කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
හෝටල් විවෘත කිරීමේ උත්සවයෙන් කන පැලෙන්න කන්න සිතූ අයකුට දෙමිතුරන් ඇඹරූ ගුලියකින් කන්න තියා කලින් කෑමත් වමාරන්න සිදුවූ අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
ඔවුහු මිතුරෝය. තුන් කට්ටුවකි. මිතුරන් වුවත් නිතරම මාන බැලුවේ එකෙකුට විහිළුවක් කර ඇති තරම් සිනාසෙන්නය.
අලුතින් විවෘත කරන හෝටලයක රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට මේ තුන් කට්ටුවම ආරාධනා ලැබුවේ මේ අතරය. ඒ ඔවුන් තුන්දෙනාම ලබාගෙන තිබූ ජනප්රියභාවය නිසාමය. මේ තුන් කට්ටුවෙන් දෙදෙනකු බෙබේලාය. අනෙකා අමද්යපයෙකි. ඇල්වතුරත් නිවලා බොන අයෙකි.
තුන් කට්ටුවම එදා හෝටල් උත්සවයට ගියේ කන පැලෙන්න කන්න හිතාගෙනය. බෙබේලා දෙන්නාට ඊට එහාට සිතන්න දෙයක් නොතිබුණාම නොවේ. කෑමට පෙර ලැබෙන හොඳ ඒවා සිහි කර කර ඔවුහු දෙන්නා සිහින මැවූහ. අමද්යපයා බලා සිටියේ සිසිල් පැන් වීදුරුවක් කෑමට පෙර තොල ගාන්නය.
කීවත් මෙන් කොටට කොටේ කොට ඇඳුමක් ඇඳන් පැමිණි හුරුබුහුටි කතක් චූටි වීදුරුවලට දමා බීමක් ඇල්ලුවාය. කාන්තාවන්ද ඒවා ගෙන තොලගෑවේ තොලකට ලෙවකමිනි. මචංලා මේ මොනවද අල්ලන්නේ යැයි අමද්යපයා බෙබේලා මිතුරන් දෙදෙනාගෙන් ඇසුවේය. අයියෝ මචං උඹ ඒකවත් දන්නේ නැද්ද, යකෝ ඔය අල්ලන්නේ කෑමට පෙර කෑම රුචිය වැඩි කරන බීම වර්ගයක්. ඕක ගත්තාම බඩගිනි වදිනවා යැයි එකෙක් කීවේ අනෙකාට ද ඇසක් ගසමිනි.
ඔවුන් දෙදෙනාද එයින් බීම දෙකක් ගෙන තොලගෑවේ ඔහුටද එයින් එකක් ගන්නා ලෙසට කියමිනි. අමද්‍යප මිතුරාත් කෑම රුචිය වර්ධනය කර ගැනීමේ බීම එකක් ගෙන තොලගෑමට සිතුවේ ඒ වන විටත් හෝටල් මුළුතැන්ගෙයින් බැදෙන කුකුලන්, ඉස්සන් ඇතුළු කෑ හැකි සතුන්ගේ සුවඳත් එක්කමය. මිතුරන් දෙදෙනා ඔහු මේ බීම එක තොලගාන අයුරු බලා සිටියේ කිව නොහැකි සතුටකිනි.
මචංලා ඇත්ත තමයි මේ බීම එකේ අමුතුම කික් එකක් තියෙනවා. පොඩි පහේ ඇඹුලකුත් එක්ක. නරකම නැහැ බීම එක යැයි ඔහු කීවේ මේ බීම එක ගැන හඳුන්වාදුන් දෙමිතුරන්ටද ස්තූති කරමිනි. ඒ සමගම මේ දෙමිතුරෝ ඔහුට මේ කෑම රුචිය වර්ධනය කරවීමේ බීම තුන හතරක්ම පෙව්වෝය. ඔහුත් එම බීම ඉතා ආශාවෙන් බිව්වේ ඇට්ටි හැලෙන්න කන්න සිතාගෙනය.
ගතවූයේ ටික වෙලාවකි. මචංලා මං වටේ මුළු ලෝකයක් කැරකෙනවානේ. වමනයත් එන්න එනවා වගෙයි. මගේ ඇඟට හරි නැහැ යැයි ඔහු කීවේ උගුරට ආ වමනය පහර මැඩගනිමිනි. අනේ මට ඉන්න බැහැ වමනේ යන්න එනවා යැයි කියූ ඔහු හෝටල් පරිශ්‍රයෙන් බැහැරව කබරයා දැම්මේය. තමාගේ තත්වය නරක අතට එන බව දුටු ඔහු මිතුරන්ට කීවේ තමා නිවෙසට ඇර එන ලෙසය.
එය පිළිගත් මිතුරන් දෙදෙනා ඔහු නිවෙසට ඇරලුවේ හෙට දවසේ ඔහුව අනෙක් මිතුරන් ඉදිරියේ බයිට් එකට ගන්නා හැටි සිහියට මවමිනි.
තමා එදා කෑමට පෙර කෑම රුචිය වර්ධනය කිරීමට යැයි කියමින් බිව් බීමේ මද්‍යසාර අඩංගු බව ඔහු දැනගන්නා විටත් එය ගමේ ගොඩේ බොහෝ දෙනා දැනගෙන හමාරය. මීයෙක් රා බීලා වෙච්ච දෙයක් කියමින් මිතුරන් ඔහුට කී විට තමාගේ අඹ මිතුරන් දෙදෙනාගේ දෙමාපියන් ඔහු අමතන්නේ යටි සිතෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd