IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


අරගලයේ ප්‍රාර්ථනා ඉෂ්ටවීද?

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් වන පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය පැවැත්වීමට මේ වන විට නාම යෝජනා කැදවමින් තිබේ. රටේ මධ්‍යම ආණ්ඩුව ට ඍජුවම ඉටු කිරීමට නොහැකි ප්‍රාදේශීය ජනතා අවශ්‍යතා, කාර්යයන් හා සේවා ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වඩා හොඳින් ඉටු කිරීමට හැකි පහළ මට්ටමේ පාලනකරණයක් පළාත් පාලන ආයතනවලින් ඉටුකිරීම අපේක්ෂා කරනු ලබයි.

මෙම ආයතන සදහා නියෝජිතයන් පත් වන්නේ මහජන ඡන්දයෙන් නිසා ඒවා ප්‍රාදේශීය ස්වපාලන සිද්ධාන්තය ක්‍රියාත්මක කරනු ලබන බව සාහිත්‍යයේ සඳහන්ය.

අපේ රටේ පළාත් පාලන ආයතන සහ මධ්‍යම ආණ්ඩුවට මැදින් දැන් තවත් ආයතනයක් වෙයි. ඒ පළාත් සභාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුවට අයත් කාර්යයන් ප්‍රධාන වශයෙන් විෂය ලැයිස්තු තුනකට වෙන් කෙරේ. ඒවායින් එක් ලැයිස්තුවක් මධ්‍යම ආණ්ඩුවට අයිතිය. පළාත් සභාවට පමණක් වෙන් වූ තවත් ලැයිස්තුවක් තිබේ. තුන්වැනි ලැයිස්තුවට මේ දෙපිරිසටම කළ හැකි කාර්යයන් වේ. පළාත් සභා ක්‍රම නීතියට අනුව පළාත් සභාවලට පැවරී ඇති විෂයයන් ඉටු කිරීමට හැකිවන්නේ මධ්‍යම ආණ්ඩුව ඉඩදෙන ප්‍රමාණයටය. ඒවායේ විෂයයන් ක්‍රියාවට නැගිය යුත්තේ මධ්‍යම ආණ්ඩුව පනවා තිබෙන නීතිවල ප්‍රතිපාදන අනුවය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහ පරිපාලන සම්පත් මධ්‍යම ආණ්ඩුව පවරා දිය යුතුය.

13 වැනි සංශෝධනය අනුව මේ විෂය ලැයිස්තු බෙදා දක්වන විට ‘පළාත් පාලනය’ පළාත් සභාවට අයත් විෂයයක් වශයෙන් නම් කර තිබුණේය. මෙම පළාත් පාලන කාර්යයන් පවත්වා ගැනීමට අවශ්‍ය බලතල සහ කාර්ය මණ්ඩල මධ්‍යම ආණ්ඩුව පළාත් සභාවට සම්පූර්ණයෙන්ම පවරාදීම සිදුවිය. ව්‍යවස්ථාව විෂයයන් පවරාදීමට යොදා ඇති විධිවිධාන නිසා එම විෂයයට අයත් කාර්යයන් නැවත මධ්‍යම ආණ්ඩුවට පවරා ගත නොහැකිය. සෑම විෂයයකම ජාතික ප්‍රතිපත්තිය තීරණය කිරීමට, පළාත් පාලන ආයතනවල ව්‍යුහය, සංයුතිය සහ මැතිවරණ පැවත්වීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට තිබෙන බලතල හැර පළාත් පාලන ආයතන අධීක්ෂණය කිරීමේ බලය අද මධ්‍යම ආණ්ඩුවට නැත. එයින් වැටහෙන්නේ මධ්‍යම ආණ්ඩුව පළාත් පාලනය අධීක්ෂණය කිරීමේ කාර්යයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බවය. මේ නිසා යම් වරදක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, එවැනි වරදක් පිළිබඳව පවත්වන පරීක්ෂණයක් පදනම් කර ගෙන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් ඉවත් කිරීමේ බලය දැන් පළාත් සභාවන්ට පැවරී ඇත. මෙය පෙරදී මධ්‍යම ආණ්ඩුව සතු වූ අතර එය දැන් පළාත් සභාව මගින් සිදු කෙරේ.

