• විදුලිය බිඳවැටුණු කාලයේ උත්පාදනය කළ නොහැකි වූ විදුලියේ උපරිම පාඩුව රුපියල් බිලියන 3.7ක් 
  • නොරොච්චෝලේ බිඳ වැටීම නිසා ඉන්ධන සඳහා වියදමේ උපරිම පාඩුව රුපියල් බිලියන 2.1 ක්
  • දළ ජාතික නිෂ්පාදිතය වෙතත් රුපියල් බිලියන 3.7ක පාඩුවක් 
  • ඔක්තෝබර් මාසයේ එක් දිනක් සඳහා වන ඉන්ධන/බලශක්ති පිරිවැය රුපියල් මිලියන 958 ක් 

පසුගිය ඔක්තෝබර් 17 වැනිදා රට පුරා හටගත් හදිසි විදුලි බිඳ වැටීම නිසා සිදු වූ පාඩුව රුපියල් බිලියන 2.3 ත් - රුපියල් බිලියන 5.8 ත් අතර අගයක් ගත හැකි බව කොටස් තැරැව්කාර ආයතනයක් වන SenFin Securities සඳහන් කරයි. 

ශ්‍රී ලංකාවේ විදුලිබලය, බලාගාර, පිරිවැය සහ බලශක්ති උත්පාදනය හා සම්බන්ධ ලැයිස්තුගත සමාගම් සහ ලෝකයේ දත්ත සමගින් ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ දත්ත සන්සන්දනය කරමින් එම ආයතනය මගින් සකස් කළ නවතම ‘Senfin  -  Sri Lanka Electricity Generation Review’ වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.

ජාතික විදුලි පද්ධතියේ සිදු වූ අසමතුලිතතාව හේතුවෙන් මෙම විදුලි බිඳ වැටිම ඇති විය. එහිදී ඔක්තෝබර් 16 වැනිදා ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාරයේ ඇති වූ තාක්ෂණික දෝෂයක්ද ඊට බලපා ඇතැයි සඳහන් වෙයි.

එහිදී අදාළ විදුලිය බිඳවැටුණු කාලසීමාවේදී උත්පාදනය කළ හැකිව තිබූ විදුලිය ඒකක ප්‍රමාණය සහ ඒවායේ සැබෑ මිල මෙන්ම, පද්ධතිය අසමතුලිත වීමෙන් පසුව එය නැවත සමතුලිත කිරීම සඳහා දැරිමට සිදු වූ අමතර ඉන්ධන වියදම් පිළිබඳව සලකමින් ඔවුන් මෙම ගණනය කිරීම් සිදු කර තිබේ.

ඒ අනුව රට පුරා විදුලිය විසන්ධි වූ එදින පෙරවරු 11.43 සිට එය නැවතත් යථා තත්වයට පත් කෙරුණු පස්වරු 6.30 අතර කාලය තුළ උත්පාදනය කළ නොහැකිව අහිමි වී ගිය විදුලි ධාරිතාව ගිගාවොට් පැය 8 ත් 15ත් අතර අගයක් ගන්නා බව එහි සඳහන්ව තිබේ. 

එහිදී එක් කිලෝවොට් පැයකට සිදු වූ අලාභය රුපියල් 212 ක් බැගින් එම අහිමි වී ගිය විදුලිබලය සඳහා වූ පාඩුව රුපියල් බිලියන 1.7 ත් - රුපියල් බිලියන 3.7ත් අතර අගයක් ගන්නා බව ඔවුන් පවසයි. 

එසේම මෙම විදුලිය බිඳ වැටීම නිසා දළ ජාතික නිෂ්පාදිතය වෙත සිදු වූ හානියද ඔවුන් මෙහිදී ගණන් බලා තිබේ. ඒ අනුව දිනකට මෙරට දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 95ක් ලෙස ගණන් බලා, විදුලිය බිඳ වැටුණු පැය 6 ක කාලය සඳහා එය රුපියල් බිලියන 27ක් වන බව ඔවුන් පවසයි. 

එසේම එම දිනය සෙනසුරාදා දිනයක් වීම නිසා එය 0.7 කින් ගුණ කරමින් අවසානයේදී එම අලාභය රුපියල් බිලියන 19ක් ලෙස ඔවුන් පෙන්වා දෙයි. 

කෙසේ වෙතත් මෙම අලාභයෙන් සියයට 10ත් - 20ත් අතර අගයක් අනිවාර්යයෙන්ම මෙම පාඩුවට ඇතුළත් විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව මෙම පාඩුව රුපියල් බිලියන 1.9ත් රුපියල් බිලියන 3.7ත් විය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි. එහෙත් මෙම වාර්තාව තුළ එය විදුලි බිඳවැටීමේ පාඩුව ලෙස එක් කර නැත.

මේ අතර පද්ධතියේ සිදු වූ අසමතුලිතතාව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය දින තුනක් යන තුරු තාවකාලිකව බිඳ වැටීමට සිදු වීම නිසා දැරීමට සිදු වූ අමතර ඉන්ධන වියදමද මෙහිදී පාඩුවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි. 

ඒ අනුව ගල් අඟරු දැවීමෙන් දිනකට උත්පාදනය කෙරුණු ගිගාවොට් පැය 16 ක විදුලියක්, ඉන්ධන දහන බලාගාර හරහා පියවා ගැනීමට යාමෙන් කිලෝවොට් පැය එකක් සඳහා රුපියල් 26 ක අමතර වියදමක් දැරිමට සිදුව තිබේ. මෙය දින අඩුම තුනක කාලයක් සඳහා රුපියල් බිලියන 0.6ක් ලෙසත්, දින හතරක මැදි අගයක් සඳහා රුපියල් බිලියන 1.25ක් ලෙසත් දින පහක උපරිම අගයක් සඳහා රුපියල් බිලියන 2.1 ක් වන බවත් SenFin Securities සඳහන් කරයි.

ඒ අනුව නිෂ්පාදන අලාභය සහ නොරොච්චෝලේ බිඳ වැටීම නිසා දැරීමට සිදු වූ අමතර ඉන්ධන වියදමත් සමගින් මෙම පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 2.3ත්, මැදි වශයෙන් රුපියල් බිලියන 3.7ත් සහ උපරිම වශයෙන් රුපියල් බිලියන 5.8ක් වන බවත් මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙරට විදුලි උත්පාදන දත්ත අනුව 2026 ඔක්තෝබර් මාසයේ සාමාන්‍ය දිනක විදුලි බල උත්පාදනය ගිගාවොට් පැය 52.9 කි. එහිදී එක් කිලෝවොට් පැයක් සඳහා රුපියල් 18.1 ක සාමාන්‍ය පිරිවැයක් යටතේ මාසයේ එක් දිනක් සඳහා වන ඉන්ධන/බලශක්ති පිරිවැය රුපියල් මිලියන 958 කි.  එසේම මෙම දිනක විදුලි උත්පාදන වියදම වෙත කිලෝවොට් පැය එකක් සඳහා ධාරිතා ගාස්තුවත් එකතු වූ විට එය දිනකට රුපියල් බිලියන 1.16 ක් බවට පත්ව තිබෙන බවත් මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.