රුසියාවට මායිම්ව පිහිටා ඇති නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාත රුසියාවට දීමට කැමැති නම්, යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීමට හැකියාව ඇතැයි ඇමෙරිකාව යෝජනා කරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පවසයි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් පැවැත්වෙන සාම සාකච්ඡා අතරතුරේ මෙම අදහස ඉදිරිපත් වී ඇතැයි ද පැවැසෙයි. ඩොන්බාස් පළාතෙන් යුක්රේන හමුදා ඉවත් කර ගැනීම වෙනුවෙන් නේටෝ සාමාජිකත්වය ලබා දිය හැකි ද යන්න ඇමෙරිකානු නියෝජිතයින් විමසීමක් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

කෙසේ නමුත්, යුක්රේන භූමියේ ස්වෛරීත්වය රුසියාවට පවරා දීමට යුක්රේන වැසියන්ගේ කිසිදු සූදානමක් නොමැති බව මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, රුසියන් යුක්රේන සාම කතා පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදීය. ඒ, ට්‍රම්ප්ගේ නියෝජිතයන් වන ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ්ගේ සහභාගීත්වයෙනි. කුෂ්නර් සහ විට්කොෆ් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

ඩොන්බාස් පළාත රුසියාවට එක් කර ගැනීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින්ගේ කිසිදු විරෝධතාවක් නොමැති බව පැවැසෙයි. කෙසේ නමුත්, ඒ වෙනුවෙන් යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපතිවරයාගේ පැහැදීමක් නොමැති බව ද පැවැසෙයි.

නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් මෙන්ම තුර්කිය ද සාමාජිකයන් වන නේටෝව යුද සන්ධානයකි. රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමේ අරමුණින් නේටෝ සංවිධානය පිහිටුවා ඇත. යුක්රේනය රුසියාවේ සමීපතම අසල්වැසියාය.

යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ එබැවිනි. ඩොන්බාස් ඇතුළු නැගෙනහිර යුක්රේනයේ පළාත් රැසක් පහර දී අත්පත් කර ගැනීමට රුසියන් හමුදා සමත් වී සිටී.