අල්මාස් හෝල්ඩිංග්ස් සභාපති ඉම්තියාස් බුහර්දීන් 


ඊයේ (27) පැවැත්වුණු ඊශ්‍රායල මැතිවරණය, ලබන නොවැම්බර් 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජනපදයේ මැදිවාර මැතිවරණය සහ නොවැම්බර් 12 වැනිදා පැවැත්වෙන ලංකාවේ අයවැය මේ සඳහා හේතු වන ප්‍රධානතම සිදුවීම් තුනයි


ශ්‍රී ලංකාව මේ වනවිට තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින බවත්, ඉදිරි සති කිහිපයේ සිදුවන සිදු වීම් මෙරට වෙළෙඳපොළ දිශානතියට තීරණාත්මක ලෙස බලපානු ඇති බවත් මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු වන ඉම්තියාස් බුහර්දීන් මහතා පවසයි. 

සිය Linkdin සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කර සිටියි. ඉම්තියාස් මහතා මෙරට මුල් පෙළේ ආයෝජන සමාගමක් වන අල්මාස් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපතිවරයාද වෙයි. 

“ඔක්තෝබර් 27 (ඊයේ) පැවැත්වුණු ඊශ්‍රායල මැතිවරණය, ලබන නොවැම්බර් 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජනපදයේ මැදිවාර මැතිවරණය සහ නොවැම්බර් 12 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ අයවැය මේ සඳහා හේතු වන ප්‍රධානතම සිදුවීම් තුනයි.“ ඒ මහතා පවසයි. 

මේ අතරින් පළමු සිදු වීම් දෙක දැනටමත් පවතින ඉරාන යුද ගැටුම් සහ මැදපෙරදිග ආතති තත්වයේ අනාගත ගමන් පථය වෙත බලපානු ඇතැයි ඔහුගේ අදහස වී තිබේ.  

එසේම ලංකාවේ අයවැය මූලිකවම යටිතල පහසුකම් සහ ප්‍රාග්ධන ආයෝජන වෙත වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරිපත් කරන, වර්ධනය අරමුණු කරගත් අයවැයක් වනු ඇතැයි බලාපොරොත්තුව බවත් ඔහු පවසයි. 

“ගත වූ කාලසීමාවේදී ශ්‍රී ලංකාව ප්‍රධාන අභියෝග තුනකට මුහුණ දුන්නා. තීරුබදු අස්ථාවරත්වය, දිට්වා සුළි කුණාටුව සහ දැනටමත් පවතින ඉරාන යුද ගැටුම් ඒවායි. කුමන බාධා මැද වුවත් අපගේ ආර්ථිකය පිට පිට කාර්තු 12කදීම වර්ධනයක් වාර්තා කරමින් ඉතාමත් හොඳ දරා ගැනීමක් පෙන්නුම් කර තිබෙනවා.“ 

ඒ අනුව මෙම පසුබිමත් සමගින්ම ඉතාමත් සාර්ථක රජයේ ආදායම් රැස් කිරීමක්, ඉහළ අපනයන ආදායමක්, විදේශ ශ්‍රමිකයන්ගේ හොඳ ප්‍රේෂණ ආදායමක් සහ යහපත් සංචාරක පැමිණීමක් සමගින් වසර අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු පවසයි. 

“ඒ වගේම අපි දළ ජාතික නිෂ්පාදිතයේ ණය පංගුව, පොලී සහ ආදායම් අනුපාතය, විරැකියා සහ දරිද්‍රතා අනුපාත පිළිබඳ දර්ශකවලත් යහපත් තත්වයක් දකිනවා. එතැනදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ මේ ආර්ථික ස්ථාවරත්වයට සහ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා වැදගත් වැඩ කොටසක් සිදු කර තිබෙනවා.“ 

ඒ අනුව මීළග අදියර විය යුත්තේ වර්ධනය බවත් ඉම්තියාස් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. 

“අප 2027 වසර දෙසට ගමන් කරන විට, දැඩි පරිශ්‍රමයකින් අත්කර ගත් මෙම ස්ථාවරත්වය පදනම් කර ගනිමින්, එය වඩාත් ශක්තිමත් ආයෝජන, යටිතල පහසුකම්, ඵලදායිතාව සහ ආයතනික ඉපැයීම් බවට පරිවර්තනය කර ගැනීමට අපට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ අනුව අප සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක බව මම විශ්වාස කරනවා.“ ඔහු පවසයි.