මේ වන විට අපට මෙරට ආණ්ඩුකරණය තුළ මට්ටම් තුනක් හඳුනා ගත හැකිය. මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා සහ පළාත් පාලනය යනු එම මට්ටම් තුනයි. පළාත් පාලන ආයතන යටතේ ඇති මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා පාර්ලිමේන්තුව මගින් සම්පාදනය වූ වෙනම නීති පවතී. දැනට තිබෙන මහ නගර සභා ආඥා පනත 1947 සකස් වූවකි. නගර සභා ආඥා පනත1939 සකස් වූවකි. ප්‍රාදේශීය සභා පනත 1987 සකස් වූ එකකි. මේ පාර්ලිමේන්තු නීති අනුව තමන්ගේ බල ප්‍රදේශයේ මහජනයාට අවශ්‍ය උපයෝගී සේවා සැපයීම මෙම ආයතනවලට පැවරේ. ඊට අමතරව සංවර්ධන ව්‍යාපෘති ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ප්‍රාදේශීය සභා පනතේ කරුණු ඇතුළත්ව ඇත. ප්‍රාදේශීය සභා ඇති කිරීමට පෙර මහ නගර සභා, නගර සභා සහ සුළු නගර සභා හා ගම්සභා යනුවෙන් ආයතන හතර වර්ගයක් පැවතිණ. 1980 දී දිස්ත්‍රික් සංවර්ධන සභා නමින් ආයතනයක් පිහිටුවීමට එවක ආණ්ඩුව පියවර ගත්විට සුළු නගර සභා සහ ගම් සභා අහෝසිකොට එම බලප්‍රදේශ දිස්ත්‍රික් සභාවලට පවරන ලදි. 1987 දී පළාත් සභා පිහිටුවා දිස්ත්‍රික් සංවර්ධන සභා ඉවත් කළ පසුව සුළු නගර සභා සහා ගම් සභාවලින් ආවරණයවූ ප්‍රදේශ 1987දී ප්‍රාදේශීය සභාවලට ඇතුළු කරන ලදි.

එහෙත් ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා පොදුවේ හඳුනා ගත් ප්‍රශ්න ගණනාවක් තිබෙන බව පෙනේ. 1999 දී පළාත් පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ කොමිෂන් සභාවක් පත් කෙරුණ අතර එහි අරමුණ වූයේ පළාත් පාලන ආයතනවලට ඇති ප්‍රශ්න ගැටලු‍ සම්බන්ධයෙන් පරීක්ෂාවක් කිරීමය. ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ දිවංගත අශෝක ගුණවර්ධන මහතා ලියූ ලිපියක පෙන්වා දී තිබුණේ ප්‍රාදේශීය සභා සහ පළාත් සභා යන ආයතනවලට රටේ මුළු රාජ්‍ය ආදායමෙන් ලැබෙන්නේ සියයට 2ක් 3ක් අතර ප්‍රමාණයක් බවය. ඉතිරිය සම්පූර්ණයෙන් මධ්‍යම ආන්ඩුවට හිමිවෙයි. රාජ්‍ය වියදම් සලකා බැලු‍වත් එවැනිම ප්‍රමාණයක අගයක් ගනියි. රටේ සමස්ත ආදායමෙන් සියයට 90ක්ම ලබා ගන්නේ මධ්‍යම ආණ්ඩුවයි. ආදායමෙන් සියයට 9කට ආසන්න අගයක් පළාත් සභාවලට ලැබෙන අතර ඉතිරි සුළු මුදල ප්‍රාදේශීය සභා සඳහා ලැබේ. ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවලට මේ කියන සුළු ආදායමෙන් තම බලප්‍රදේශවල කටයුතු ඉටුකිරීම ඉතා අසීරු කටයුත්තකි. මෙම ආයතන ක්‍රියාත්මක වන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රදාන මතය. කාර්ය මණ්ඩල වැටුප් සහ එදිනෙදා ආයතනික නඩත්තු වියදම් සඳහා ගෙවීම් සිදුවන්නේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රදාන මතය.

