
විදේශ ආයෝජන: ශ්රී ලංකාවට මගහැරෙන අවස්ථාව
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථික ස්ථාවරත්වය යළි ගොඩනැගීමේදී විදේශ ඍජු ආයෝජන (Foreign Direct Investment—FDI) ආකර්ෂණය කරගැනීම අත්යවශ්ය කාර්යයක් බවට පත්ව තිබේ. විදේශ ආයෝජන යනු රටකට විදේශ විනිමය ගලා ඒමට ඇති තවත් මාර්ගයක් පමණක් නොවේ. ඒවා නව තාක්ෂණය, කළමනාකරණ දැනුම, රැකියා, අපනයන වෙළෙඳපොළ වෙත ප්රවේශය සහ ජාත්යන්තර නිෂ්පාදන ජාලවලට සම්බන්ධ වීමේ අවස්ථා ද උදා කරයි. විශේෂයෙන්ම, රාජ්ය ණය මත අධික ලෙස රඳා නොපවතින ආර්ථික වර්ධනයක් ගොඩනැගීමට විදේශ ඍජු ආයෝජන වැදගත් වේ. මෙරට පෞද්ගලික අංශයේ ආයෝජන ධාරිතාව සීමිත වීම සහ රාජ්ය ආදායමෙන් සැලකිය යුතු කොටසක් ණය ආපසු ගෙවීම සඳහා යෙදවීමට සිදුවීම යන කරුණු සැලකිල්ලට ගත් විට, මෙම ආයෝජනවල වැදගත්කම තවදුරටත් පැහැදිලි වේ.
එහෙත් ශ්රී ලංකාවේ දිගුකාලීන අත්දැකීම වන්නේ රටේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, වරාය පහසුකම්, සාපේක්ෂව උගත් ශ්රම බලකාය සහ විශාල වෙළෙඳපොළවල්වලට ඇති සමීපත්වය වැනි වාසි තිබියදීත්, ඒවා සැලකිය යුතු විදේශ ආයෝජන ගලා ඒමක් බවට පරිවර්තනය කිරීමට නොහැකි වී තිබීමයි. ලෝක බැංකුවේ ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, පසුගිය දශක තුන තුළ රටේ ශුද්ධ විදේශ ඍජු ආයෝජන ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් සාමාන්යයෙන් සියයට 1ක් පමණ විය. නැගීඑන ආර්ථිකයන්ට (Emerging Economies) සාමාන්යයෙන් එම රටවල දළ දේශීය නිමවුමේ ප්රතිශතයක් ලෙස සියයට 4-5 අතර ප්රමාණයක් වාර්ෂිකව ඍජු විදේශ ආයෝජන ලෙස ගලා එයි.
මෙම අගය ශ්රී ලංකාවට ඇති ආයෝජන විභවය සහ සැබෑ ආයෝජන කාර්යසාධනය අතර පවතින පරතරය පෙන්වන වැදගත් දර්ශකයකි. එබැවින් මෙහිදී ඇසිය යුතු ප්රශ්නය විදේශ ආයෝජකයන් ශ්රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන්නේද යන්න පමණක් නොවේ. එම උනන්දුව සැබෑ ආයෝජන බවට පත් කිරීමට අවශ්ය ආයතනික, නියාමන සහ වෙළෙඳ ප්රතිපත්තිමය පරිසරය රට විසින් නිර්මාණය කර තිබේද යන්නයි.
ජාත්යන්තර අත්දැකීම් අපට කියා දෙන්නේ කුමක්ද?
ශ්රී ලංකාවේ කාර්යසාධනය තක්සේරු කිරීම සඳහා වෙනත් රටවල් සමග සැසඳීම වැදගත් වේ. ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය සහ කොස්ටාරිකාව මෙහිදී ප්රයෝජනවත් සංසන්දනාත්මක උදාහරණ සපයයි. මෙම රටවල් ආර්ථික ප්රමාණය, භූගෝලීය පිහිටීම සහ සංවර්ධන මට්ටම අනුව එකිනෙකට වෙනස් වුවද, අපනයන, නිෂ්පාදන, ජාත්යන්තර වෙළෙඳ සබඳතා සහ ආයෝජන ප්රවර්ධනය සම්බන්ධයෙන් ශ්රී ලංකාවට ඉගෙන ගත හැකි පාඩම් ඒවා සතුව තිබේ. එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන ආයතනයේ (UNCTAD) ලෝක ආයෝජන වාර්තාවල සඳහන් දත්ත අනුව, 2024 වසරේදී සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වෙත ඇමෙරිකානු ඩොලර් බිලියන 622ක පමණ විදේශ ඍජු ආයෝජන ගලා ආ අතර, 2025දී එම අගය ඩොලර් බිලියන 644ක් පමණ දක්වා ඉහළ ගියේය. 2025දී ASEAN කලාපය වෙත ආයෝජන ගලා ඒම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඩොලර් බිලියන 244ක් දක්වා වර්ධනය වූ බවද වාර්තා වේ.
රටවල් මට්ටමින් සලකා බැලූ විට, 2025දී තායිලන්තයට ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක පමණ විදේශ ඍජු ආයෝජන ගලා ආ අතර, එය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි. වියට්නාමයට ගලා ආ ආයෝජන ප්රමාණය ඩොලර් බිලියන 20ක් පමණ වූ අතර, අසල්වැසි ඉන්දියාවට ඩොලර් බිලියන 39ක පමණ ආයෝජන ලැබී තිබුණි. ඊට සාපේක්ෂව, ශ්රී ලංකාවට එම වසරේ ආකර්ෂණය කරගැනීමට හැකි වූයේ ඩොලර් බිලියන 1ක පමණ ආයෝජන ප්රමාණයකි.
මිලියන පහක පමණ ජනගහනයක් සහිත කොස්ටාරිකාවට ඩොලර් බිලියන 5ක පමණ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකිවීමද මෙහිදී අවධානයට ලක්විය යුතු කරුණකි. මෙම සංඛ්යා ඍජුව සැසඳීමේදී රටවල ආර්ථික ප්රමාණය සහ ආයෝජන ගණනය කරන ක්රමවේද අතර වෙනස්කම් සැලකිල්ලට ගත යුතුය. එහෙත් ඒවායින් පැහැදිලි වන්නේ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා රටක භූගෝලීය පිහිටීම හෝ වෙළෙඳපොළ ප්රමාණය පමණක් තීරණාත්මක නොවන බවයි. ආයෝජන ප්රවර්ධනය සඳහා ඇති ආයතනික ශක්තිය, නිෂ්පාදන හා අපනයන උපායමාර්ග සහ ජාත්යන්තර වෙළෙඳපොළවලට ප්රවේශ වීමේ හැකියාවද වැදගත් වේ.
වියට්නාමය නිෂ්පාදන, ඉලෙක්ට්රොනික උපකරණ සහ ජාත්යන්තර සැපයුම් දාම සමග සම්බන්ධ වීම කෙරෙහි දිගුකාලීනව අවධානය යොමු කර තිබේ. තායිලන්තය කලාපීය නිෂ්පාදන මධ්යස්ථානයක් ලෙස වර්ධනය වී ඇති අතර, කොස්ටාරිකාව වෛද්ය උපකරණ වැනි ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන සඳහා ආයෝජන ආකර්ෂණය කරගෙන තිබේ. ඉන්දියාවද තම විශාල වෙළෙඳපොළ සහ නිෂ්පාදන හැකියාව ආයෝජන සඳහා භාවිත කරයි. මෙම රටවල අත්දැකීම්වලින් තවත් වැදගත් පාඩමක් වන්නේ ජාත්යන්තර වෙළෙඳ සබඳතා පුළුල් කිරීමයි. නව නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම, පවත්නා ගිවිසුම් පුළුල් කිරීම සහ අපනයනකරුවන්ට විදේශ වෙළෙඳපොළවලට ප්රවේශ වීමට ඇති බාධා අඩු කිරීම ඔවුන්ගේ ආයෝජන උපායමාර්ගවල වැදගත් කොටස් වේ.
ශ්රී ලංකාවට මෙම රටවල ආර්ථික ආකෘති සම්පූර්ණයෙන් අනුකරණය කිරීමට අවශ්ය නොවේ. එහෙත් දිගුකාලීනව විශ්වාස කළ හැකි ප්රතිපත්ති, කාර්යක්ෂම රාජ්ය සේවා සහ අපනයන කේන්ද්ර කරගත් නිෂ්පාදන පරිසරයක් ගොඩනැගීමේ වැදගත්කම ඒවායින් පැහැදිලි වේ. ඒ අනුව, ගෝලීය ආයෝජන පරිසරයේ අභියෝග පමණක් ශ්රී ලංකාවේ දුර්වල කාර්යසාධනය පැහැදිලි කිරීමට ප්රමාණවත් නොවේ.
ආයෝජකයන් පසුබස්වන ප්රතිපත්තිමය අවිනිශ්චිතතාව
විදේශ ආයෝජන අඩුවීමට බලපාන ප්රධාන හේතුවක් වන්නේ ප්රතිපත්තිමය අවිනිශ්චිතතාව සහ රාජ්ය තීරණවල පවතින නොගැලපීම්ය. විදේශ ආයෝජනයක් යනු වසර ගණනාවක් පුරා ප්රතිලාභ අපේක්ෂා කරන දිගුකාලීන තීරණයකි. එබැවින් බදු ප්රතිපත්ති, ආනයන සීමා, බලපත්ර, ඉඩම් භාවිතය සහ රාජ්ය අනුමැතීන් පිළිබඳ අවිනිශ්චිතතාව ආයෝජකයන්ගේ තීරණවලට ඍජුව බලපායි.
එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ ශ්රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ 2025 සහ 2026 වාර්තා මගින් ද ආයතනික දුර්වලතා, නිලධාරිවාදී ප්රමාද සහ ප්රතිපත්තිමය අවිනිශ්චිතතාව ආයෝජන සඳහා ඇති බාධා ලෙස පෙන්වා දෙයි. මෙය විශාල ආයෝජන ව්යාපෘති කිහිපයක අත්දැකීම්වලින් ද පැහැදිලි වේ. හම්බන්තොට ආසන්නයේ යෝජිත චීන Sinopec තෙල් පිරිපහදු ව්යාපෘතිය, Adani සමාගමේ සුළං බල ව්යාපෘතියෙන් ඉවත් වීම සහ LNG පර්යන්තයක් පිළිබඳ සාකච්ඡා අවසන් කිරීම වැනි සිදුවීම්, ආයෝජන යෝජනා සැබෑ ව්යාපෘති බවට පත් කිරීමේදී පවතින අභියෝග ඉස්මතු කරයි.
මෙහිදී රජයේ තීරණ සියල්ල වැරදි බව අදහස් නොවේ. මහජන යහපත වෙනුවෙන් ගිවිසුම් නැවත සලකා බැලීම සාධාරණ විය හැකි නමුත්, එය විනිවිදභාවයෙන් සහ පැහැදිලි නීතිමය ක්රියාපටිපාටියක් යටතේ සිදු නොවන්නේ නම්, අනාගත ආයෝජකයන්ගේ විශ්වාසයට හානි විය හැකිය. එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, ශ්රී ලංකාවට ලැබෙන බොහෝ ආයෝජන ගනුදෙනු ඩොලර් මිලියන 3-5 වැනි සාපේක්ෂව කුඩා පරිමාණයක පවතී. එබැවින් ප්රශ්නය ආයෝජකයන්ට සහන ලබාදීම පමණක් නොවේ.
ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, අනුමැතීන් කඩිනම් කිරීම සහ ප්රතිපත්තිවල අඛණ්ඩතාව තහවුරු කිරීම අත්යවශ්ය වේ. ආයෝජකයන්ට අවශ්ය වන්නේ වෙනස් නොවන ප්රතිපත්ති නොව, වෙනස්කම් සිදුවන විට ඒවා පැහැදිලි, සාධාරණ සහ පුරෝකථනය කළ හැකි ක්රියාවලියකින් සිදුවන බවට විශ්වාසයයි.
ආයතනික දුර්වලතා
ප්රතිපත්තිමය අඛණ්ඩතාව තහවුරු කිරීම සඳහා අවශ්ය මූලික කොන්දේසියක් වන්නේ කාර්යක්ෂම රාජ්ය ආයතන පද්ධතියකි. ශ්රී ලංකාවේ විදේශ ආයෝජන ප්රවර්ධනයේ ප්රධාන ආයතනය වන්නේ ආයෝජන මණ්ඩලයයි (Board of Investment—BOI). එහෙත් ආයෝජකයකුට ව්යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්ය සියලුම තීරණ එක් ආයතනයක් හරහා ලබාගත නොහැකි තත්වයක් පවතී. ඉඩම්, පරිසර අනුමැතීන්, විදුලිය, ජලය, ගොඩනැගිලි සැලසුම්, රේගු, බදු, කම්කරු නීති සහ වෙනත් බලපත්ර සම්බන්ධයෙන් විවිධ රාජ්ය ආයතන සමග ගනුදෙනු කිරීමට සිදුවේ.
ආයෝජන මණ්ඩලය ආයෝජකයාට මගපෙන්වීම ලබාදුන්නද, අනෙකුත් ආයතනවල තීරණ ගැනීමේ ක්රියාවලිය සම්බන්ධීකරණය කිරීමට හෝ නියමිත කාලසීමාවක් තුළ අනුමැතීන් ලබාදීම සහතික කිරීමට ප්රමාණවත් බලයක් නොමැති නම්, එක්-නැවතුම් සේවා සංකල්පයෙන් අපේක්ෂිත ප්රතිඵල ලබාගැනීම සීමා වේ. එවැනි තත්වයකදී ආයෝජකයාට එකම තොරතුරු නැවත නැවත ඉදිරිපත් කිරීමට, විවිධ ආයතන අතර ගමන් කිරීමට සහ ව්යාපෘතියේ කාලසටහන වෙනස් කිරීමට සිදුවිය හැකිය.
මෙය ව්යාපාරික පිරිවැය ඉහළ නංවන අතර ආයෝජනයේ අපේක්ෂිත ප්රතිලාභද අඩු කරයි. එබැවින් ආයෝජන ප්රවර්ධනය සඳහා වෙළෙඳ දැන්වීම් වැඩි කිරීම හෝ විදේශ සංචාර සංවිධානය කිරීම පමණක් ප්රමාණවත් නොවේ. ආයෝජන යෝජනාවක් ඉදිරිපත් කළ මොහොතේ සිට ව්යාපෘතිය ක්රියාත්මක වන තෙක් අනුමැතීන් ලබාගැනීමේ ක්රියාවලිය පැහැදිලි, කාලසීමා සහිත සහ වගකීම් සහිත පද්ධතියක් බවට පත් කළ යුතුය. ඒ සඳහා ආයතන අතර සම්බන්ධීකරණයට සැබෑ බලතල ලබාදීම, අනුමැතීන් සඳහා ප්රසිද්ධ කාලසීමා හඳුන්වාදීම, ප්රමාද සඳහා වගකිව යුතු පාර්ශ්ව හඳුනාගැනීම සහ අයැදුම්පත්වල ප්රගතිය ඩිජිටල් ක්රමයකින් නිරීක්ෂණය කිරීම වැදගත් වේ.
ආයෝජකයන්ට පහසුකම් සැලසීම සඳහා ජාතික ව්යාපාර පහසුකම් සැලසීමේ මධ්යස්ථානයක් (National Business Facilitation Centre—NBFC) පිහිටුවීමට ගෙන ඇති පියවර මෙම පසුබිම තුළ වැදගත් වේ. එහෙත් එහි සාර්ථකත්වය තීරණය වන්නේ නව මධ්යස්ථානයක් පිහිටුවීමෙන් පමණක් නොවේ.
පවතින රාජ්ය ආයතනවල කටයුතු සම්බන්ධීකරණය කිරීමට එයට ඇති බලතල, තීරණ ගැනීමේ වේගය වැඩි කිරීමට ඇති හැකියාව සහ ප්රමාද සම්බන්ධයෙන් වගවීම සහතික කරන ක්රමවේද මත එහි ප්රතිඵල රඳා පවතී. එසේම, ආර්ථික පරිවර්තන පනතෙන් පුළුල් ආර්ථික පරිවර්තනයක් සඳහා යෝජනා කර ඇති ආයතනික ව්යුහය සහ එහි ක්රියාත්මක කිරීමේ ප්රගතිය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. නීතිමය හෝ ආයතනික රාමු යෝජනා කිරීම වැදගත් වුවද, ඒවා ක්රියාත්මක නොවන්නේ නම් ආයෝජකයන්ගේ තීරණවලට අවශ්ය ප්රායෝගික වෙනස සිදු නොවේ. ශ්රී ලංකාව මුහුණ දෙන අභියෝගය වන්නේ ආයතන සහ ප්රතිපත්ති යෝජනා කිරීම පමණක් නොව, ඒවා ප්රතිඵල ලබාදෙන ආකාරයෙන් ක්රියාත්මක කිරීමයි.
වෙළෙඳ ලිහිල්කරණය අඩාළවීම
ශ්රී ලංකාවේ විදේශ ආයෝජන ප්රතිපත්තියේ තවත් මූලික ගැටලුවක් වන්නේ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අරමුණ සහ වෙළෙඳ ප්රතිපත්තියේ ආරක්ෂණවාදී ලක්ෂණ අතර පවතින පරස්පරතාවයි. විදේශ ආයෝජකයකු ශ්රී ලංකාවේ කර්මාන්ත ශාලාවක් පිහිටුවන්නේ දේශීය වෙළෙඳපොළට පමණක් භාණ්ඩ විකිණීමට නොවේ. බොහෝ ආයෝජකයන්ට අවශ්ය වන්නේ ශ්රී ලංකාවෙන් කලාපීය සහ ගෝලීය වෙළෙඳපොළවල් වෙත අපනයනය කිරීමයි. ඒ සඳහා අමුද්රව්ය, අතරමැදි භාණ්ඩ සහ ප්රාග්ධන උපකරණ තරගකාරී මිල ගණන් යටතේ ආනයනය කිරීමට හැකි විය යුතුය.
ආනයන බදු, අමතර බදු සහ සංකීර්ණ රේගු ක්රියාපටිපාටි නිෂ්පාදන පිරිවැය ඉහළ නංවන්නේ නම්, ශ්රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ ජාත්යන්තර වෙළෙඳපොළවල තරගකාරී ලෙස අලෙවි කිරීම අපහසු වේ. එවිට රට තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට ආයෝජකයන් දක්වන උනන්දුව අඩු විය හැකිය. එබැවින් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ අරමුණින් ගන්නා පියවර, එම කර්මාන්තවලට අවශ්ය ආනයනික යෙදවුම් මිල අධික කරන්නේ නම්, අවසානයේ ඒවායේ තරගකාරීත්වයටම හානි විය හැකිය.
2025 වසරේ ශ්රී ලංකාව පිළිබඳ සිව්වැනි සමාලෝචනයේදී ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) වෙළෙඳ පහසුකම් වැඩිදියුණු කිරීම, නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම, අමතර ආනයන බදු ක්රමයෙන් අඩු කිරීම සහ විදේශ ආයෝජන සඳහා වන නියාමන රාමුව වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. ලෝක බැංකුවද ශ්රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය සහ ආයෝජන වර්ධනය සඳහා වෙළෙඳ ලිහිල්කරණය හා ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත. මෙයින් අදහස් කරන්නේ සියලුම ආනයන බදු එකවර ඉවත් කළ යුතු බව නොවේ.
රජයට ආදායම් අවශ්යතා, දේශීය කර්මාන්තවල තත්වය සහ ආර්ථික අවදානම් සැලකිල්ලට ගැනීමට සිදුවේ. එහෙත් වෙළෙඳ ප්රතිසංස්කරණ පැහැදිලි කාලසටහනක් සහිතව, පුරෝකථනය කළ හැකි ආකාරයෙන් ක්රියාත්මක කිරීම අත්යවශ්යය. ආයෝජකයකුට වැදගත් වන්නේ වත්මන් බදු අනුපාතය පමණක් නොව, ඉදිරියේදී තම නිෂ්පාදන පිරිවැය සහ අපනයන තරගකාරීත්වය කෙසේ වෙනස් විය හැකිද යන්නයි.
ඉන්දියාව සමග පවතින වෙළෙඳ සබඳතා මේ සම්බන්ධයෙන් ප්රයෝජනවත් උදාහරණයකි. ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (India–Sri Lanka Free Trade Agreement—ISFTA) 1998දී අත්සන් කර 2000දී ක්රියාත්මක විය. එමගින් දෙරට අතර භාණ්ඩ වෙළෙඳාමට පහසුකම් සැලසුණි.
එහෙත් භාණ්ඩ වෙළෙඳාමෙන් ඔබ්බට ගොස් සේවා, ආයෝජන සහ පුළුල් ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡා දිගු කාලයක් පුරා අවසන් කරගැනීමට නොහැකි වී තිබේ. ඉන්දියාව සමග වෙළෙඳ සබඳතා පුළුල් කිරීමේ වැදගත්කම එරට විශාල වෙළෙඳපොළ, නිෂ්පාදන හැකියා සහ තාක්ෂණික සම්පත් ශ්රී ලංකාවට සමීපව පැවතීම නිසා තවදුරටත් ඉහළ යයි.
එහෙත් වෙළෙඳ ගිවිසුමක් පැවතීම පමණක් ප්රමාණවත් නොවේ. දේශීය ව්යවසායකයන්ට විදේශ වෙළෙඳපොළට ප්රවේශ වීමට අවශ්ය ප්රමිතීන්, රේගු පහසුකම්, ප්රවාහන සම්බන්ධතා සහ වෙළෙඳ තොරතුරුද ලබාදිය යුතුය. ශ්රී ලංකාවට ඉන්දියාව සමග පවතින ගිවිසුම වඩාත් ඵලදායී කරගැනීමටත්, චීනය සහ අනෙකුත් වෙළෙඳ හවුල්කරුවන් සමග ආර්ථික සබඳතා වර්ධනය කිරීමටත් දිගුකාලීන වෙළෙඳ ප්රතිපත්තියක් අවශ්ය වේ.
මෙහි අරමුණ විය යුත්තේ වෙළෙඳ ගිවිසුම් සංඛ්යාව වැඩි කිරීම පමණක් නොව, ඒවා හරහා අපනයන, ආයෝජන සහ රැකියා උත්පාදනය වැඩි කිරීමයි. විදේශ ආයෝජකයන්ට ශ්රී ලංකාව තෝරාගැනීමට හේතුවක් සැපයීමට නම්, රට තුළ නිෂ්පාදනය කර විශාල වෙළෙඳපොළවල් වෙත තරගකාරීව අපනයනය කළ හැකි බවට විශ්වාසයක් ඇති කළ යුතුය.
වැදගත් අනතුරු ඇඟවීමක්!
2026 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ කොළඹ වරායේ වාණිජ හා ලොජිස්ටික්ස් මධ්යස්ථාන ව්යාපෘතිය අත්හැරීම, ශ්රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ වැදගත් ප්රශ්න මතු කරයි. China Merchants Port Holdings, ශ්රී ලංකා වරාය අධිකාරිය සහ Access Engineering එක්ව 2023දී ආරම්භ කළ මෙම ව්යාපෘතියේ ප්රකාශිත ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක් පමණ විය.
වරාය තුළ විශාල ගබඩා සහ ලොජිස්ටික්ස් පහසුකමක් ඉදිකිරීමට සැලසුම් කළ මෙම ව්යාපෘතිය ක්රියාත්මක නොවීමෙන්, අපේක්ෂිත ආයෝජනය, රැකියා සහ වරාය ආශ්රිත සේවා සංවර්ධනය අහිමිවීමේ අවදානම මතු වේ.
වාර්තා වී ඇති ගැටලු අතර ඉඩම් වෙන්කිරීම, වාණිජ කොන්දේසි, නියාමන අනුමැතීන්, ක්රියාත්මක කිරීමේ කාලසටහන් සහ ඉදිකිරීම් සඳහා අවශ්ය ඉඩම් ප්රමාණය සම්බන්ධ මතභේද ඇතුළත් වේ.
මෙම කරුණු ආයෝජන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී ආයතනික සම්බන්ධීකරණය සහ මුල් අවධියේ සැලසුම්කරණය කෙතරම් වැදගත්ද යන්න පෙන්වයි. මෙම සිද්ධිය තනි ව්යාපෘතියක අසාර්ථකත්වයක් ලෙස පමණක් නොව, ආයෝජන ප්රවර්ධනයේදී ශ්රී ලංකාව මුහුණ දෙන පුළුල් අභියෝගවල නිදසුනක් ලෙසද සලකා බැලිය යුතුය.
රටට පැමිණෙන ආයෝජකයන්ට ව්යාපෘති ක්රියාත්මක කිරීමට අවශ්ය පහසුකම් සහ අනුමැතීන් නියමිත වේලාවට ලබාදීමට නොහැකි නම්, අනාගත ආයෝජකයන්ගේ විශ්වාසයටද එය බලපානු ඇත. එබැවින් ශ්රී ලංකාවට අවශ්ය වන්නේ නව ආයෝජකයන් සොයා ගැනීම පමණක් නොව, දැනටමත් රට තෝරාගෙන සිටින ආයෝජකයන්ගේ ව්යාපෘති සාර්ථකව ක්රියාත්මක කිරීමට හැකි පරිසරයක් ගොඩනැගීමයි.
