• ජනවාරි - සැප්තැම්බර් තේ අපනයනය කිලෝ මිලියන 189.41 ක් 
  • තුර්කියේ තේ ආනයනය සියයට 134 කින් වර්ධනය වෙයි 

සැප්තැම්බර් මාසයේදී මෙරට තේ අපනයනය කිලෝ මිලියන 23.09 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා කළ කිලෝ මිලියන 23.78 ක තේ අපනයනය හා සැසඳීමේදී කිලෝ 6,88,816ක එනම් සියයට 2.9 ක පහත වැටීමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walkers පවසයි. 

මෙහිදී තේ බෑග්, ක්ෂණික තේ සහ හරිත තේ හැර තේ තොග සහ තේ පැකැට්ටු අපනයනය පහත වැටී තිබේ. ඒ අනුව තේ තොග කිලෝ මිලියන 10.36 ක සිට කිලෝ මිලියන 9.41 ක් දක්වා 6,25,135 කින්ද, තේ පැකට්ටු කිලෝ මිලියන 10.56 ක සිට කිලෝ මිලියන 10.34ක් දක්වා 2,22,306 කින්ද පහත වැටී තිබේ.

එහෙත් තේ බෑග් කිලෝ මිලියන 2.41ක සිට කිලෝ මිලියන 2.47ක් දක්වා කිලෝ 65,854 කින්ද, ක්ෂණික තේ කිලෝ 2,96,647ක සිට කිලෝ 3,88,968ක් දක්වා 92,321කින්ද, හරිත තේ කිලෝ 4,60,270 ක සිට 4,60,720ක් දක්වා කිලෝ 450 කින්ද අපනයනය ඉහළ ගොස් තිබේ. 

සැප්තැම්බර් මාසයේදී වැඩිම තේ ආනයනයක් සිදුකළ රට වන්නේ තුර්කියයි. එය තේ කිලෝ මිලියන 35.70ක් ලෙස සටහන්ව ඇති අතර, 2025 සැප්තැම්බර් ආනයනය කළ කිලෝ මිලියන 15.26 සැසඳීමේදී සියයට 134ක වර්ධනයකි. එසේම දෙවැනි තැන පසුවන ඉරාකයේ තේ ආනයනය කිලෝ මිලියන 18.43ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 39 කින් පහත වැටී තිබේ. කිලෝ මිලියන 16.91ක් සමගින් රුසියාව තෙවැනි තැන පසුවෙයි. 

මේ අතර ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගත වූ මුල් මාස 09 තුළ තේ අපනයනය කිලෝ මිලියන 189.41 ක් ලෙස සටහන්ව ඇත. මෙය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා කළ කිලෝ මිලියන 198.32 ක තේ අපනයනය හා සැසඳීමේදී කිලෝ මිලියන 8.91 ක එනම් සියයට 4.49 ක අඩුවීමක් බවද Forbes & Walkers පවසයි. 

එහිදී ක්ෂණික තේ හැර අනෙකුත් සියලු‍ම වර්ගවල තේ අපනයනය මුල් මාස 09 තුළ කැපී පෙනෙන පසුබැසීමක් සිදුව තිබේ.