Sri Lanka FinTech Forum සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන මෙරට ප්‍රථම FinTech (මූල්‍ය තාක්ෂණ) උළෙල වන ‘FinTech Festival 2026’  අද (2) සහ හෙට (3) කොළඹ ෂැන්ග්‍රි-ලා (Shangri-La) හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ලෝ සුපතල සන්නාමයක් වූ වීසා (Visa) සමාගමයි.ිධාරිතාව ගොඩනැගීම, අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ ලංකාවේ ඩිජිටල් අනාගතය සවිබල ගැන්වීම’ යන්න මෙවර උළෙලේ තේමාවයි. 

ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන මූල්‍ය තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා මෙම උළෙල වැදගත් පියවරක් වනු ඇති බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අදහසයි. මෙම උළෙලේ මූලික අරමුණ වන්නේ FinTech ක්ෂේත්‍රය හා සම්බන්ධ, බැංකු, බැංකු නොවන මූල්‍ය (NBFI), තාක්ෂණික සහ ආයෝජන ක්ෂේත්‍රවල ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, නියාමකයන්, ජාත්‍යන්තර ජාල සහ කලාපීය හවුල්කරුවන් මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් (SMEs) සහ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් එකට ඒකාබද්ධ කරමින් නව අවස්ථා හඳුන්වා දීමයි.

ජාතික ගෙවීම් පද්ධති (national payment rails) සහ ක්ෂණිකව ගිණුමකින් ගිණුමකට මුදල් හුවමාරු කිරීමේ පහසුකම් ඇතුළුව, සැලකිය යුතු ඩිජිටල් මූල්‍ය සේවා යටිතල පහසුකම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ දැනටමත් ස්ථාපිත කර ඇත. මෙම උළෙලෙන් එම හැකියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙන අතර, මෙරට මූල්‍ය තාක්ෂණික පද්ධතියේ හැකියාව ප්‍රදර්ශනය කිරීමටත්, ඒවා එකිනෙක සම්බන්ධ කිරීමට සහ ඉදිරියට ගෙන යාමට ජාතික මට්ටමේ වේදිකාවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. එමගින් ජාත්‍යන්තර සහයෝගීතාව සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, පුළුල් වෙළෙඳපොළ අවස්ථා සඳහා දොරටු විවර කිරීමටත් මග පෑදෙනු ඇත.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම උළෙලෙන් පැමිණෙන පිරිසට ක්ෂේත්‍රයේ ඵලදායී සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමටත්, විද්වත් සාකච්ඡා තුළින් ක්ෂේත්‍රය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමටත් අවස්ථාව සැලසේ. ආරාධිතයන්ට පමණක් සීමා වූ “CEOs Night”  විශේෂ වැඩසටහන සමගින් නොවැම්බර් 2 වන දා උළෙලේ කටයුතු ආරම්භ වේ. ඒ සඳහා බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) සහ FinTech සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, FinTech Forum  අධ්‍යක්ෂ මණ්ඩලය සහ උපදේශක සභාව, ආරාධිත දේශකයන්, මහ බැංකුවේ සහ රජයේ ඉහළ නිලධාරීන් මෙන්ම අනුග්‍රාහකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ශවකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.

ඉන්පසු නොවැම්බර් 3 වන දින, ප්‍රධාන වැඩසටහන වන Sri Lanka FinTech Expo සම්මන්ත්‍රණය පැවැත්වේ. ටිකට්පත් මිලදී ගෙන සහභාගී විය හැකි මෙම වැඩසටහන - ප්‍රදර්ශන, දේශන, විද්වත් සාකච්ඡා සමග දවස පුරාම පැවැත්වෙන වැඩසටහනකි. ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමට දායක වන පිරිස් ඇගයීමට ලක්කෙරෙන FinTech Awards 2026 සහ “FinTech Night” විශේෂාංගයෙන් උළෙල නිමාවට පත්වේ. උළෙලට සහභාගී වන පිරිසට රාත්‍රී කාලයට පමණක් සීමා වූ (Night-Only) ටිකට් පත් ලබා ගැනීමේ අවස්ථාව ද සලසා ඇත. 

ලංකාව තුළ ප්‍රථම වරට පැවැත්වෙන මෙම සුවිශේෂී උළෙල, දේශීය මූල්‍ය තාක්ෂණ පද්ධතිය සමග කලාපීය සහ ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සම්බන්ධ කරන යෝධ පාලමක් වනු ඇති බව අවිවාදිතය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නව අදහස් දැනගැනීමට, නැගී එන තාක්ෂණ ප්‍රවණතා හඳුනාගැනීමට සහ නව ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට, මේ තුළින් ලැබෙන අවස්ථාව මිල කළ නොහැකි තරමේ වටිනා එකකි. එමෙන්ම ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට, තීන්දු තීරණ සැලසුම් කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ නියාමකයන්ට ද මෙය වඩාත් හොඳ වේදිකාවක් නිර්මාණය කරයි.

මෙම වැඩසටහන මූලික වශයෙන් ප්‍රධාන මාතෘකා හතරක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. එනම් FinTech ක්ෂේත්‍රයේ අනාගතය, යුනිකෝන් (Unicorns) ව්‍යාපාර ගොඩනැගීම සහ ආදායම් ඉපැයීම, සුරක්ෂිත හා සැමට හිමිවන  FinTech සේවා, සහ සයිබර් ආරක්ෂාව හා මූල්‍ය වංචා වැළැක්වීම යනු ඒ අංශ හතරයි. මීට අමතරව, ජාතික ඩිජිටල් මූල්‍ය ප්‍රතිපත්ති, නියාමන සහsandboxes,  සීමාසහිත දේශසීමා අතර ගෙවීම් සහ ප්‍රේෂණ sandboxes, ඩිජිටල් වත්කම්, මුදල් අංශයේ කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ඩිජිටල් හැඳුනුම්පත, මූල්‍ය අන්තර්කරණය  (financial inclusion)  මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ සංචාරක ගෙවීම් සඳහා වන විසඳුම් වැනි මාතෘකා රැසක් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.