(අංජුල මහික වීරරත්න)

අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කර ඇතැයි ආණ්ඩුව පැවසුවද පවතින නීතිමය හා පරිපාලනමය බාධා හේතුවෙන් එම මුදල් බිම් මට්ටමේ ජන සහන වැඩසටහන් සඳහා යෙදවීමට ආණ්ඩුවට කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය දී එල්.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

රජයේ මාණ්ඩලික නිලධාරීන් ටෙන්ඩර් පටිපාටිය හරහා මුදල් වියදම් කිරීමට දැඩි බියක් දක්වන බවද පීරිස් මහතා කීය.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එල් පීරිස් මහතා:-

පසුකාලීනව සිදුවන විමර්ශන සහ 'ත්‍රස්තවාදයට විරුද්ධව රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත' වැනි නව නීති හේතුවෙන් සද්භාවයෙන් තීන්දු ගන්නා නිලධාරීන් පවා අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබීමේ අවදානමකට ලක්ව තිබෙනවා. මේ නිසා වගකීම් භාර ගැනීමෙන් නිලධාරීන් වැළකී සිටීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

“දිට්වා” ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කළද, ඉන් වැය කර ඇත්තේ 8% ක් වැනි ඉතාම සුළු අගයක් පමණි.

 ගිය වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ රුපියල් බිලියන 1,380න් වසර මැද වන විට වැය කර තිබුණේ 18% ක් පමණක් වන අතර, වසර අවසානයේදී පවා වැය කළ හැකි උපරිමය 30% - 40% අතර අගයක්. මෙවර අයවැයෙන් රුපියල් බිලියන 2,000ක් වෙන් කළද, පෙර වසරේ වියදම් කළ ආකාරය පිළිබඳ කිසිදු වාර්තාවක් රජය ඉදිරිපත් කර නැහැ.

වත්මන් රජය බලයට පත් වන විට බිංදුව මට්ටමේ (0.8%) පැවති උද්ධමනය මේ වන විට 8.3% දක්වා වර්ධනය වෙලා.