(අංජුල මහික වීරරත්න)

කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ ඉදිකරන ලද ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය (Material Recovery Facility – MRF) විවෘත කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩි නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය වශයෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ තෝරාගත් පළාත් පාලන ආයතනවල ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ යටතේ කාත්තන්කුඩි නගර සභාව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

ඉවතලන නොදිරන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කරමින් ඒවා පරිසරයට අවිධිමත්ව බැහැර කිරීම අවම කිරීම මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වේ. ඒ තුළින් ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම, පරිසර දූෂණය අවම කිරීම, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැවත ලබාදීම සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම මෙන්ම ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව චක්‍රීය ආර්ථිකයක් (Circular Economy) ගොඩනැගීමට ද දායකත්වය සැපයීම අපේක්ෂා කෙරේ.