(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ජාතික නිල දරිද්‍රතා රේඛාව  ඉකුත් 2024 අගෝස්තු මාසයේදී   පුද්ගලයෙකුට මාසයකට   රුපියල්  17,719ක්   ලෙස  සටහන්වී   අැතැයි  රජයේ මුදල් පිළිබඳ     පාර්ලිමේන්තු   කාරක  සභාවේදී  තොරතුරැ  හෙළිවිය

ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව ගණනය කිරීමේදී පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය කිලෝ කැලරි 2,030ක  අවම  ආහාර ශක්ති අවශ්‍යතාව සහ ආහාර නොවන  මූලික අවශ්‍යතා සඳහා වන පිරිවැය සැලකිල්ලට ගන්නා ‘මූලික අවශ්‍යතා පිරිවැය’ (Cost of Basic Needs) ක්‍රමවේදය පිළිබඳව  මෙහිදී පැහැදිලි කෙරිණි.

ඉකුත් 2025 වසරට අදාළ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ (Household Income and Expenditure Survey – HIES)  අවසන් වාර්තාව නිකුත් කිරීමේ  කාලසීමාව පිළිබඳවද   කාරක සභාවේදී සාකච්ඡා විය.

වාර්තාව 2026 ඔක්තෝබර් මාසයේදී නිකුත් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, දත්ත පිරිසිදු කිරීමේ කටයුතුවල සංකීර්ණතාව, පරිගණකගත කිරීමේ ප්‍රමාදයන්, නිලධාරී පුරප්පාඩු සහ ආර්ථික සංගණනයට (Economic Survey) අදාළ කටයුතු හේතුවෙන් වාර්තාව  නිකුත් කිරීම 2026 දෙසැම්බර් මාසය දක්වා කල් ගොස් ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මෙම සමීක්ෂණය සඳහා මාස 12ක කාලයක් පුරා දිවයිනේ ගෘහ ඒකක 25,000කින් දත්ත රැස් කර ඇති අතර, එම දත්ත පිරිසිදු කිරීම, සත්‍යාපනය සහ විශ්ලේෂණය කිරීමේ කටයුතු  සිදු කෙරෙමින් පවතින බව ද සාකච්ඡාවේදී අනාවරණය විය. ආර්ථික හා සමාජීය තත්ත්වයන්හි සිදුවන වෙනස්කම් වඩාත් නිවැරදිව හඳුනාගැනීම සඳහා මෙවැනි සමීක්ෂණවල ප්‍රතිඵල කාලෝචිතව ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණ.

මීට අමතරව, සමාජ ආරක්ෂණ වැඩසටහන් මගින් දරිද්‍රතාව අඩු කිරීම සඳහා සිදු කරන දායකත්වය පිළිබඳවද අවධානය යොමු විය. 2019 වසරට අදාළ දත්ත අනුව, එවකට ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල ප්‍රතිලාභ නොලැබුණේ නම් දරිද්‍රතා අනුපාතය සියයට  14.3 සිට සියයට  20.5 දක්වා ඉහළ යාමට ඉඩ තිබූ බව සඳහන් විය. එමෙන්ම, විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ නොමැති තත්ත්වයක් යටතේ දරිද්‍රතා අනුපාතය සියයට 16.7  දක්වා ඉහළ යා හැකි බව ද අනාවරණය විය

දරිද්‍රතා රේඛාව ගණනය කිරීමේදී භාවිත කරන පාරිභෝගික භාණ්ඩ එකතුව (Consumer Basket) කාලීන සමාජ හා ආර්ථික වෙනස්කම්වලට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් විය. විශේෂයෙන්ම, පැරණි දත්ත සහ භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය කිරීම් මගින් වත්මන් ජීවන වියදම සහ ජනතාවගේ මූලික අවශ්‍යතා පිළිබඳ තත්ත්වය නිවැරදිව පිළිබිඹු වන්නේද යන්න සම්බන්ධයෙන්ද  සාකච්ඡා කෙරිණි.

අස්වැසුම වැනි සමාජ සුබසාධන වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් හඳුනාගැනීමේදී යොදාගන්නා දත්ත වර්තමාන ගෘහස්ථ ආදායම් හා වියදම් තත්ත්වයන් නිවැරදිව පිළිබිඹු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අවධානය යොමු කෙරිණ.

දරිද්‍රතාව, ආදායම් බෙදීයාම, ගෘහස්ථ සුබසාධනය සහ ඊට අදාළ කරුණු පිළිබඳ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳවද  කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (13) රැස් වූ   කාරක සභාවේදී,  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව හා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් රටේ සමාජ හා ආර්ථික දත්ත රැස් කිරීම, දරිද්‍රතා රේඛාව ගණනය කිරීම සඳහා භාවිත කරන විද්‍යාත්මක ක්‍රමවේද සහ එම දත්ත ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු විය.

මෙම කාරක සභා රැස්වීමට  විපක්ෂ නායක   සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන   චතුරංග අබේසිංහ සහ   නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක,    ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, තිලිණ  සමරකෝන්  සහ ගරු විජේසිරි බස්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.