
ඇමෙරිකාව පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වීමට හේතු වූ රටපුරා ගුවන් ගමන් අත්හිටුවීම, තඹ රැහැන් පද්ධතියක් යාවත්කාලීන කිරීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇති වූවක් බව එරට ප්‍රවාහන කටයුතු පිළිබඳ ලේකම් ෂෝන් ඩෆී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඩෆී සඳහන් කළේ, මෙම ගැටලුව ඇති වූයේ අදාළ නවීකරණ කටයුතු සිදු කළ සමාගමේ නොසැලකිලිමත්කම නිසාද නැතහොත් දෝෂ සහිත උපකරණ නිසාද යන්න රජය සොයා බලමින් සිටින බවය. මේ සම්බන්ධයෙන් තවමත් විමර්ශන ක්‍රියාත්මක වුවද, මෙය සයිබර් ප්රහාරයක ප්‍රතිඵලයක් යැයි ඇමෙරිකානු රජය විශ්වාස නොකරන බවද ෂෝන් ඩෆී අවධාරණය කළේය.
2001 සැප්තැම්බර් 11 වැනිදා මගී ගුවන් යානා භාවිතයට ගනිමින් ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, එරට ගුවන් ගමන් මෙතරම් දීර්ඝ වේලාවක් අත්හිටුවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර මෙමගින් ඇති වූ බාධාවන් තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි ද පැවැසෙයි.
තාක්ෂණික සේවා සපයන 'එල්3හැරිස්' නමැති කොන්ත්‍රාත් සමාගම විසින් පැරණි තඹ රැහැන් පද්ධතිය වෙනුවට නවීන ෆයිබර් රැහැන් පද්ධතියක් සවි කිරීම සඳහා නඩත්තු කටයුතු සිදු කරමින් සිටියදී මෙම තත්ත්වය උද්ගතව තිබේ. භාවිතයෙන් ඉවත් කිරීමට තරම් පැරණි වූ ඇමෙරිකාවේ විදුලි සංදේශ පද්ධතිය ඉතා යල්පැන ගිය එකක් බවද ප්‍රවාහන ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නඩත්තු කටයුතු සිදු කරමින් තිබූ රවුටරයක හටගත් දෝෂයක් හේතුවෙන් අනෙකුත් ගුවන් ගමන් පාලන පද්ධති වෙත අධික ලෙස
දත්ත ගලා යාමක් සිදුව ඇති අතර, ඒ හරහා ගුවන් යානා සමඟ සිදු කරන සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටේ ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට රජය පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd