ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව


ජාතික තරුණ සේවා සභාවේ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව හදාරන සිසුන්ගේ ව්‍යවසායකත්ව හැකියාව ප්‍රායෝගිකව සංවර්ධනය කිරීමේ අරමුණින්, ඔවුන්ගේ පාඨමාලා හා රැකියාගත පුහුණු කාලසීමාව අවසන් වන අවස්ථාවේදී ඉන්කියුබේටර් (Incubator) පද්ධතියක් හරහා ව්‍යාපාරික පුහුණුව ලබාදීමට අවබෝධතා ගිවිසුමකට එළැඹුණ බව ජාතික තරුණ සේවා සභාව කියයි.

මෙම අවබෝධතා ගිවිසුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් සංවර්ධනය කරන ලද ත්‍රිකුණාමලය, ගොමරන්කඩවල කෘෂි මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතු සිදු කරන තුසිතපුර ඇග්‍රෝ සමාගම සහ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත සි/ස තරුණ සේවා සමාගම අතර ඇති කරගනු ලැබ තිබේ. 

මෙම වැඩසටහන යටතේ ජාතික තරුණ සේවා සභාවේ කෘෂි ව්‍යවසායකත්ව පාඨමාලාව සාර්ථකව හදාරන තරුණ ව්‍යවසායකයන්ට ත්‍රිකුණාමලය, ගෝමරංක ඩවල, තුසිතපුර ඇග්‍රෝ ගොවිපොළෙහි නිශ්චිත ඉඩම් කොටස් වෙන්කර ලබාදෙන අතර, එහි ස්ථාපිත කර ඇති නවීන තාක්ෂණික උපකරණ, තාක්ෂණවේදීන්ගේ සහාය සහ අනෙකුත් සම්පත් භාවිත කරමින් තමන් විසින් සකස් කරන ලද ව්‍යාපාරික සැලසුම් අනුව කෘෂිකාර්මික ව්‍යාපාරික කටයුතු සිදුකිරීමට අවස්ථාව සැලසේ. 

එමගින් තරුණ ව්‍යවසායකයන්ට උපරිම ඵලදායීතාවක් ලබාගැනීම, ව්‍යාපාරික ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීම සහ සාර්ථක කෘෂි ව්‍යවසායකයන් ලෙස සංවර්ධනය වීමට අවශ්‍ය පසුබිම සකස් කෙරේ. මෙම ව්‍යාපාරික කටයුතු තුසිතපුර ඇග්‍රෝ ගොවිපොළ සහ තරුණ සේවා සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අතර, එහිදී නිෂ්පාදනය කරනු ලබන කෘෂිකාර්මික අස්වැන්න ඒකාබද්ධව මිලදීගෙන කීල්ස්, කාගිල්ස් වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසල් ජාල හරහා වෙළෙඳපොළට යොමුකිරීමට කටයුතු කිරීමට නියමිතය.