මේ නිසා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුවද ඒවායේ ස්වායත්තාව (autonomy ) පිළිබඳ ගැටලු‍ පවතී. එම ආයතනවල ස්වායත්තාව තීරණය වන්නේ නීතියෙන් ලැබෙන බලය, ඒවාට ලැබෙන ආදායම හා තාක්ෂණික ශක්තියක් ඇති කාර්ය මණඩලවල ක්‍රියාකාරීත්වය යන කාරණා මතය. එසේ නොවුණ විට එම ආයතනවල සේවා නිසිපරිදි ඉටු නොවේ.

දැන් නව ආණ්ඩුවක් පත් ව තිබේ. යම් ක්‍රමානුකූලභාවයකින් හා වංචා දූෂණ අවම මට්ටමකට ගෙන එමින් කටයුතු කිරීම පිළිබඳව අලු‍ත් ආණ්ඩුව වැඩි උනන්දුවක් දක්වන බව දැනටමත් පෙන්වා දී ඇත. ඡන්දය පවත්වනවා වගේම මේ කාලවකවානුවේදී පළාත් පාලන ආයතන ව්‍යුහය, ආදායම් ප්‍රභවයන් සහ කළමනාකරණ ශක්‍යතා සම්බන්ධව ගැඹුරු හැදෑරීමක් සිදුකර ඒ කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වේ.

පසුගිය කාලය පුරාම පළාත් පාලන ආයතන ගැන දේශපාලනයන් කතා කළේ ඡන්දය පවත්වා තම බලය උරගා බැලීම වෙනුවෙන් පමණි. විපක්ෂ මන්ත්‍රීවරයෙක් පසුගිය දිනෙක කියා සිටියේත් ආණ්ඩුව කෙරෙහි වන ජනතා විශ්වාසය උරගා බලන්නට මේ එන පළාත් පාලන මැතිවරණය හොද අවස්ථාවක් බවය. එහෙත් ඒ රටේ පළාත් පාලන ආයතන පිහිටුවා ඇත්තේ එවැනි අවස්ථා උරගා බලන්නටම නොවේ. ඒවා ඇත්තේ මේ රටේ ප්‍රාදේශීය ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නටය. එබැවින් කළ යුත්තේ ඒ සඳහා අවස්‍ථා හා පහසුකම් සැලසීමට තිබෙන ගැටලු‍ හඳුනාගෙන ඒවා විසඳීම සඳහා ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කිරීමය.

පසුගිය කාලයේ මධ්‍යම ආණ්ඩුව ප්‍රාදේශීය සභා යොදාගත්තේ ප්‍රාදේශී මාර්ග සංවර්ධනය වැනි ප්‍රාදේශීය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ග්‍රාමීය මට්ටමේ ඒජන්සි වශයෙනි. රාජපක්ෂ යුගයේදී ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් යම් යම් කොන්ත්‍රාත් හරහා තමන්ගේ හිතවතුන් යොදවා ගෙන තමන්ට ආදායම් ලබාගන්නා මාර්ග බවට මෙම ව්‍යාපෘති පත්කරගෙන සිටි බවටද චෝදනා නැගුණි. ප්‍රාදේශීය සභාවද එකල බොහෝවිට ගනුදෙනු කළේ පොදු මහජනයා සමග නොව කොන්ත්‍රාත්කරුවන් සමගය. එම නිසා මහජනයාගේ මතය වූයේ ඒවා තිබෙන්නේ තමන්ට ගනුදෙනු කිරීමට නොව කොන්ත්‍රාත්කරුවන් සමග ගනුදෙනු කිරීමට බවය. මේ කාලයේ බොහෝ ප්‍රාදේශීය ව්‍යාපෘති නිසි ප්‍රමිතියකින් තොර වූයේ අඩු වියදමකින් ව්‍යාපෘතිය නිම කර ඉතිරි මුදල දේශපාලකයන්ගේ සාක්කුවලට දමාගැනීම නිසාය. ප්‍රාදේශීය සභා ව්‍යාපෘතිවල සැලසුම් සාකච්ජා ආදියට මහජනයාට ද සහභාගී වී ඔවුන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට නීති ප්‍රතිපාදන සපයා ඇතත් මෙරට ග්‍රාමීය ජනතාව ඒ සදහා ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ මෙම නිසාය.

