- බදු පැහැරහැරීම්වලට එරෙහි විගණන කටයුතු පුළුල් කිරීම සහ අනීතික මූල්ය ප්රවාහ අවම කිරීම අරමුණයි
ඒකාබද්ධ යාන්ත්රණයකින් බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ ඒ මත පදනම්ව සමාන්තර විමර්ශන සිදුකිරීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට එළැඹුණු බව පවසයි.
ඊයේ (21) දිනයේ මුදල් අමාත්යංශයේ දී නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ. එන්. හපුගල මහතාගේ ප්රධානත්වයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්රනාන්දු මහත්මිය සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී. එන්. ඒ. පේමරත්න මහතා අතර මෙම අත්සන් තැබීම සිදුව තිබේ.
විශේෂයෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදය මූල්යකරණය සහ විනාශකාරී ආයුධ ව්යාප්තිය සඳහා වූ මූල්යකරණයට එරෙහිව ශ්රී ලංකාව තුළ සිදු කරන තුන්වැනි අන්යෝන්ය ඇගයීමට සමගාමීව, 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත මගින් 2026 අගෝස්තු 04 දින සිට දේශීය ආදායම් පනතේ 189 වැනි වගන්තිය යටතේ වන බදු පැහැර හැරීම් සම්බන්ධ වැරැදි සහ සුරා බදු ආඥා පනත යටතට වැටෙන වැරැදි මුදල් විශුද්ධිකරණය සම්බන්ධව ‘නීති විරෝධී ක්රියාකාරකම්’ (Unlawful Activity) ලෙස සලකනු ලැබේ.
ඒ අනුව, රජයේ සම්පත් ප්රශස්ත අයුරින් උපයෝගී කර ගනිමින් එවැනි වරදවල්වලට එරෙහිව සාමූහිකව ක්රියා කිරීමේ යාන්ත්රණයක්, මෙම අවබෝධතා ගිවිසුම තුළින් ගොඩනැගෙනු ඇතැයි සඳහන් වෙයි.
ඒ තුළින්, බදු පැහැරහැරීම්වලට එරෙහිව සිදුකරනු ලබන විගණන කටයුතු පුළුල් කිරීම, අනීතික මූල්ය ප්රවාහ අවම කිරීම, ආදායම් රැස් කිරීම විධිමත් කිරීම මගින්, අවසාන වශයෙන් රජයේ ආදායම් ඉලක්ක කරා ළඟා වීමට අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd