පළමු අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 1,514 ක්


නිමල කොඩිතුවක්කු 


වැවිලි ක්ෂේත්‍රයේ ඌන උපයෝජිත ඉඩම්/දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත බදු පදනම් මත ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන විසින් කළ ව්‍යාකරණය කරනු ලබන ඌන උපයෝජිත ඉඩම්/දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත බදු පදනම මතලබා දීම පිණිස උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවීම සඳහා මින් පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, පළමු අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 1,514 ක්, සංචාරක බංගලා සහ සුන්දර ස්ථාන 10ක් හා අක්‍රිය කර්මාන්තශාලා 15ක් සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා ඇති අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් 470ක් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කරතිබිණි.

ඉන් අනතුරුව, කෙටි ලැයිස්තුගත කරන ලද ආයෝජකයන් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවා ඇති අතර, ඉඩම් / දේපළ කොටස් 30කට අදාළව යෝජනා සඳහා වන ඉල්ලීම් 44 ක් ලැබී ඇත. 

එකී යෝජනා ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඉඩම්/දේපළ 15 ක් තෝරා ගත් ආයෝජකයන්ට දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට ඉදිරිපත් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.