වර්ෂ 1920 විය. බිළිදා උන්නැහේ මැණික්හින්නට ගියේ තම දිවි මගේ සහකාරිය කැන්දාගෙන ඒමට මාවනැල්ල බලත්ගමුවේ සිටය. කි.මි 8 ක් දුර ගම්පොල දක්වා පා ගමනින්ම තරණයකොට නෑ පිරිවර සමග තම මනාලිය කැඳවාගෙන එන්නට මැණික්හින්නට ගිය බිළිදා තරුණයා තම සහකාරිය වූ උක්කු කැඳවාගෙන ගම්පොලට විත් නැවත කි.මි 08 ක් දුරකතර ගෙවාගෙන කඳු පාමුල වූ බලත්ගමුවේ නිවසට ආවේය. මේ අසමසම බැඳීමක සමාරම්භය විය.
|
උක්කු අම්මා මාතාව |
ඒ උක්කු අම්මාගේ ජීවන කතාවේ සමාරම්භයයි. අදද මාවනැල්ල බලත්ගමුවේ ජීවත්වන ඇයට වයස අවුරුදු 116 කි. ඇස් පෙනීම අතින් තවමත් ඉදිරියෙන් සිටින ඇය කන් ඇසීමෙන් මඳක් දුර්වලය. මුණුබුරු මිණිපිරියන් ඇතුළුව 98 දෙනකුගේ පරම්පරාවේ මුල් පුරුක ඇයයි. ඇය දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා ඇත. මේ පින්බර මාතාව හමුවන්නට අප යන විට ඇය සිටියේ ස්නානය කරමින්ය.
මඳ වේලාවක් ඇය එන තෙක් ගෙමිදුලේ ඇයගේ මුනුබුරු සුමිත විජේවීර මහතා සමග තොරතුරු විමසන්නට වූයේ ඇගේ ජීවන චරිතය ගැන යමක් වටහා ගන්නටය. මඳ වේලාවකට පසුව හැරමිටියක් වත්තන් කරගෙන ඇය රෙද්දකින් හා හැට්ටයකින් සැරසී තුවායක් ද කරේ දමාගෙන අප ඉදිරිපිටය. සිහින් සිරුරකට හිමිකම් කියූ ඇයගේ නෙත් දෙකෙන් දිස්වූයේ නිරෝගීකමේ අපූර්වත්වය බව විනිවිද පෙනුණි.
‘‘මාව බලන්නටද ආවේ
ඉක්මණට මැරෙන් නෑ කියලා හතර වටෙන්ම එනවා දැන් බලන්න’’
ඒ ඇයගේ වාග් ප‍්‍රහාරයයි.
ඇත්තටම ඇයගේ ඒ වචන තුළ ගැබ් වී තිබුණේ තරහක් නොව විහිළුවකි. ඇය අප හා සමග සමීප වූයේ එලෙසිනි. අප ආ කාරණය නිරවුල් මනසින් හඳුනා ගන්නට තරම් ඇය මානසික ශක්තියකින්ද යුක්තය. අපි ඇයට ඉඩ දුනිමු. මිදුලේ තබන පුටුවක් මත ඇය අසුන් ගත්තාය.
බොහෝ දේ මේ පින්බර මාතාවගෙන් අසන්නට තිබුණත් ඇයගේ හඬට අපි අවනත වුනෙමු.
‘‘අපි කසාද බැඳලා ආවයින් පස්සේ සුද්දගෙ වත්තේ තමයි වැඩ කළේ. දවසට පැය හත අටක් හොඳට මහන්සි වෙලා වැඩ කොරනවා. අපේ උන්නැහෙයි මායි හරි හරියට එදා වැඩ කොලා. කිසිම ලෙඩක් දුකක් නෑ. බේත් පෙත්තක් පේන මානයට ගත්තෙ නෑ’’
ඒ උක්කු අම්මාගේ හඬින්ය.
‘‘මහත්තයෝ මම දරුවො දහ දෙනෙක් වැදුවා. ඉන් තුන්දෙනෙක් පුංචි සන්දියේම මළා.
ලොකුම දරුවා මගේ පුතා එයාට අවුරුදු 83 ක් වෙලා තමා නැතිවුණේ. පහුගිය දොහේ මගේ බාල දුවක් නැති වුණා. ඒ අවුරුදු 88 ක් වෙලා’’
ඇය තිස්තුන් වාරයක් පා ගමනින්ම ශ්‍රී පාදය තරණය කර ඇත. සිංහල බෞද්ධ කාන්තාවක් වූ උක්කු අම්මා සිය කනකර ආබරණ සියල්ල විකුණා අනුරාධපුරේ වෙහෙර විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය සඳහා මුදල් ලබාදුන් බවත්, ඒ සඳහා තම සැමියා සමග ශ‍්‍රමය ලබාදෙන්නට ගිය බවත් කීවේ මහත් භක්තියෙනි. පින් රැුස්කරන්නට දැඩි කැමැත්තක් දැක් වූ මේ මාතාව වත්තෙන් ලැබෙන ඵලදාවද විකුණා දාන මාන පින්කම් කළ බව සඳහන් කළාය.
අදද මස් මාංශයෙන් වැළකී පිරිසුදු එළවළු ආහාරයට ගන්නා ඇය සුදුලූණු මාළුව කෑමට රුචිකත්වයක් දක්වන්නීය. චාම් ජීවිතයට වඩාත් ප‍්‍රිය කරන ඇය තමාට ලැබෙන වැඩිපුර තෑගි බෝග අනිත් උදවියට ලබා දෙන්නට කිසිම අවස්ථාවක මැලිකමක් නොදක්වා ඇය තබා ගන්නේ ඇඳුම් දෙකක් පමණි. කවුරු හෝ තෑගි බෝග රැුගෙන ගියහොත් ඇයට එපා නම් නැවත ඒවා රැගෙන යන ලෙස පවසන්නේ අන් අයගේ සිත නොරිදෙන පරිදිය. ඇය ජීවිතයේ අනිමිත බව කදිමට පසක් කරගත් කාන්තාවක් බව කිවහොත් නිවැරදිය.
වසර 116 ක ජීවන අන්දරය තුළ ඇය අප ඉතිහාසයේ බොහෝ දේ පසු කළාය. ලමිස්සියක් වූ සන්දියේ සිංහල මුස්ලිම් කෝලාහලය ගැන ඇගේ මතකය වූවාය. එසේම ජපනුන්ගේ බෝම්බ දැමීම ගැන ඇයට පැහැදිලි මතකයක් ඇත.
‘‘ජපන්නු බෝම්බ දානවා කියලා ටවුමේ හිටිය ගොඩක් දෙනා අපේ ගම්මාන වලට ආවා.
අහස් යන්තරයක් උඩ යනවා දැක්කහම ඔක්කොම කැලෑවලට රිංගුවා’’
|
|
|
ජාතික හැඳුනුම්පත |
ඇයගේ සැමියා වූ බිළිදා උන්නැහේ මිය පරලොව ගියේ අවුරුදු 111 ක් ආයු වළඳාය. ඒ අතින් බැලූවහොත් වැඩිම කාලයක් යුග දිවිය ගෙවූ දෙමහල්ලන් ලෙස තවත් වාර්තාවක් ඔවුන් තබා ඇත. පිරිසුදු චේතනාවත් චාම් දිවියත් මේ යුවළට අපූර්වත්වය කැඳවා ඇති බව පැහැදිලිය.
‘‘ මට ඕනේ දැන් නිදහස් වෙන්න’’
ඇයට දැන් ඇවිසි වී ඇත්තේ මේ දීර්ඝතම ජීවන යාත‍්‍රාවේන් එගොඩවීමටය. එහෙත් මිනිස් ජීවියකුට ලැබෙන පරම ආයුෂ බුක්ති විඳීමට තරම් ඇය වාසනාවන්තය. තවමත් තම දෛනික කටයුතු ටික තනිවම කරගන්නා උක්කු අම්මා අපටත් රටටත් සම්පතකි. ගිනස් වාර්තා පොතේ නම සටහන් නොවුණද අම්මේ ඔබ අපට ආඩම්බරයෙකි. ඔබට දිර්ගායු ප‍්‍රාර්ථනා කරමු.
