• මෙරට ණය ශ්‍රේණිය ‘CCC+’ සිට ‘B-’’ දක්වා ඉහළ නැංවීමෙන් පසු ගත් පියවරක්
  • ඇතැම් ශ්‍රේණිගත කිරීමේ සංශෝධන සිදුවිය හැකි බවත් පවසයි 

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාව සඳහා වන සිය ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කරන බව ප්‍රකාශ කර සිටියි. 

මෙය 2026 සැප්තැම්බර් 22 වැනි දින ෆිච් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී දිගුකාලීන දේශීය-මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR) ‘CCC+’ සිට ‘B-’/ස්ථාවර’ දක්වා ඉහළ නැංවීමෙන් පසුව ගනු ලබන පියවරක් බවත් පවසයි. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිකුත් කරන්නන් අතර සාපේක්ෂ ණය සුදුසුකම්වල වෙනස්කම් පිළිබිඹු කිරීම මෙහි අරමුණක් බවත් ඔවුහු පෙන්වා දෙති. 

“මෙලෙස නැවත ක්‍රමාංකනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීම් සහිත ඇතැම් නිකුත් කරන්නන් සඳහා ශ්‍රේණිගත කිරීමේ සංශෝධන සිදුවිය හැකිය. මෙම ශ්‍රේණිගත කිරීමේ සංශෝධන ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරේ.” එම ආයතනය පවසයි. 

ඒ අනුව 2026 ඔක්තෝබර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පරිමාණය අනුව ශ්‍රී ලංකාවේ මෙම ණය ශ්‍රේණිගත කිරීමේ පරිමාණය ක්‍රමාංකනය කෙරේ. 

එහිදී B+ ඉහළ යන්න AAA ලෙසත්, B යන්න AAA/AA+ ලෙසත්, B- යන්න AA+ සිට BB ලෙසත්, CCC+ යන්න BB සිට BB- ලෙසත්,  CCC යන්න BB- සිට B- ලෙසත් CCC- යන්න CCC+ ලෙසත්, CC යන්න CCC සිට CC ලෙසත් ක්‍රමාංකනය කෙරී තිබේ. කෙසේ වෙතත් C, D සහ RD යන ශ්‍රේණිගත කිරීම එලෙසින්ම පවත්වාගෙන යන බවත් එම ආයතනය පවසයි.

ජාතික පරිමාණ ශ්‍රේණිගත කිරීම් යනු දේශීය ආයෝජකයන්ට අවදානම වෙන්කර හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත වෙළෙඳපොළක නිකුත් කරන්නන්ගේ අවදානම් ශ්‍රේණිගත කිරීමක් ලෙස සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීම් ‘(lka)’ යන සුවිශේෂී හඳුනාගැනීම මගින් දැක්වේ. 

ශ්‍රී ලංකා ජාතික පරිමාණයේ අද්විතීය ස්වභාවය පිළිබිඹු කිරීම සඳහා ෆිච් මෙම හඳුනාගැනීම එක් කරයි. එහිදී ජාතික පරිමාණ ෆිච් හි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පරිමාණ සමග හෝ වෙනත් රටවල ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණ සමග සැසඳිය නොහැකි බවත් ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් පවසයි.