උප වැඩසටහන් 05 ක් යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණය


නිමල කොඩිතුවක්කු 


ඔරොත්තු දීම හා සියලු‍ දෙනා ඇතුළත් ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ සාර්ව ප්‍රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම පිණිස උප වැඩසටහන් 05 ක් යටතේ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීමටත්, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග ණය සාකච්ඡා පැවැත්වීමටත් 2026-03-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එම ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් යොදා ගනිමින්, ඔරොත්තු දීම හා සියලු‍ දෙනා ඇතුළත් ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ සාර්ව ප්‍රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඊණිස 2026-09-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

එකී ණය මුදල ලබා ගැනීමට අදාළව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සමඟ විධිමත් ණය සාකච්ජා පවත්වා අවසන් කර තිබේ. 

ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මගින් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වූ ප්‍රතිපත්ති පාදක ණය සංරචකයකින් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වූ ආයෝජන ණය සංරචකයකින් සමන්විත එකී ණය මුදල ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග ගිවිසුම්ගත වීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.