ආයෝජන ප්රවර්ධනයෙන් ඔබ්බට ගිය ප්රතිසංස්කරණ
ශ්රී ලංකාවේ විදේශ ඍජු ආයෝජන ගලා ඒම වැඩි කිරීමට නම්, ආයෝජන ප්රවර්ධන වැඩසටහන් පමණක් නොව ආර්ථික ප්රතිපත්ති සහ රාජ්ය ආයතන ක්රියාත්මක වන ආකාරයද වෙනස් කළ යුතුය.
පළමුව, ආණ්ඩු වෙනස්වීම් හමුවේ පවා මූලික ආර්ථික ප්රතිපත්තිවල අඛණ්ඩතාව පවත්වාගෙන යාමට හැකි නීතිමය හා ආයතනික රාමුවක් අවශ්ය වේ. බදු, ආයෝජන සහ වෙළෙඳ ප්රතිපත්ති වෙනස් කිරීමට සිදුවන අවස්ථාවලදී පැහැදිලි හේතු, ප්රමාණවත් දැනුම්දීමක් සහ පුරෝකථනය කළ හැකි ක්රියාවලියක් තිබිය යුතුය. බදු සහන ලබාදීමේදීද පැහැදිලි සුදුසුකම්, කාලසීමා සහ අපේක්ෂිත ප්රතිඵල මත පදනම් වූ ක්රමවේදයක් අනුගමනය කළ යුතුය.
දෙවනුව, ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතනවල වගකීම් සහ බලතල පැහැදිලි කළ යුතුය. ආයෝජකයන්ගේ අයැදුම්පත් සම්බන්ධයෙන් එක් සම්බන්ධීකරණ මධ්යස්ථානයක් තිබීම වැදගත් වුවද, අනෙකුත් රාජ්ය ආයතන නියමිත කාලසීමාවන් තුළ තීරණ ගැනීමට වගකිව යුතු ක්රමයක්ද අවශ්ය වේ. ජාතික ව්යාපාර පහසුකම් සැලසීමේ මධ්යස්ථානය මගින් එවැනි සම්බන්ධීකරණයක් ශක්තිමත් කළ හැකි නමුත්, එහි සාර්ථකත්වය තීරණය වන්නේ එයට ලබාදෙන බලතල සහ ක්රියාත්මක කිරීමේ හැකියාව මතය.
තෙවනුව, වෙළෙඳ ප්රතිපත්තිය අපනයන තරගකාරීත්වය සමග ගැලපිය යුතුය. අනවශ්ය අමතර බදු ක්රමයෙන් අඩු කිරීම, රේගු ක්රියාපටිපාටි නවීකරණය කිරීම සහ ජාත්යන්තර වෙළෙඳ ගිවිසුම් ඵලදායී ලෙස පුළුල් කිරීමෙන් ශ්රී ලංකාවට ගෝලීය නිෂ්පාදන ජාලවලට සම්බන්ධ වීමට ඇති අවස්ථා වැඩි කළ හැකිය. ඒ සමගම, දේශීය ව්යවසායකයන්ට අපනයන වෙළෙඳපොළ වෙත ප්රවේශ වීමට අවශ්ය තොරතුරු, ප්රමිති සහ තාක්ෂණික සහාය ලබාදීමද වැදගත් වේ.
සිව්වනුව, ආයෝජන ප්රවර්ධනයේදී ශ්රී ලංකාවේ සැබෑ වාසි සහ නිෂ්පාදන හැකියාව මත පදනම් වූ අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. වරාය හා ලොජිස්ටික්ස් සේවා, තොරතුරු තාක්ෂණය, වෛද්ය උපකරණ, ඉලෙක්ට්රොනික උපකරණ, කෘෂි සැකසුම්, පුනර්ජනනීය බලශක්තිය සහ ඉහළ වටිනාකමක් සහිත සංචාරක සේවා වැනි ක්ෂේත්රවල ආයෝජන සඳහා අවශ්ය යටිතල පහසුකම්, තාක්ෂණික හැකියාව සහ කුසලතා සංවර්ධනය කළ යුතුය. එවැනි අංශ තෝරාගැනීමේදී වෙළෙඳපොළ ඉල්ලුම, දේශීය සැපයුම්කරුවන් සමග සම්බන්ධතා සහ අපනයන හැකියාවද සැලකිල්ලට ගත යුතුය.
අවසානයේදී, විදේශ ආයෝජන ප්රවර්ධනයේ සාර්ථකත්වය මැනිය යුත්තේ අත්සන් කරන ලද ගිවිසුම් සංඛ්යාවෙන් හෝ ප්රකාශයට පත් කරන ලද ව්යාපෘතිවල මුළු වටිනාකමෙන් පමණක් නොවේ. සැබෑවට රටට ගලා එන ආයෝජන, ක්රියාත්මක වන ව්යාපෘති, නිර්මාණය වන රැකියා, අපනයන ආදායම සහ දේශීය ආර්ථිකයට ලැබෙන තාක්ෂණික හා නිෂ්පාදන ප්රතිලාභ මත එය තක්සේරු කළ යුතුය. එමගින් ආයෝජන ප්රවර්ධනයේ ප්රකාශිත අරමුණු සැබෑ ආර්ථික ප්රතිඵල බවට පරිවර්තනය වී තිබේද යන්න හඳුනාගත හැකිය.
නිගමනය
ශ්රී ලංකාවට විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කරගැනීමට අවශ්ය මූලික වාසි රැසක් තිබේ. එහෙත් භූගෝලීය පිහිටීම, වරාය පහසුකම් හෝ උගත් ශ්රම බලකාය පමණක් ආයෝජන ගලා ඒම සහතික නොකරයි. එම වාසි ආර්ථික ප්රතිලාභ බවට පරිවර්තනය කිරීමට කාර්යක්ෂම රාජ්ය ආයතන, පැහැදිලි නීති, පුරෝකථනය කළ හැකි ප්රතිපත්ති සහ තරගකාරී වෙළෙඳ පරිසරයක් අවශ්ය වේ.
ජාත්යන්තර අත්දැකීම්වලින් පෙනෙන්නේ ආයෝජන ආකර්ෂණය කරගැනීම තනි ආයතනයක වගකීමක් නොවන බවයි. එය වෙළෙඳ ප්රතිපත්තිය, කර්මාන්ත සංවර්ධනය, යටිතල පහසුකම්, මානව සම්පත් සහ රාජ්ය පාලනය එකිනෙකට සම්බන්ධ කරන ජාතික ආර්ථික උපායමාර්ගයකි. එමෙන්ම දේශපාලන ස්ථාවරත්වය සහ ප්රතිපත්තිමය නිශ්චිතභාවය අතර වෙනස හඳුනාගැනීමද වැදගත් වේ. දේශපාලන ස්ථාවරත්වය තිබීම පමණක් ප්රමාණවත් නොවේ. ආණ්ඩු වෙනස් වුවද ප්රතිපත්තිවල මූලික අඛණ්ඩතාව සහ රාජ්ය තීරණවල පුරෝකථනය කළ හැකි බව තහවුරු කළ යුතුය.
කොළඹ වරායේ චීන ආයෝජන ව්යාපෘතිය සම්බන්ධ සිදුවීමද ආයෝජන යෝජනා සහ ඒවා ක්රියාත්මක කිරීම අතර ඇති පරතරය පිළිබඳ වැදගත් මතක් කිරීමකි. ආයෝජකයන්ට ආරාධනා කිරීම වැදගත් වුවද, ඔවුන්ගේ ව්යාපෘති සඳහා අවශ්ය ඉඩම්, අනුමැතීන්, යටිතල පහසුකම් සහ ආයතනික සහාය නියමිත වේලාවට ලබාදීම ඊටත් වඩා වැදගත්ය.
ශ්රී ලංකාව ඉදිරියේ ඇති සැබෑ අභියෝගය විදේශ ආයෝජකයන්ට තවත් සහන ලබාදීම පමණක් නොවේ. ආයෝජනය කිරීමට කැමති ව්යවසායකයකුට රට තුළ ව්යාපාරයක් ආරම්භ කර, එය පුළුල් කර, ලෝක වෙළෙඳපොළ සමග තරග කරමින් දිගුකාලීනව පවත්වාගෙන යාමට හැකි ආර්ථික පරිසරයක් ගොඩනැගීමයි. ඒ සඳහා ආයතනික ප්රතිසංස්කරණ, වෙළෙඳ ලිහිල්කරණය සහ ප්රතිපත්තිමය අඛණ්ඩතාව පිළිබඳ ප්රකාශවලින් ඔබ්බට ගොස් ඒවා ප්රායෝගිකව ක්රියාත්මක කළ යුතුය. එසේ නොවන්නේ නම්, ශ්රී ලංකාවට තිබෙන ආයෝජන අවස්ථා වෙනත් රටවල් විසින් අත්පත් කරගැනීමේ අවදානම තවදුරටත් පවතිනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd