
රුසියාවේ, ‘ගැමලේයා’ පර්යේෂණ ආයතනය විසින් නිපදවා, එරට පිළිකා රෝගීන්ගේ භාවිතයට නොමිලේම ලබා දී ඇති ‘එම්.ආර්.එන්.ඒ’ වර්ගයේ පිළිකා නාශක එන්නත මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව ‘ගැමලේයා’ පර්යේෂණායතනය පවසයි.
‘ගැමලේයා’ පර්යේෂණායතනය රුසියන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතී. මෙම පර්යේෂණායතනය නිපදවූ පිළිකා නාශක එන්නත, නොමිලේ රුසියාවේ පිළිකා රෝගීන්ට නොමිලේ ලබා දෙන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උපදෙස් දුන්නේ පසුගිය අගෝස්තු මාසයේය. ඒ අනුව, එන්නත ලබා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන්ට එන්නත හිමිවිය.
එසේ එන්නතේ සියලු මාත්‍රා නිසි පරිදි ලබා ගත් පළමු පිළිකා රෝගියා මේ වනවිට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, එන්නත සාර්ථක බවත් ‘ගැමලේයා’ පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ප්‍රතිකාර අවසන් වී මාස හතරක් පමණ ගත වී ඇති මෙම රෝගියා, සී.ටී. ස්කෑන් පරීක්ෂණ කීපයකට යොමු කළ බවත්, එම පරීක්ෂණ මගින් රෝගියාගේ සිරුරේ වසා ගැටිති ඇතුළු මුළු සිරුරම පරීක්ෂා කළ බවත්, මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී නව පිළිකා ලක්ෂණ කිසිවක් හමු වී නැති බවත් පැවැසෙයි.
පිළිකා නාශක එන්නත සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇතැයි ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ එම පර්යේක්ෂණ ප්‍රතිඵල අනුවය. එසේ වුවත්, එම රෝගියා ඉදිරි වසර තුනක කාලයක් දැඩි වෛද්‍ය නිරීක්ෂණ යටතේ පසුවන බව ද ගින්ට්ස්බර්ග් වැඩි දුරටත් පවසා ඇත.
මෙම පිළිකා නාශක එන්නත මගින් සිදුවන්නේ, පිළිකා රෝගියකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනස් කර, ශක්තිමත් කර ස්වභාවිකව පිළිකා තත්වය අඩපණ කිරීම යැයි පැවැසෙයි.
මෙම එන්නත පිළිකා වර්ග අනුව සහ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය අනුව වෙනස් වන බවත්, පිළිකාවට අනුව එය වෙනස් කරමින් නිපදවීම කළ හැකි බවත් රුසියන් විද්‍යාඥයෝ පවසා ඇත.
මේ අතර, රුසියාවේ අසල්වැසියකු වන කසක්ස්තානය ද මේ ආකාරයේ පිළිකා නාශක එන්නතක් නිපදවමින් සිටින බව ද පැවැසෙයි. එහි පළමු සායනික පර්යේෂණ මේ වනවිටත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd