• වසරකට ටින් මාළු අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක්

සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED)  සහ ‘රිච්වින්’ (Richwin) සමූහ ව්‍යාපාරය ඒකාබද්ධව නිෂ්පාදනය කරනු ලබන  “CoopFish” නව ටින් මාළු නිෂ්පාදන 28ක් නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දීම පෙරේදා (15) පස්වරුවේ සීදූව Hotel Royal Ramesses පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

දේශීය ධීවර කර්මාන්තය, නිෂ්පාදන අංශය සහ සමූපකාර ව්‍යාපාරය එකට එක් කරමින් ජාතික ආර්ථිකයට නව වටිනාකමක් එක් කිරීම මෙහි අරමුණයි.

විශේෂයෙන්ම වසරකට ටින් මාළු අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීම රජයේ අ​පේක්ෂාව වී තිබේ.

මෙරට සමූපකාර සමිති 305ක් හරහා විහිදුණු අලෙවිසල් 4,000කට ආසන්න ජාලය සහ මිලියන 8.2ක් වන සමූපකාර සාමාජික පදනම ඔස්සේ ‘CoopFish’ නිෂ්පාදන දිවයිනේ සෑම ගම්මානයකටම සාධාරණ මිලකට ගෙන යාමට කටයුතු කිරීම සැලසුම් වී තිබේ.