(රෝෂන් තුෂාර)

සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට පොලිසියෙන් පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය අද පැවසීය.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සත්‍යග්‍රහයේ නිරතව සිටි කස්සප හිමි තමන්ට පොලිසියෙන් පහර දුන්නේ යැයි පවසමින් එම හිමියන් පසුගිය ඔක්තෝබර් 17 දින රෝහල් ගතවීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවය.

අදාළ දිනයේදී කස්සප හිමියන්ට පොලිසියෙන් පහර දුන් බවට විහාර මහා දේවී උද්‍යානයේ සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේලා විසින් මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කර ඇති බවත් , එම ප්‍රකාශ අනුව කස්සප හිමියන්ට පොලිසියෙන් පහර දුන්නේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා මෙම විමර්ශනය සිදු කරන බවද පැවසීය.

ඒ අනුව දැනට අනුරාධපුර බන්ධනාගාරයේ සිටින කස්සප හිමියන්ගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

පොලිසිය මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බළන්ගොඩ කස්සප හිමියන්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට අවසර ලබා දුන්නේය.

විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කළේය.