ජීවන වියදම ඉහළ යෑම සම්බන්ධයෙන් ප්‍රචණ්ඩ විරෝධතා ප්‍රංශය කලඹද්දී, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, සෞදිය ඇතුළු ඇතුළු ගල්ෆ් රටවල සංචාරයක නියැළෙයි.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් පළමුවෙන් පැමිණියේ සෞදියේ රියාද් අගනුවරටය. එය පෙර දැනුම දීමකින් තොරව සිදු කළ සංචාරයක් විය.  සෞදි​යට යේමනයේ හූති සටන්කාමීන් ප්‍රහාර එල්ල කරද්දී, සෞදියට ආ පළමු බටහිර රාජ්‍ය නායකයා වන්නේ ද මැක්රොන්ය.

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් අතරේ සාකච්ඡා පැවැත්විය. ඒ රියාද් අගනුවරදීය. කලාපීය ගැටලු ගැන ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

ප්‍රංශයේ දිනෙන් දින ප්‍රචණ්ඩකාරී විරෝධතා ඔඩුදුවන්නේ, ජීවන වියදම ඉහළ යෑම මුල්කොට ගනිමිනි. ප්‍රංශය ඉන්ධන අර්බුදයකට ද මුහුණ පා සිටී. ඇමෙරිකන් ඉරාන අර්බුදය හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ප්‍රංශයේ ඉන්ධන අර්බුදයක් ඇති කිරීමට හේතුවක් විය.

සෞදි කුමරු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, සෞදි අරාබියෙන් අමතර ඩීසල් තොග ප්‍රංශයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට මැක්රොන්ට හැකියාව ලැබුණි.

සෞදි සංචාරයෙන් පසු මැක්රොන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල ද සංචාරය කළේය. එහි ප්‍රතිඵලය වූයේ මාසිකව ඉන්ධන ටොන් 100,000 බැගින් ප්‍රංශයට ලබා දීමට එම රටවල් කැමැත්ත පළ කළ බව ද වාර්තා වේ.