හසලක සුනිල් ඒකනායක



පවුලේ ගෘහ මුලිකයා විසින් නිවසට රැගෙන විත් කාටත් හොරා සඟවා තැබු යම් දියරයක් සහිත භාජනයක් කොඩිවිනයක් කැපීමට තරම් දුර දිග ගිය පුවතක් දුම්බර කඳුකර ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
46 හැවිරිදි වියේ පසුවෙන මෙම පවුලේ ගෘහ මුලිකයා කොළඹ ප‍්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කරන සිව්දරු පියෙකි. 
නිවාඩුවට ගමට පැමිණි දිනක ගමේ තිබු රැස්වීමකට සහභාගි වී පෙරළා නිවස බලා එන අතරේ මිතුරකුගේ නිවසකට ගොඩවුවේ කහට කෝප්පයක් බීලා යමු යැයි මිතුරා කළ යෝජනාවටය.
 තේ පානය කර මිදුලට බැස නිවසට ඒමට සුදානම් වු අවස්ථාවේ එම මිදුල අසල ගසක් යට යම් ප්ලාස්ටික් කෑන් කීපයක් තිබෙනවා දැක ඒ මොනවාදැයි මිතුරාගෙන් විමසා තිබේ. එම කෑන්වල අඩංගුව ඇත්තේ කුඹුරට යොදන දියරයක් බවත් ගොවීන්ට බෙදා දී ඉතිරි වු ප‍්‍රමාණය මෙහි තිබෙන බවත්ය. අවශ්‍ය නම් එකක් රැගෙන යන ලෙසද මිතුරාට පවසා එම දියර කෑන් එකක් පරිත්‍යාග කර ඇත.
නිවසට රැගෙන ගිය දියර කෑන් එක නිවස තුළට ගෙන නොගොස් කිසිවකුට නොකියා නිවසේ කුස්සියේ පිටුපස දර මඩුවට ඉහළින් සඟවා තැබුවේ මෙය කුඩා දරුවකුගේ හෝ අතට හසුවුවහොත් යම් හානියක් සිදුවීමට ඉඩ ඇතැයි උපකල්පනය කරමිනි. 
පසුදින ඔහු සේවය සඳහා පිටව ගිය අතර සතියකට පමණ පසුව බිරිය සවස ආහාර පිසීමට කුස්සියට ගිය විට කුස්සියෙන් වෙනදා නැති අමුතු දුර්ගන්ධයක් පවතින බව දැනුණි. ඒ පිළිබඳව නිවසේ සිටි ඇයගේ පියාට පවසා තිබේ.


 ඔහු පවසා ඇත්තේ හුනකු හෝ වෙනත් සතකු මිය ගොස් ඒ සතා කුණුවීමෙන් මෙම දුර්ගන්ධය එනවා ඇතැයි කියාය. එවැනි සතකු මිය ගොස් ඇත්දැයි ගෘහණිය සිය මව සමග කුස්සිය අස්සක් මුල්ලක් නෑර සොයා බැලූවත් එවැනි සතකු මිය ගොස් සිටියේ නැත. දුර්ගන්ධය ද පහව නොගිය අතර නිවැසියන්ට නිවසේ සිටිමට පවා බැරි තත්වයක් උදාවී තිබිණි.
නිවසට වැලදී ඇති අමනුෂ්‍ය දෝෂයක් හේතුවෙන් මෙම තත්වයක් පවතිනවා ඇතැයි පවුලේ සාමාජිකයින් අතර ඇතිවු කතා බහ කොළඹ සිටින සිය සැමියාට ද ඇය පැවසුවාය. ඔහු එහිදී පැවසුවේ පියා සමග  ගොස් ගමේ කට්ටඩි මහතා හමුවී මේ ගැන විමසන ලෙසය. ඒ අනුව ගමේ කට්ටඩි මහතා හමුවට ගිය ඔවුන්ට කට්ටඩි මහතා පැවසුවේ මෙය අමනුෂ්‍ය දෝෂයක් නිසා සිදුව ඇති තත්වයක් බව පෙනෙන හෙයින් එය අසවල් දින සවස ඉවත් කිරීමට කටයුතු කළ හැකි බවත්ය.
ඔහුගේ උපදෙස් මත නිවැසියන් කටයුතු සම්පාදනය කරන අතරේ නිවසේ ගෘහමුලිකයාද එදිනට පෙර දින නිවසට පැමිණියේ ශාන්ති කර්මයට අවශ්‍ය උදව් උපකාර කිරීම සදහාය. ඔහු නිවසට ගොඩ වෙනවාත් සමගම බිරිය ඇතුළු පවුලේ සාමාජිකයින් සිදුවී ඇති තත්වය ඔහුට පැවසු පසු කුස්සිය හා අවට විපරම් කිරීමේදි ඔහුට යමක් අවබෝධ විය. 
”මේ අමනුෂ්‍ය දෝෂය තුරන් කරන්න හෙට තොවිලයක් නටන්න  ඕනේ නැහැ. මට පුළුවන් මේ දෝෂය ඉවත් කරන්න.” යැයි කියමින් තමන් කූඹුරට යෙදීමට මිතුරාගෙන් රැගෙන විත් දර මඩුවේ සඟවා තැබු දියර පොහොර භාජනය පිටතට ගනු ලැබීය. එය පිටතට ගන්නා විට එහි පැවති දුර්ගන්ධය පෙරට වඩා වැඩියෙන් නිවැසියන්ට දැනෙන්නට විය.
 එම දුර්ගන්ධයට හේතු වී තිබුණේ එම භාජනයේ යම් කොටසක් මීයකු විසින් කෑම නිසා එම ස්ථානයෙන් අතුළත තිබු ද්‍රව්‍යයේ දුර්ගන්ධය පිටට විසිර යෑමයි. පිටතට රැගෙන ආ දියර භාජනය ගෙවත්තේ වළක් කපා  දැමීමෙන් පසු එම නිවසට වැලදී තිබු අමනුෂ්‍ය දෝෂයද පහව ගිය බව ගෘහණිය තම හිතවතුන්ට පැවසුවාය.