මේ අනුව පෙනෙන්නේ ප්‍රාදේශීය සභා ක්‍රමය මේ වන විට පොදු මහජනතාවගේ විශ්වාසයෙන් ඈත් වී තිබෙන බවය. ඒ වෙනුවට එක්තරා ප්‍රාදේශීය දේශපාලන පන්තියක් මෙම ආයතන හසුරුවමින් සිටියේය. බොහෝ ප්‍රාදේශීය සභා යටතේ ප්‍රදේශයේ වැලි ගොඩදැමීම්, ගස් කැපීම්, ආදි කටයුතුවලට ඔවුන් සම්බන්ධ වී සිටි සැටි පසුගිය කාලයේ අපි දුටුවෙමු. මධ්‍යම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අයවැය ක්‍රමය හා සමාන විමධ්‍යගත අයවැය ක්‍රමයක් පළාත් පාලන ආයතන විසින්ද ඇති කර ගෙන තිබෙන්නේ මේ නිසාය.

මෙසේ බොහෝ අක්‍රමිකතාවලින් යුතුව ක්‍රියාත්මක වෙමින් පැවැති ප්‍රාදේශීය පළාත් පාලන ආයතන පද්ධතිය ක්‍රමවත් කිරීමේත් විනිවිදභාවයක් ඇතිකිරීමේත් දැඩි අවශ්‍යතාවක් මේ වන විට මතුවී තිබේ. ජන්දය ට සූදානම් වන මේ කාලයේ මේ සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම වඩාත් සුදුසුය. එහෙත් ඡන්දය ගැන උනන්දු වනවා මිස එබදු සැලසුමක් ගැන කිසිම පක්ෂයක් මේ වන තෙක් සාකච්ජා කරන බවක් පෙනෙන්නට නැත.

පළාත් සභා ආයතන පිළිබඳව 1940දී පළමුවෙන් සාකච්ඡා කළ අවස්ථාවේ දී ඇතැම් මන්ත්‍රීවරු ප්‍රධාන කාරණා දෙකක් පෙන්වා දුන් හ. එකක් නම් එකම වැඩය ආයතන කිහිපයක් මගින් සිදුකිරීමේ අනතුරය. එවිට වැය සහ කාර්ය මණ්ඩල වියදම් දෙගුණ තෙගුණ වීමය. එකම කාර්යය මධ්‍යම ආණ්ඩුවෙන් ද පළාත් සභාවෙන්ද පළාත් පාලන ආයතනයෙන්ද සිදු කරන තත්වයක් ඇතිවීමේ එම අනතුර අදද පවතී. ඒවා සම්බන්ධයෙන් සාකච්ජාවක් හෝ සම්බන්ධතාවක් ආයතන අතර පවතින බවක් දක්නට නැත. අනෙක දූෂණ වංචා වර්ධනය වීමය. මේ කාරණා දෙකම ඒ කී ලෙසම පසුකාලය වනවිට වර්ධනය වූ බව පැහැදිලිය. එබැවින් මෙම පළාත් පාලන ආයතන පද්ධතිය පිළිබද ගැඹුරු විමර්ශනයක් සිදු කළ යුතුව තිබේ.

ප්‍රාදේශීය ජනයා තමන්ගේ වැඩකටයුතු ඉටු කරගන්නා පාලනයක් පළාත් පාලන ආයතනවලින් ඇතිවිය යුතුය. එම ස්වපාලනය ඇතිවීමට මහජනයා ජන්දයෙන් නියෝජිතයන් පත්කර යැවීම පමණක් ප්‍රමාණවත් නොවේ. මහජනයා සහ මහජන නියෝජිතයා අතර මනා සබඳතාවක් තිබිය යුතුය.

ඇමෙරිකාවේ පවතින එක් පළාත් පාලන ආයතන ආකෘතියක් යටතේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ රැස්වීම යන අතර වාරයේ මහජනයාට සහ සිවිල් සංවිධානවලට කෙළින්ම සහභාගිවී තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව මහජනයාටද එහි වේදිකාවක් වෙන්ව තිබේ. අපේ ප්‍රාදේශීය සභා ක්‍රමයේද මේ ඉඩකඩ පැවතියත් එය සක්‍රිය වී ඇති බවක් නොපෙනේ. දැන් ජනයාට සෘජුව සහභාගිවීමේ අවස්ථා සැපයීම කෙරෙහි අවධානය යොමුවිය යුතුව තිබේ.

ගතවූ කාලය තුළ මේ දේශපාලන යාන්ත්‍රණයේ ඉහළ සිට පහළට විවිධ මට්ටමේ දූෂිත ක්‍රියා සිදුවූ ආකාරය ගැන කෝප් සහ කෝපා කමිටුවල සාකච්ජා කරන කරුණුවලින් පැහැදිලි වෙයි. මෙම ආයතනවල අයථා ක්‍රියාකාරකම් සිදුවීම වළක්වා ගැනීමට එබඳු මැදිහත්වීම් මගින් අවස්ථා සැලසිය හැකිය.

බිලියන ගණනින් වූ මුදල් වැයවන පරිපාලන ක්‍රියාදාමය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව මහජනයා දන්නේ මොනවාද? ඔවුහු ඡන්දය  දී පැත්තකට වී සිටිති. පහළින් ඇති දැති රෝද කරකැවෙන ආකාරය ඔවුන්ට පෙනෙන්නේ නැත. සිවිල් සංවිධානවලට බාධා  කරන නායකයන්ට එරෙහිව විමර්ශනය කිරීමට මාර්ග සලසා දිය යුතුය.

ජනතාව විසින් වර්තමාන ආණ්ඩුව පත්කරනු ලබන්නේම වසර ගණනාවක් ක්‍රියාත්මකවූ මේ කියන ආකාරයේ දූෂණ සහ අක්‍රමිකතා සහිත තත්වය නිසාය. පසුගිය කාලය පුරාම විවිධ ආණ්ඩු මාරුවෙමින් බලය පවත්වාගෙන ගියද ඒ සියල්ලන්ම එකම කණ්ඩායමක අය බව ජනතාව තේරුම් ගෙන තිබේ. මෙවන් විශාල බලයක් ජනතාව වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ ඔවුන්ට කැමැති ඕනෑ දෙයක් කිරීමට නොවේ. මහජනයාගේ අපේක්ෂා ගණනාවක් තිබේ. ඔවුහු අලු‍ත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරති. අරගලයෙන් ජනතාව අපේක්ෂා කළ නව දේශපාලන සංස්කෘතිය කවරාකාර විය යුතු දැයි නව ආණ්ඩුව මනාව තෝරා බේරා ගත යුතුය. ඉදිරියට එන පළාත් පාලන ඡන්දයේදීත් මේ ගැන අවධානය යොමු කිරීම යහපත් වේ.

(*** සාකච්ජා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

අරගලයේ ප්‍රාර්ථනා ඉෂ්ටවීද?

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

අරගලයේ ප්‍රාර්ථනා ඉෂ්ටවීද?
2025 මාර්තු මස 20 124 0

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් වන පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය පැවැත්වීමට මේ වන විට නාම යෝජනා කැදවමින් තිබේ. රටේ මධ්‍යම ආණ්ඩුව ට ඍජුවම ඉ


සිංහල සිනමාවේ ඔටුනු නොපලන් රජු
2025 මාර්තු මස 19 853 0

කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “


ආණ්ඩුව බටලන්දට ගිනිතැබීම
2025 මාර්තු මස 19 897 1

බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත


විචාරකයන්ට අමතකවුණු මහාකවියා - රැයිපියෙල් තෙන්නකෝන්
2025 මාර්තු මස 18 208 0

මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ ප


සිංහල සාහිත්‍යයේ විප්ලවවාදියා
2025 මාර්තු මස 18 147 1

මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින්


වෘත්තිකයින් රට හැරයාමේ ඛේදවාචකය
2025 මාර්තු මස 18 203 0

මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1064 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 358 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site