
ලෝක ප්‍රබලයන් වන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ ත්‍රෛපාර්ශ්වික හමුවක්, ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතය.
ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව පැවැත්වෙන්නේ, චීනයේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ෂෙන්සෙන් නුවරදීය. ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම ත්‍රෛපාර්ශ්වික හමුව, ඓතිහාසික හමුවක් වනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපතිවරයාත් චීන ජනාධිපතිවරයාත් හමුවීමට බොහොම කැමැත්තෙන් පසුවන බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාව සහ රුසියාව අතරේ ඇතිකරගෙන තිබුණු ‘ස්ටාර්ට්’ නමැති න්‍යෂ්ටික අවි ගිවිසුම කල් ඉකුත් වී මාස නවයකට පසුව මෙම සාකච්ඡා පැවැත්වීම ද විශේෂත්වයකි. වසර 50 කට පසු ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩා හිමි මෙම රටවල් දෙක කිසිදු සීමාවකින් තොරව න්‍යෂ්ටික අවි නිපදවන පසුබිමක, න්‍යෂ්ටික අවි සංචිත සම්බන්ධයෙන් නව එකඟතාවකට පැමිණීමට මෙය හොඳ අවස්ථාවක් බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත. රුසියානු ජනාධිපති පුටින් සමග සාකච්ඡා පවත්වා, න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන්, නව ‘ස්ටාර්ට්’ ගිවිසුමක් ඇති කර ගැනීම මෙම හමුවේ දී සිදුවනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර තිබේ. එම ගිවිසුමට චීනය ද ඇතුළත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත.
රුසියානු-යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද ට්‍රම්ප්, ෂී ජින්පින් සහ පුටින් අතර අදහස් හුවමාරු වනු ඇත. ඇමෙරිකා-ඉරාන අර්බුදයේ දී ඉරානයට පක්ෂපාතීව කටයුතු කරන ලෝක ප්‍රබලයන් වන්නේ රුසියාව සහ චීනයයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විශේෂ නියෝජිත පිරිසක් ද මෙම චීන සංචාරයට එක් වනු ඇතැයි ද ධවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කරයි. ලොව අංක එකේ බිලියනපති ඊලෝන් මස්ක් ද එම කණ්ඩායමට අයත් වන බව පැවැසෙයි.
ඊලෝන් මස්ක් චීනය බලා යන්නේ ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.
ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට උතුරු කොරියානු නායක කිම් ජොං උන් ද සහභාගී වීමට නියමිත බවත්, තමන් උතුරු කොරියානු නායකයා හමුවීමට බලාපොරොත්තු වන බවත් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පවසා ඇත. කෙසේ නමුත්, ධවල මන්දිරය පවසා ඇත්තේ ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතරේ හමුවක් පැවැත්වීම සිදු නොවනු ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd