුදාවේ පස්වැනි ගජබා රෙජිමේන්තුවේ. ඒ කාලේ අද වගේ හැම වෙලාවෙම දුරකථනයෙන් කතා කරන්න පහසුකම් තිබුණේ නැහැ. පුතාට ඉඩක් ලැබෙන හැම වෙලාවකම මට ලියුමක් එවනවා.
 
ඒ කාලේ මට තිබුණ ලොකුම බලාපොරොත්තුව තමයි පුතාගෙන් ලියුමක් එන එක. ලියුම් බෙදන මහත්තයාගේ බයිසිකලේ බෙල් එකේ සද්දේ ඇහෙන කොටම මම පාරට දුවනවා. පුතාගෙන් ලියුමක් ඇති කියලා හිතාගෙන කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත්, ගොඩක් දවස්වලට මම ගෙදරට ගියේ හිස් අතින්. පුතාගෙන් ලියුමක් නැති දවසට හිතට දැනෙන දුක කියලා නිම කරන්න බැහැ. ඒත් පුතා හොඳින් ඇති කියලා හිත හදාගෙන මම ආයෙත් ඊළඟ දවසේ ලියුමක් එනකම් බලාගෙන ඉන්නවා.
 
ලොකු පුතා හමුදාවට ගිහින් ටික කාලයක් ගතවෙද්දී මගේ දෙවැනි පුතා චමින්දත් වයස අවුරුදු දහඅට වෙද්දී හමුදාවට යන්න ඕනේ කිව්වා. මම එයාට අකමැත්තක් පෙන්නුවේ නැහැ. ඒ අනුව චමින්ද පුතාත් 1994 අවුරුද්දේ හමුදාවට බැඳුණා.
 
දරුවෝ දෙන්නෙක්ම හමුදාවට ගියාට පස්ස මගේ හිතේ තිබුණේ එකම බලාපොරොත්තුවයි.ඒ දෙන්නා කොහේ හිටියත් ආරක්ෂිතව ඉඳලා ආයෙත් මගේ ළඟට එයි කියන එක. දරුවෝ දෙන්නා මතක් වෙලා මට වතුර උගුරක්වත් බොන්න බැරි තරම් දුකක් දැනෙන දවස් තිබුණා.
 
අයියලා දෙන්නම හමුදාවට ගියාට පස්සේ මගේ බාල පුතු රුවන්ටත්  හමුදාවට යන්න ආසාවක් ඇති වුණා. එයාටත් ඕන වුණේ අයියලා දෙන්නා වගේ හමුදා සේවයට එකතු වෙන්නයි. ඒ වෙලාවේ මගේ හිතට ලොකු බයක් දැනුණා.
 
මම පුතාට කිව්වා, ‘අනේ පුතේ, ඔයා නම් හමුදාවට යන්න එපා. ඔයා මහණ වෙන්න කියලා. මට ඕන වුණේ මගේ දරුවෝ තුන්දෙනාම ආරක්ෂිතව ඉන්නවා දකින්නයි. ඒත් පුතාගේ හිතේ තිබුණේ අයියලා දෙන්නා වගේ හමුදාවට යන්න. අන්තිමේදී මගේ බාල පුතාත් 2000 අවුරුද්දේ හමුදාට බැඳුණා. එදා මගේ දරුවෝ තුන්දෙනාම රට වෙනුවෙන් හමුදා සේවයට ගිය දවසේ මගේ හිතේ තිබුණ හැඟීම මට අදටත් වචනවලින් කියන්න බැහැ. මම ඒ දරුවෝ තුන්දෙනාවම හදා වඩා ගත්තේ බොහොම දුක් මහන්සියෙන්. ඒත් ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මම හිත හදාගත්තා."
 
ජීවිතය සැබැවින්ම පුදුමාකාරය. රටේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකි අනාගතයක් උදාකර දීම වෙනුවෙන් තම අවසන් හුස්ම මේ වාතලයට මුසු කළ රණවිරු දරුවන් කොතෙකුත් සිටිති. එහෙත් තම කුසින් බිහි කළ දරුවන් තිදෙනකුම රට වෙනුවෙන් හමුදා සේවයට යැවූ මවකට, ඒ අතරින් දෙදෙනකුම සදහටම අහිමි වීමේ වේදනාවේ නිමක් නැත.
 
 
දකුණු පසින් දෙවැනි පුතු චමින්ද මැද වැඩිමහල් පුතු සමන් වම් පසින් බාල පුතු රුවන්
 
එදා ඥානාගේ දෙනෙතින් කඩා හැළුණු කඳුළු අදටත් වියළී ගොස් නැත. කාලය ගෙවී ගියද, දරුවන් පිළිබඳ මතකයන් හදවතට සමීප වන සෑම මොහොතකම ඇගේ දෙනෙත් කඳුළින් බර වෙයි. මවකගේ හදවතේ දරුවන් වෙනුවෙන් උපන් සෙනෙහසට කාලය විසින් සීමා පැනවිය නොහැකිය. එබැවින් රුවන් නොසිටියද, ඔහු පිළිබඳ මතකය ඥානාගේ හදවත තුළ සදාකාලිකවම ජීවමානව පවතිනු ඇත.
 
"2005 වසරේ යාපනයේ පුල්තිරිපුර ප්‍රදේශයේ දී රුවන් මගේ බාල පුතු නැති වෙනවා. බාල පුතා රුවන් මිය ගිහින් අවුරුද්දක් ගත වෙන්නත් කලින්, 2006 අවුරුද්දේ මගේ දෙවැනි පුතා චමින්දත් මට නැති වුණා. චමින්ද පුතා මියගියේ මුහමලේ සටනේ දී. ඒ වෙලාවේ පුතා යටතේ නිලධාරීන් 48 දෙනෙක් විතර සේවය කරලා තියෙනවා. ඒ අය අතරින් විශාල පිරිසක් ඒ සටනේ දී මියගිහින් තිබුණා. ඒ අතර මගේ පුතත් හිටියා. ඒ සටනේදී 300කට අධික පිරිසක් මියගිය බවත් අපිට දැනගන්න ලැබුණා.
 
ඒ කාලේ අපේ ගමේ තරුණයෝ බොහෝ දෙනෙක් හමුදාවේ සේවය කළා. අපි හැමෝම හිටියේ පුදුම බයකින්. දරුවෝ යුද්ධයට ගිහින් ආරක්ෂිතව ආපහු එයිද කියන බලාපොරොත්තුවෙන් තමයි මම ජීවත් වුණේ. ඒ දවස්වල මම වැඩිපුරම හිටියේ පන්සලේ. ගමේ අම්මලා එකතු වෙලා අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බෝධි පූජා පැවැත්වුවා. අපේ පවුලේ අයත් පහළොස් දෙනෙක් විතර ඒ වෙනුවෙන් එකතු වෙලා හිටියා. අපි හැමෝම ප්‍රාර්ථනා කළේ අපේ දරුවන්ට කිසිම කරදරයක් නොවී ආපහු ගෙදර එන්න ලැබෙන්න කියලයි.
 
ඒත් මගේ බලාපොරොත්තු ඔක්කොම බිඳ වැටුණා. බාල පුතා රුවන් මියගිය වෙලාවේ ඉඳන් මගේ හිතේ තිබුණ දුක පහවෙන්නත් කලින් දෙවැනි පුතාත් මට නැති වුණා. චමින්ද පුතා මියගිය ආරංචිය පොලිසියෙන් තමයි අපේ ගෙදරට ඇවිත් කිව්වේ. ඒ වෙද්දී මම අසනීප තත්ත්වයක් නිසා රත්නපුර රෝහලට ගිහින් හිටියේ. මම ආපහු ගෙදර එද්දී මුළු ගමම අපේ ගෙදරට ඇවිත් හිටියා. ඒ ආරංචිය ඇහුව්වාම මගේ ජීවිතේම එදා කඩා වැටුණා. ඒ දවස මට කවදාවත් අමතක කරන්න බැහැ. අවසානයේ දරුවෝ දෙන්නා වෙනුවෙන් අඬලා අඬලා මට අඬන්න කඳුළු ඉතුරු වුණේ නැහැ.
 
මගේ චමින්ද පුතා හමුදාවේ විදුලි හා යාන්ත්‍රක ඉංජිනේරු අංශයේ සේවය කළේ. පුතා මියයනකොට වයස අවුරුදු විසිහතයි. ඒ වෙනකොට පුතා විවාහ වෙලා හිටියේ. මගේ දරුවෝ දෙන්නෙක්ම රට වෙනුවෙන් ජීවිත පූජා කළා. ඒත් ඒ දරුවෝ දෙන්නා නැති වුණා කියලා මගේ හිතේ තිබුණ වේදනාව කාටවත් කියලා නිම කරන්න බැහැ.
 
බාල පුතා රුවන් විවාහ වෙලා හිටියේ නැති නිසා පුතා මියගිය මුල් මාස තුන තුළ රණවිරුවකු වෙනුවෙන් ලැබෙන දීමනා, වරප්‍රසාද සහ හමුදා ගෞරවය ලැබුණා. නමුත් බාල පුතාගේ මරණය අසාමාන්‍ය හේතුවක් යටතේ සිදු වූවක් ලෙස සඳහන් කරමින් කිසිදු දීමනාවක් හෝ වැටුපක් ලැබුණේ නැහැ. ඒ ගැනත් මගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා. මගේ දරුවා රට වෙනුවෙන් සේවය කළ කෙනෙක්. එයා මට නැති වුණත්, එයාගේ කැපවීමේ වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ කියන එකයි මම හිතන්නේ.”
 
කරුණාරත්න මහත්මිය රණවිරු දරුවන් බිහි කළ වීර මාතාවක් පමණක් නොව, එවැනි වීර දරුවන්ගේ ජීවිත රැකගැනීමේ අරමුණින් සිය වාරයකටත් වඩා රුධිරය පරිත්‍යාග කළ උතුම් මවකි. තම දරුවන් වෙනුවෙන් හදවතේ උපන් සෙනෙහස, රට වෙනුවෙන් දිවි කැප කළ තවත් දරුවන් රැසකගේ ජීවිතවලට ජීවය ලබා දීමේ උතුම් පරිත්‍යාගයක් බවට පත් කළ ඇය සැබැවින්ම අභිමානවත් වීර මාතාවකි.
 
“මට අවුරුදු තිහේ දී තමයි මම මුලින්ම ලේ දන් දුන්නේ. ඊට පස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ මම ක්‍රියාන්විතේ දි මියගිය දරුවන් දෙන්නා වෙනුවෙන් අවුරැදු ගානක් ලේ දන් දුන්නා. හැම අවුරුද්දකම වාර තුනක් විතර ලේ දන් දුන්නා. මට හිතුණේ මගේ දරුවෝ නැති වුණත්, තවත් අම්මා කෙනකුගේ දරුවෙක්ගේ ජීවිතයක් හරි මගේ ලේවලින් බේරගන්න පුළුවන් නම් ඒක ඒ පින මගේ නැති වුණ දරැවෝ දෙන්නාට අත් වෙන්න කියලායි ලේ දුන්නේ.
 
අද වෙද්දී මම වාර 105ක් ලේ දන් දීලා තියෙනවා. වයස අවුරුදු හැටෙන් පස්සේ ලේ දන් දෙන්න බැහැ. ඒ නිසා දැන් මට ඒ පින්කම කරන්න විදියක් නැහැ. මම ලේ දන් දුන්න කාලේ ගැන මතක් වෙද්දී මගේ හිතට සතුටක් දැනෙනවා. මගේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි වුණ දේ, තවත් දරුවන් වෙනුවෙන් හරි කරන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා.
 
දැන් නම් මම ගොඩක් අසනීපයෙන් ඉන්නේ. විවිධ ලෙඩ රෝග තියෙනවා. අන්තිමට මට පිළිකාවක් පවා හැදුණා. ඒත් මගේ බෙහෙත් හේත්වලට අවශ්‍ය දේවල් මගේ ලොකු පුතා සමන්, මගේ සහෝදරියගේ පුතාලා ඇතුළු පවුලේ අය එකතු වෙලා කරලා දෙනවා. ඒ අය මාව හොඳින් බලාගන්නවා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක් වගේම කෘතඥතාවක්.
 
රණවිරු සේවා අධිකාරියෙනුත් මට මුදලක් ලැබනවා. අපේ පළාතේ සේවා නිලධාරී කර්නල් නුවන් ධම්මික මහත්තයා මට ගොඩක් උදව් කරලා තියෙනවා. මගේ ලොකු පුතා විශ්‍රාම ගියාට පස්සේ හමුදා රෝහලෙන් මට ප්‍රතිකාර ගන්න තිබුණ අවස්ථාව නතර වුණා. ඒත් හමුදාපතිතුමාගේ සහ රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීමෙන් නැවතත් හමුදා රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හැමෝටම මම ස්තුති කරනවා.
 
මට අද මොන දේ තිබුණත්, මගේ හිතේ තියෙන ලොකුම අඩුව මගේ දරුවෝ දෙන්නා නැති එක. මම කොච්චර වැඩක හිටියත්, කොහේ ගියත් ඒ දරුවෝ දෙන්නා මට හැම වෙලාවෙම මතක් වෙනවා. "
 
දරුවන් දෙදෙනකු අහිමි වීමේ වේදනාව හදවතේ දරාගෙන, තවත් දරුවන් සිය ගණනකගේ ජීවිත වෙනුවෙන් සිය රුධිරය පරිත්‍යාග කළ ඥානා කරුණාරත්න  මාතාව සැබැවින්ම උතුම් වීර මාතාවකි. ඇගේ දෙනෙතින් ගලා ගිය කඳුළු අතරින් උපන් ඒ උතුම් පරිත්‍යාගය, මව් සෙනෙහසේ අසීමිත බවට සදාකාලික සාක්ෂියකි. තම දරුවන් දෙදෙනාගේ ජීවිත රැකගැනීමට නොහැකි වුවද, තවත් මව්වරුන්ගේ දෙනෙත්වල කඳුළු පිස දමන්නට ඇය කළ කැපවීම කිසිදා අමතක නොවනු ඇත.
 
ස්තූතිය: සංජීව රත්නායකට
දිශානි ජයමාලි කරුණාරත්න