නිමල කොඩිතුවක්කු 


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි සේවා ප්‍රදේශය සඳහා අප ජල පිරිපහදු පද්ධති දෙකක් (02) ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත 

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සමාගමේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන කැනොවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පාස් (පෞද්ගලික) සමාගම විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න ප්‍රදේශයේ පිහිටි සේවා ප්‍රදේශය පවත්වා ගෙන යනු ලබයි.

 එම සේවා ප්‍රදේශයේ දැනට පවතින අපජල පිරිපහදු පද්ධතිවල ධාරිතාව ප්‍රමාණවත් නොවන බව හඳුනාගනු ලැබ ඇත. 

ඒ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, එමගින්, දිනකට ඝනමීටර 200 බැගින් වන ධාරිතාවෙන් යුත් නව අප ජල පිරිපහදු පද්ධති දෙකක් (02) ඉදි කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 562.04ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ වැලි පැන්න සේවා ප්‍රදේශය සඳහා අප ජල පිරිපහදු පද්ධති දෙකක් (02) ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.