සහන නැති වුණොත් යුරෝපය තුළ ඇති වටිනා වෙළෙඳපොළ කොටස වේගයෙන් අහිමි වනු ඇතැයි පවසයි 


පනතේ ඇති දුර්වලතා ඉවත් කර එය ඉදිරිපත් කරන ලෙස සඳහන් කරයි 


රජය ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත නිසා ජාත්‍යන්තර බදු සහන අහිමි වීමේ අවදානමක් පවතින බව ඇගලු‍ම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) අනතුරු අඟවා සිටියි. 

එහිදී උදාහරණ ලෙස වත්මන් GSP+ සහන කාලසීමාව 2027 වසරෙන් අවසන් වන අතර, අනෙකුත් සෑම ප්‍රතිලාභී රටක් මෙන්ම ශ්‍රී ලංකාවද මෙම සහනයේ මීළඟ නව වෙළෙඳ චක්‍රය සඳහා නැවත අයදුම් කළ යුතුය.  

දැනට පවතින ආකෘතියට අනුව මෙම PSTA පනත සම්මත වුවහොත්, එය නව චක්‍රය සඳහා රට ඉදිරිපත් කරන අයදුම්පත ප්‍රතික්ෂේප වීමට බලපාන ප්‍රධානතම බාධකය වනු ඇතැයි එම සංගමය පවසයි.  

 ‘යුරෝපා සංගමය යනු දැඩි නීති රීති මත ක්‍රියාත්මක වන නිලධාරීවාදී ආයතනයක් වන අතර, මෙම පනත නිසා ලංකාවේ අයදුම්පත අසාර්ථක වුවහොත්, රටට හිමි විශාලතම වෙළෙඳ බදු සහන වැඩසටහන රටට සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇත.’ 

එබැවින් පනත් කෙටුම්පත හැකි ඉක්මනින් නිවැරදි කර ගැනීම ඉතා වැදගත් වන බව සංගමය පවසයි. එසේම එය සම්මත වූ පසු නිවැරදි කිරීමට යාම අතිශය පාඩු සහගත වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ත්‍රස්ත විරෝධී නීතියක් අවශ්‍ය නොවන බව ඇඟලු‍‍ම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය කිසිසේත් අවධාරණය නොකරන බවත්, අධිකරණ අධීක්ෂණයකින් තොර මෙතරම් පුළුල් හා මර්දනකාරී නීතියක් මගින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය සපයන ජාත්‍යන්තර වෙළෙඳ අවස්ථාව දැඩි අවදානමකට ලක්වන බව ඔවුන් පවසයි.  

 ‘2018 වසරේ සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට ගත් උත්සාහ හතරක් (4) පිළිබඳව සමීපව නිරීක්ෂණය කළ නීති විශාරදයන් පවසන්නේ, මෙම නව පිටපත පෙර කෙටුම්පත්වලට වඩා යම් තාක් දුරට යහපත් වුවද, එය තවමත් ජාත්‍යන්තර ප්‍රමිතිවලට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බවයි.’ 

මෙහිදී නව පනත් කෙටුම්පතෙහි ඇති දුර්වලතා කිහිපයක්ද එම සංගමය හඳුනාගෙන තිබේ.  

ඒ අනුව සිදුකළ යුතු සංශෝධන ඉතා සරල බව එම සංගමය පෙන්වා දෙයි. රඳවා තබා ගැනීමේ නියෝග අනුමත කිරීමට පෙර මහේස්ත්‍රාත්වරුන්ට සාක්ෂි කිරා මැන බැලීමට ඉඩ දීම, සංවිධාන තහනම් කිරීමේදී අධිකරණයට භූමිකාවක් ලබා දීම සහ අත්අඩංගුවට ගැනීම් සිවිල් පොලිසියට පමණක් පැවරීම ඒවා වෙයි. 

 “පනත් කෙටුම්පතේ පළමු කියවීම ඔක්තෝබර් 6 වැනිදා සිදු වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පනතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ හැකි අතර, ඉන්පසු තීරණයක් ලබා දීමට අධිකරණයට සති තුනක කාලයක් හිමි වේ. එබැවින් නොවැම්බර් මාසයට පෙර මේ පිළිබඳ විවාදයක් පැවැත්වීමට ඉඩක් නැත. ක්‍රියාකාරීන් පවසන්නේ නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර මෙම පනත සම්මත කර ගැනීමට රජයට අවශ්‍ය වී ඇති බවයි.’ 

මෙම GSP+ සහනය යනු නිකම්ම ලැබෙන තෑග්ගක් නොවේ. එය ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහ යුරෝපා සංගමයේ වෙළෙඳපොළට බදු රහිතව ඇතුළු වීමට අවස්ථාව ලබා දෙන අතර ඒ වෙනුවට මානව හිමිකම්, සේවක අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය ලබා දෙයි.  

මෙම ලැයිස්තුව 2027-28 වසරවලදී සම්මුතින් 32ක් දක්වා තවදුරටත් පුළුල් වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය වසර ගණනාවක සිටම අවධාරණය කරන්නේ, පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන ඕනෑම නව නීතියක් අනිවාර්යයෙන්ම එම ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල විය යුතු බවයි.  

එනම්, ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම් ඉතා සරල හා පැහැදිලි විය යුතු අතර, පොදු ජනයාගේ එක් රැස්වීමේ, සංවිධානය වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා විය යුතුය. එමෙන්ම විධායකයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමටත්, ප්‍රශ්න කිරීමටත් අධිකරණයට පූර්ණ බලය තිබිය යුතුය. 

ඒ අනුව මෙම පනත් කෙටුම්පත සම්මත වීම වැටුණු කර්මාන්තයට තවත් පහරක් වනු ඇතැයිද එම සංගමය පවසයි. යුරෝපා සංගමය මෙම සමස්ත අපනයනවලින් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා අතර, මෙම වසරේ මුල් භාගය තුළ පමණක් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 705ක ඇඟලු‍‍ම් යුරෝපයට අපනයනය කිරීමෙන් ඒ බව මනාව ගම්‍ය වේ. 

එහෙයින් තවත් ආර්ථික කඩාවැටීමක් හෝ පීඩනයක් තව දුරටත් දරා ගැනීමේ හැකියාවක් මෙම ක්ෂේත්‍රයට ඇතැයි සිතිය නොහැකි බව පවසන එම සංගමය, 2026 වසරේ මුල් භාගය තුළ, යුරෝපා සංගමය වෙත සිදුකළ ශ්‍රී ලංකාවේ ඇඟලු‍‍ම් අපනයනය 2025 වසරට සාපේක්ෂව සියයට 8කින් පහත වැටී ඇතැයිද පවසයි. 

එමෙන්ම එම කාලය තුළදීම යුරෝපය විසින් චීනයෙන් සිදුකළ ඇඟලු‍‍ම් ආනයනය සියයට 5 කින් සහ වියට්නාමයෙන් සිදුකළ ආනයනය සියයට 9කින් ඉහළ ගොස් තිබේ. මෙයින් පැහැදිලි වන්නේ අනෙකුත් රටවල් වර්ධනය වන විට, ශ්‍රී ලංකාවට යුරෝපය තුළ ඇති වටිනා වෙළෙඳපොළ කොටස වේගයෙන් අහිමි වෙමින් බවද ඔවුන් පෙන්වා දෙයි.