සටහන සහ ඡායාරූප - පැතුම් පැස්කුවල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ආචාරය! (නි)
අම්මේ, නුඹේ ගුණ වරුනෙට වචන මදී..., නිරහංකාර යහගුණ කිසිවක් නොසිඳී.., ඔබවැනි මව්වරුන් ලෝකෙට සුවඳ දිදී.., සැමදා පිපේවා ලක්මව සනසමින් රැඳී..... (නි)
ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් අම්මේ! මගෙන් සුබ පැතුම් (නි)
මටත් හිටියා ඔය වගේ ආච්චි කෙනෙක්. අනේ හරි හොදයි (නි)
ඔක්කොම කියන්නේ තව දිගුකල් වැජඹේවා කියලා.මුන්දැට හිටගෙන ඉන්නවත් පණක් කෙන්දක් නැහැ. (නි)
සුබ දසුන්. ආයු බෝ වේවා! (නි)
ආයු බෝ වේවා! ආච්චිට හොදින් ඉන්න ලැබේවා! බුදු සරණයි (නි)
මගෙත් ආයු අරගෙන තව චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ ඔය අම්මා (නි)
මගේ ආච්චි අම්මා වගේමයි (නි)
රත්තරන් අම්මාට බුදු සරණයි! (නි)
මගේ අම්මට 73ය් උක්කුඅම්මටයි සියලු අම්මලාටයි දීර්ගායුෂ ලැබේවා ..(නදී)
මේ ආච්චි අම්මාට බුදු සරණයි.දෙවි පිහිටයි. ඇය රැක බලාගන්නා කාටත් තිස් තුන් කෝටියක් දේව ආරක්ෂාවයි. නිදුකින් සතුටින් දිනේ... (නි)
ආච්චි අම්මට සියලු දෙවි රැකවරණයි !!! (ස)
චිරන් ජයතු! (නි)
අම්මේ, ඔබට නිරෝගී සුව පතමි (නි)
ඔබට නිරෝගි සුව ලැබේවා !! (ස)
ආච්චි අම්මට බුදු සරණයි. ගොඩක් සතුටුයි. (අ)
උක්කු අම්මට ජයවේවා -නිනි.නාපොලි.(නදී)
ආච්චිට හොදින් ඉන්න ලැබේවි බුදු සරණයි.(නදී)
අම්මේ ඔබට දීර්ගායුෂ ලැබේවා! සියලු දෙවිරකවරණ පිහිට ලැබේවා! තුනුරුවන්ගේ සරණයි.(නදී)
දීර්ඝායුෂ ලැබේවා (අ)
වන්නිලා ඇත්තට කැබ් එකක් දෙනවා කියල තිබුන නේද? නරකද මේ අම්මටත් ඒ වගේ උදව්වක් කලොත් මේ ආණ්ඩුවෙන්. ලංකාවටම එක්කෙනානේ.(නදී)
පින් බර මාතාවක්. ඔබට දීර්ඝ ආයු. (ස)
මෙවැනි මව්වරුන්ට මෛත්‍රී බුදුනුත් ජේසු සමිදුනුත් දැකීමට වාසනා වේවා!(නදී)
ආච්චියේ ඔබට ජේසු පිහිටයි.(නදී)
උක්කු අම්මේ ඔබව දැක්කම මට මගේ අම්මා දැක්කා වගේ. ඇයත් ආයුෂ 94 වැළදුවා.ඔබට නිරෝගී සුවය! (නි)
ගිනස් වාර්තාව නැතුවට කමක් නැහැ අම්මේ. නීරෝගීව ඔබතව බොහෝ කලක් වැජඹේවා (නි)
ඔබට දීර්ඝායු පතමි (නි)
කෝටි දෙකක් ජනගහනය ලංකාවේ.. ඇය පමණක්ය ජීවන මඟ දුර ආවේ.. තිස් තුන් වරක් ශ්‍රී පාදය වැඳි තාවේ.. තුන් සරණේ පිහිට නොමදව ලැබුවාවේ---- මව් තුමි දකින නෙත් සතුටින් පිරි ඇත්තේ.. දහඩිය මහන්සිය ජීවිතෙ ඵල ගත්තේ.. දෛනික දිවියෙ පිහිටට අත පා නැත්තේ.. ආදර්ශයකි වයසක මව දී ඇත්තේ (ස)
මව්නි, ඔබට නිදුක් නිරෝගී සුව තව තවත් ලැබේවා. (ස)
ආච්චියෙ ඔබ රටටම ආඩම්බරයක්. බුදු සරණයි දෙවිපිහිටයි (දී)
බුදු සරණ වේවා සදහම් සරන වේවා .සග සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා!(නදී)
අම්මේ ඔබට නිරෝගී බව සහ දීර්ගායුෂ පතමි.(නදී)