ලොව ප්‍රමුඛ පෙළේ තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Dulux තීන්ත නිෂ්පාදකයාද වන AkzoNobel සමාගම, Dulux  නිෂ්පාදන භාවිත කරන පින්තාරු ශිල්පීන්ට උපහාර පිදීම සඳහා ‘පින්තාරු ප්‍රණාම’ නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ. 

මෙම වැඩසටහන යටතේ සැප්තැම්බර් 18 දින Water’s Edge  හිදී පැවැත්වුණු උත්සවයට දක්ෂ පින්තාරු ශිල්පීහු රැසක් එක්වූහ. එහිදී AkzoNobel  සමාගමේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය වෙනුවෙන් මෙන්මDulux  සන්නාමය කෙරෙහි දක්වන ළැදියාව වෙනුවෙන් ඔවුන්ට කෘතඥතාව පළකරමින් ත්‍යාග පිරිනමන ලදි. 

මෙම වැඩසටහන සම්බන්ධයෙන් AkzoNobel Paints Lanka  (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අමිල ඉන්දික මහතා මෙසේ අදහස් පළ කළේය. “අපගේ පින්තාරු ශිල්පීන්ගේ විශිෂ්ට හැකියාව, දැනුම සහ කැපවීම නොවන්නටDulux  නිෂ්පාදනවල සැබෑ ප්‍රමිතිය හා අලංකාරය සියයට සියයක් මතු කර දැක්වීම දුෂ්කර වන්නට ඉඩ තිබුණා. අප කවදත් අපගේ පින්තාරු ශිල්පීන්ගේ දායකත්වය ඉහළින් අගය කර තිබෙනවා. ‘පින්තාරු ප්‍රණාම’ ඔස්සේ එම මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම අපගේ අරමුණයි. එමෙන්ම අපගේ පින්තාරු ශිල්පීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වඩා යහපත් ජීවිත හා දීප්තිමත් අනාගතයක් උරුම කර දීමට අපට අවශ්‍යයි.” 

මෙම උත්සවයට සහභාගි වූවන්ට AkzoNobel  මගින් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත නව නිෂ්පාදන, ප්‍රවර්ධන වැඩසටහන් සහDulux Painter  ජංගමය යෙදුමේ (App) දෙවැනි අදියරේ යාවත්කාලීන කිරීම් ඇතුළුව මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ විශේෂ තොරතුරු රැසක් දැනගැනීමට අවස්ථාව හිමි විය. තමන් සමග අත්වැල් බැඳගෙන සිටින පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් සමාගම දක්වන උනන්දුවෙහි තවත් පියවරක් වශයෙන් එදින ප්‍රධාන පෙළේ පින්තාරු ශිල්පීන් 50 දෙනකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට රක්ෂණ ආවරණ පිරිනැමීමටද සමාගම කටයුතු කළේය. එම රක්ෂණ ප්‍රදානයෙන් අනතුරුව උත්සවය අවසන් විය. 

අතීතයේ සිටමAkzoNobel  සමාගම පින්තාරු ශිල්පීන් ඇතුළුව තමන් සමග එක්ව කටයුතු කරන සියලු‍ම දෙනාගේ යහපත වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබේ. ඉමහත් කැපවීමකින් යුතුව තම ජීවනෝපාය මාර්ගවල නිරත වන මෙම පුද්ගලයන්ගේ වෘත්තීය ජීවිත මෙන්ම පෞද්ගලික ජීවිතද වඩාත් යහපත් කිරීම එහි අරමුණ විය. 

සමාගමේ දියුණුව වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන පුද්ගලයන් අගයන අතරම, සිය ඉදිරි ගමනට සමගාමීව ඔවුන්ටද දියුණුව කරා යාමට අවස්ථාව සලසා දීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මෙම වැඩසටහන් මඟින් මැනැවින් පිළිබිඹු වේ. ‘පින්තාරු ප්‍රණාම’ යනු එම දීර්ඝකාලීන මෙහෙවරෙහි නවතම පියවරයි.