පැමිණි සංචාරකයන් හතරකින් එකක් ඉන්දියානුවෙක්
ජපාන සංචාරක පැමිණීම් සියයට 16.9 කින් ඉහළ ගිහින්
නෙදර්ලන්ත සහ රුසියානු පැමිණීම් සියයට 20.8කින් සහ සියයට 32.1 කින් පහළට
වසරේ ගත වූ මුල් මාස නවයේදී මෙරට වෙත පැමිණි ආසියානු සංචාරකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවත්, යුරෝපා සංචාරක පැමිණීම්හි යම් පසු බෑමක් සටහන්ව තිබෙන බවත් දත්ත වාර්තා පෙන්වා දෙයි.
සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කළ දත්ත අනුව කොටස් තැරැව්කාර ආයතනයක් වන SenFin Securities සකස් කළ මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ වාර්තාවක මේ බව සඳහන්ව තිබේ.
විශේෂයෙන්ම පෙබරවාරියේ හටගත් මැදපෙරදිග යුද ගැටුම් නිසා බටහිර ආසියානු කලාපයේ ඇති වූ ආතති තත්වය හේතුවෙන් යුරෝපා සංචාරකයන්ගේ ප්රධානතම ගමන් මාර්ගයක් වන මැදපෙරදිග ගුවන් තොටුපොළ රැසකටම බලපෑම් එල්ල වීම ඊට හේතුව වී තිබේ.
ඒ අනුව 2025 මුල් මාස නවයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී ජපාන (සියයට 16.9ක), ඉන්දියානු (සියයට 16.6ක), ඔස්ට්රේලියානු (සියයට 12.4ක) සහ චීන (සියයට 10.8ක) ලෙස ආසියානු සංචාරක පැමිණීම් වර්ධනය වී තිබේ.
“වැඩිම පැමිණීම ඉන්දියානු සංචාරකයන් 437,414 ක්. එය වසරින් වසර සංචාරකයන් 62,122 ක, එනම් සියයට 16.6ක වර්ධනයක්. පැමිණි සංචාරකයන් හතරකින් එක් අයෙක් ඉන්දියානුවෙක්. ඔස්ට්රේලියානු සහ චීන සංචාරක පැමිණීම් සියයට 11ත් 17ත් අගයකින් වර්ධනය වෙලා.“ SenFin Securities පවසයි.
කෙසේ වෙතත් පෙර වසරට සාපේක්ෂව ගත වූ මෙම කාලසීමාව තුළදී එක්සත් රාජධානිය (සියයට 0.7ක) එක්සත් ජනපදය (සියයට 5.2ක) ජර්මනිය (සියයට 9.1), ප්රංශය (සියයට 10.5ක), නෙදර්ලන්තය (සියයට 20.8ක) සහ රුසියාව (සියයට 32.1ක්) ලෙස සංචාරක පැමිණීම් පහළ බැස තිබේ.
“රුසියානුවන් පෙර වසරට සාපේක්ෂව 39,000 කින්, එනම් සියයට 32ක ඉතා විශාල අහිමිවීමක්. නෙදර්ලන්තය, ප්රංශය සහ ජර්මනියේ පහළ වැටීම් සියයට 9 ක සිට සියයට 21ක්.“
වසරේ මුල් මාස නවය තුළ පැමිණි සංචාරකයන් සංඛ්යාව මිලියන 1.69 ක් ලෙස සටහන් වන අතර, එය වසරින් වසර සියයට 1.8 ක සුළු පහළ වැටීමකි.
ඒ අනුව යුරෝපියානුවන් හරහා ඇති වූ පරතරය පියවීමට ඉන්දියාව ඇතුළු මෙම ආසියානු සංචාරකයන් ඉදිරිපත්ව තිබෙන බව SenFin Securities පවසයි. කෙසේ වෙතත් ආසියානු සංචාරකයන්ට වඩා යුරෝපියානු සංචාරකයන් රට තුළ වැඩි කාලයක් රැඳී සිටීම සහ වියදම් කිරිම නිසා, ගත වූ කාලසීමාව තුළ හිමි වූ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.47 ක සිට ඩොලර් බිලියන 2.25 ක් දක්වා පහත වැටී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd