මුල් මාස නවයේ මැදපෙරදිග අපනයන ආදායම ඩොලර් මිලියන 653.23ක්
ජනවාරි - සැප්තැම්බර් තුර්කියට සිදුකළ අපනයන සියයට 94 කින් ඉහළට
2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවය තුළ මැදපෙරදිග කලාපයේ රටවලට (සයිප්රසය සහ ඊජිප්තුව හැර) සිදුකළ අපනයන වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 653.23 ක් ලෙස සටහන්ව තිබේ.
ඒ අනුව මෙය 2025 වසරේ එම කාල සීමාවේදී සිදුකළ ඩොලර් මිලියන 792.93 ක අපනයන හා සැසඳීමේදී සියයට 17.62 ක අඩුවීමක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පෙබරවාරියේදී ඇති වූ මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් සිදු වූ අපනයන බාධා මෙලෙස අපනයන ආදායම් අඩුවීමට හේතු වී තිබේ. 2026 සැප්තැම්බර් මාසයේදීද මැදපෙරදිග කලාපයෙන් හිමි වූ අපනයන ආදායම ඩොලර් මිලියන 94.75ක් ලෙස පෙර වසරට සාපේක්ෂව සියයට 5.19 කින් පහත වැටී තිබේ. 2025 සැප්තැම්බර් මාසයේදී එම ආදායම ඩොලර් මිලියන 99.94ක් විය.
මැදපෙරදිග කලාපයේ පිහිටි ශ්රී ලංකාවේ ප්රධානතම අපනයන වෙළෙඳපොළක් වන එක්සත් අරාබි එමීරයට කළ අපනයනවල වටිනාකමත් සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 33.66 ක් ලෙස වසරින් වසර සියයට 17.80ක අඩුවිමක් වාර්තා කර ඇත.
එසේම ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙම ආදායම ඩොලර් මිලියන 232.06 ක් වන අතර, එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ ඩොලර් මිලියන 259.29 හා සැසඳීමේදී සියට 10.50 ක අඩුවීමකි.
කෙසේ වෙතත් මැදපෙරදිග පිහිටි තුර්කිය වෙත සිදුකළ අපනයවල වටිනාකම එම කාලසීමාවේදී ඩොලර් මිලියන 112.49 ක සිට ඩොලර් මිලියන 218.24 ක් දක්වා වසරින් වසර සියයට 94.01 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
2026 සැප්තැම්බරයේදීද එම ආදායම් වසරින් වසර සියයට 18.70 ක සිට සියයට 30.71ක් දක්වා සියයට 64.22 කින් ඉහළ නැග තිබේ. විශේෂයෙන්ම ගත වූ කාලසීමාවේදී තුර්කිය වෙත අපනයනය කෙරුණු තේ නිෂ්පාදනවල ඉහළ යාම ඊට හේතුව වී ඇත.
එසේම මැදපෙරදිග කලාපය වෙත භාණ්ඩ අපනයනය සඳහා වන අතරමැදි මධ්යස්ථානයක් ලෙසත් ආසන්න කාලසීමාවේදී තුර්කිය යොදා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd