
(රංජන් කස්තුරි)
අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර ඊට පූර්ණ සහාය දෙන්නැයි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි ඊතල්වැටුණුවැවේ ඥාණතිලක නාහිමියෝ කොළඹදී අද පැවසූහ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පත්කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ පැවැත්විණ.
සම සභාපතිවරුන් වන වැඩබලන අටමස්ථානාධිපති නාහිමියන්ගේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එමරැස්වීම පැවැත් විණි.
යෝජිත සංවර්ධන සැලැස්ම පිළිබඳ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට නොහැකි වීම ගැන කනගාටු වන බවද එහිදී නාහිමියෝ කීහ.
පූජාභූමිය වටා ඉදිකිරීමට යෝජනා වී තිබූ වැට සම්බන්ධයෙන් ද ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වී තිබූ බව ද එම වැට ඉදිකිරීම අතහැර තිබෙන බවද ඥාණතිලක නාහිමියෝ කීහ.
එහිදී අදහස් දැක්වූ ඊතල්වැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ මෙසේද සදහන් කළහ.
“ජන විඥානය තේරුම් අරගෙන යමක් සමාජගත කරන්නට බැරි වීම ගැන කනගාටු වෙනවා. අපට මේකේ තිබුණු කරුණු කාරණා පිළිබඳව මුලදීම ජනතාව දැනුවත් කරන්න බැරි වුණා. උදාහරණයක් විදිහට වැට සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා. මීට දශක එකහමාරකට පමණ පෙරත් මෙහි වැටක් ඉදිකර තිබුණා. ගවයන් ඇතුළුවීම, මල් සහ කුරුම්බා දැමීම, පුරාවිද්‍යා ස්මාරක මත වාහන නැවැත්වීම සහ අනවසර ඉදිකිරීම් වැනි කටයුතු නිසා මෙම ස්මාරක විනාශයට පත්වන නිසයි වැටක් ඉදිකිරීමට යෝජනා කර තිබුණේ. දැන් මේ වැට සම්බන්ධයෙන් අපේ අදහසක් නැහැ.
පූජා නගරය තුළ පදිංචිව සිටින ජනතාව ඉවත් කරන්න අදහසහසක් නැහැ. වර්ග කිලෝමීටර් 28ක්ව තිබූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 38ක් වුණේ ඇයි කියලා ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඇත්තටම ලක්ෂයක ජනතාවක් පැමිණෙනවා නම් කාර් 25,000ක්, වෑන් රථ 10,000ක් හෝ බස් රථ 5,000ක් පැමිණිය යුතුයි. එලෙස විශාල පිරිසක් පැමිණි පසු ඔවුන් නිසි පරිදි කළමනාකරණය කරගැනීමත් ඉතාම අපහසු කාර්යයක්. උදාහරණයක් විදිහට පොසොන් උත්සවයට සාමාන්‍යයෙන් ලක්ෂ 13කට ආසන්න ජනතාවක් සහභාගි වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා.
රජවරු එකසිය හතර දෙනෙක් මේ නගරය ආරක්ෂා කළා . මේකේ තියෙන වැලි ඇටයක්, ගල් ඇටයක් ගානේ බුදු, පසේ, බුදු මහරහතන් වහන්සේලාගේ ස්පර්ශය ලබපු ශුද්ධ භූමියක්. මේ භූමිය රකින්න, ආරක්ෂා කරන්න, මේ බෞද්ධයෝ විතරක් නෙමෙයි, අබෞද්ධයෝ පවා කැපවෙලා තියෙනවා. අපි හැම කෙනෙකුගේම යුතුකම, වගකීම තියෙන්නේ, මේවා රැකගන්න.. ආරක්ෂා කරගන්න.. මේවා ප්‍රතික්ෂේප කරලා, මේවා කඩාකප්පල් කරන්න එපා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd