වෙරළ උද්‍යානය ආලෝකකරණයට රුහුණු සංචාරක කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ 67ක්


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


හම්බන්තොට වෙරළ තීරයේ දෙස්විදෙස් සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීමේ නවමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට රුහුණු සංචාරක කාර්‍යාංශය පියවර ගෙන තිබේ.

ඉන් පළමු වැන්න නම් එම වෙරළ තීරයේ ළමා උද්‍යානයක් ප්‍රතිස්ථාපනය කිරීමය. එය මේ වනවිටත් ආරම්භ කර ඇති බව රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා කීය.

හම්බන්තොට වෙරළ උද්‍යානය ආලෝකකරණයට විදුලි පහන් යෙදීම දෙවැන්නය. 

ඒ සඳහා රුහුණු සංචාරක කාර්යාංශයෙන් රුපියල් ලක්ෂ 67 ලබා දීමට තීරණය කර ඇති බව ජයාන් ගොඩකන්ද මහතා කීවේය.

හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ ඉල්ලීමට අනුව සිය ආයතනය හම්බන්තොට වෙරළ තීරයේ සංචාරක ආකර්ෂණය කිරීමේ මේ ව්‍යපෘති ආරම්භ කිරීමට පියවර ගත් බවද ජයාන් ගොඩකන්ද මහතා කීවේය. 

සංචාරකයන් විශාල පිරිසකට විවේකයෙන් කාලය ගත කළ හැකි අයුරින් මෙතෙක් අවිධිමත් ලෙස පැවති හම්බන්තොට වෙරළ උද්‍යානය වඩාත් ඵලදායී ලෙස සංචාරකයන්ට භාවිත කරමින් ආරක්ෂිතව සන්ධ්‍යා කාලය ගත කිරීමට හැකි ස්ථානයක් බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද ජයාන් ගොඩකන්ද මහතා කියයි.