ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, රජයේ 2027 අයවැය උණුසුම්ව පිළිගන්නා අතර, කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර අඛණ්ඩව පෙනී සිටිමින් ඉල්ලා සිටි යෝජනා දෙකක් වන “සැමට කොටසක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) ලැයිස්තුගත කිරීම සඳහා සහාය දැක්වීමේ යාන්ත්‍රණය ජාතික අයවැය රාමුවට ඇතුළත් කර පිළිගැනීම පිළිබඳව විශේෂයෙන් සතුටු වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීමට, ආයෝජක සහභාගිත්වය ඉහළ නැංවීමට සහ ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන උත්පාදනය අතර සබඳතාව ශක්තිමත් කිරීමට අප සාමුහිකව දරන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම යෝජිත ව්‍යාපෘති නියෝජනය කරයි.

සුරැකුම්පත් වෙළෙඳ පොළේ සංවර්ධනය සම්බන්ධයෙන් රජයට උපදෙස් ලබා දීම සහ සුරැකුම්පත් වෙළෙඳ පොළට අදාළ රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සහාය වීම කොමිෂන් සභාවේ බලතල, යුතුකම් සහ කාර්යයන් අතර වේ. මෙම යෝජනා අප විසින් ඉදිරිපත් කරන ලද්දේ එම වගකීම යටතේ වන අතර, ඒවා ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි සතුටු වෙමු.

ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජයේ සියලු පාර්ශ්වයන්ට ප්‍රවේශ විය හැකි එකක් විය යුතු බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව දිගු කලක සිට අවධාරණය කර ඇති කරුණකි. “දැනගනිමු, ඉගෙන ගනිමු, ආයෝජනය කරමු” යන දැක්ම යටතේ හඳුන්වා දෙන “සැමට කොටසක්” වැඩසටහන, නව පරම්පරාවක ආයෝජකයින් බිහි කිරීමේ පුරෝගාමී පියවරකි. සුදුසුකම් ලත් උසස් පෙළ සිසුන්ට ප්‍රාග්ධන වෙළෙඳ පොළට පිවිසීමට සහ ආයෝජනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම තුළින්, මෙම වැඩ සටහන මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමටත්, දිගු කාලීන ප්‍රාග්ධන සම්පාදනය ප්‍රවර්ධනය කිරීමටත් දායක වේ. එමෙන්ම, ශ්‍රී ලාංකික තරුණ පරපුර අතර දැනුවත් හා වගකීම් සහගත ආයෝජන සංස්කෘතියක් ගොඩ නැගීමට ද මෙම වැඩසටහන උපකාරී වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලැයිස්තුගත කිරීම සඳහා වන සහාය යාන්ත්‍රණය හඳුන්වා දීම ද ඒ හා සමානවම වැදගත් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර, රැකියා උත්පාදනය, නවෝත්පාදනය සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි. කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත වීම හරහා ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය වීමෙන්, එම ව්‍යවසායන්ගේ වර්ධනය සඳහා නව මංපෙත් විවර වන අතර, ආයතනික පාලන ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමටත්, විනිවිද භාවය ඉහළ නැංවීමටත් අවස්ථාව සැලසේ. එමෙන්ම, මහජනතාවට පුළුල් පරාසයක ආයෝජන අවස්ථා ද නිර්මාණය වේ.

වර්තමානයේදී, රටේ පවතින සම්පූර්ණ හැකියාවට සාපේක්ෂව ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සහභාගිත්වය තවමත් සාපේක්ෂව පහළ මට්ටමක පවතී. මෙම ව්‍යාපෘති දෙක ඉල්ලුම සහ සැපයුම යන දෙඅංශයෙන්ම එම අභියෝගයට සෘජුවම විසඳුම් සපයයි. “සැමට කොටසක් “ වැඩසටහන ආයෝජක පදනම පුළුල් කිරීම සහ ශක්තිමත් ආයෝජන සංස්කෘතියක් ගොඩනැගීම අරමුණු කරගන්නා අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලයිස්තු ගත කිරීම සඳහා වන සහාය යාන්ත්‍රණය, වැඩි ව්‍යාපාර සංඛ්‍යාවකට ප්‍රාග්ධන වෙළෙඳ පොළට පිවිසීම දිරිගන්වයි. එමඟින් ශ්‍රී ලාංකික ආයෝජකයින්ට හිමි වන ආයෝජන අවස්ථාවන්හි විවිධත්වය සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළේ පුළුල් භාවය තවදුරටත් වර්ධනය වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයේදී ප්‍රාග්ධන වෙළෙඳ පොළට ඉටු කළ හැකි වැදගත් කාර්යභාරය රජය විසින් හඳුනා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විශේෂයෙන් සතුටු වේ. පුළුල් ආයෝජක ප්‍රජාවක් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ලයිස්තුගත සමාගම් සංඛ්‍යාවක් බිහිවීම තුළින් ප්‍රාග්ධනය සම්පාදනය, මූල්‍ය සේවාවන්ට ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, වෙළෙඳ පොළේ ගනුදෙනු පහසු කිරීම සහ දිගු කාලීන ආර්ථික අභියෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා දායකත්වයක් සැලසෙනු ඇත.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් වෙන් කිරීම තුළින් රජය පෙන්නුම් කරන කැපවීමත්, කොළඹ කොටස් හුවමාරුව සහ අනෙකුත් වෙළෙඳ පොළ පාර්ශ්ව කරුවන් සම්බන්ධ කරගනිමින් අනුගමනය කරන සහයෝගී ප්‍රවේශයත් අපි අගය කරන්නෙමු. සිසුන්ට, ව්‍යවසායකයන්ට, ව්‍යාපාර වලට, ආයෝජකයින්ට මෙන්ම සමස්ත ආර්ථිකයටම ප්‍රතිලාභ සැලසෙන, සියලු දෙනාට සහභාගි විය හැකි, ක්‍රියාශීලී හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රාග්ධන වෙළෙඳපොළ පද්ධතියක් ගොඩනැගීමේ පොදු දැක්ම මෙම හවුල්කාරීත්වය තුළින් පිළිබිඹු වේ.

මෙම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, කොළඹ කොටස් හුවමාරුව, වෙළෙඳපොළ අතර මැදියන්, අධ්‍යාපන ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව බලාපොරොත්තු වේ. 2027 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ මෙම ක්‍රියාමාර්ග, ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වැඩි පිරිසකගේ සහභාගිත්වයක් ඇති කිරීම සඳහා නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ සමෘද්ධියට අර්ථවත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ යෝජනා සලකා බැලීමට දැක්වූ කැමැත්ත, ලබාදුන් සහාය සහ මඟපෙන්වීම වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය,  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට; මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, චතුරංග අබේසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිය අවංක කෘතඥතාව පළ කරයි.

“ මේවා හුදෙක් අයවැය යෝජනා පමණක් නොවේ. මේවා ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජකයන්, අනාගත ව්‍යවසායකයන් සහ අනාගත ආර්ථික වර්ධනය වෙනුවෙන් සිදු කරන ආයෝජනයන්ය. මෙම දිගු කාලීන යෝජනා සලකා බැලීම පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ආඩම්බර වන අතර, රටේ යහපත උදෙසා ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු.”