IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව බටලන්දට ගිනිතැබීම

බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට රජය පසුගියදා කටයුතු කළේය. වාර්තාව සභාගත කරමින් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනලද ලේඛනවලට අනුව 1998 මැයි 21 වැනිදා මෙම කොමිෂන් සභා වාර්තාව නිකුත් කර තිබූ බව තහවුරු වනු ඇත.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නිකුත් කර වසර දෙකකට පසු එනම්, 2000 වසරේ මාර්තු 16 දින එය පාර්ලිමේන්තුවේ සැසි වාර්තාවක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර, ඉන්පසු 2001 වසරේදී හිටපු අමාත්‍යවරයකු වු විජයපාල මෙන්ඩිස් මහතා එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසමක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු විධිමත් ක්‍රමවේදය වනුයේ ජනාධිපතිවරයා එම වාර්තාව කථානායකවරයා වෙත නිල වශයෙන් යොමු කිරීමය. 1998 වසරේ මැයි මාසයේදී නිකුත් කරන ලද බටලන්ද කොමිෂන් සභා වාර්තාව එම විධිමත් ක්‍රමවේදයට අනුව මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා රූපවාහිනි සංවාදයේදී බටලන්ද කොමිසන් සභා වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බව සඳහන් කර තිබුණේ ඒ අනුවය. මෙවර සභානායක බිමල් රත්නායක මහතා එය සභාගත කළ ආකාරය ද විධිමත්ව සිදුව තිබේද යන්න ගැටලු සහගතය. ජනාධිපතිවරයාගෙන් කථානායකවරයා වෙත කෙරෙන විධිමත් යොමු කිරීමකින් තොරව එය පාර්ලිමේන්තුව වෙත යැවීමක් ලෙස සැළකිය හැකිද යන්න ප්‍රශ්නයක් වනු ඇත.

කෙසේ වුවද අඳුරු කාමරයක වසර විසිපහක් තිස්සේ සඟවා තිබූ වාර්තාවක් එදින සභාගත කරන බව සභානායකවරයා සඳහන් කළ ද, එම වාර්තාව විජයපාල මෙන්ඩිස් මහතා සභාගත කරනු ලැබීම පාර්ලිමේන්තුව විසින් එය සැසි වාර්තාවක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම යන කරුණු සළකා බලන විට පැහැදිලි වන්නේ ඒ වනවිටත් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබූ වාර්තාවක් නැවත වරක් සභාගත කිරීමක් ලෙසය.

රජය වරින්වර පාර්ලිමේන්තුවේදී විවිධ ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීම මේ වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එකම ලැයිස්තුව කිහිපවරක්ම ප්‍රකාශයට පත්කළ අවස්ථා ද දැක ගැනීමට හැකිය. සහල් ප්‍රශ්නය සහ පොල් ප්‍රශ්නය වැනි ජනතාවට දැඩි පීඩාවක් දැනෙන තත්වයක් උද්ගත වූ විට මෙවැනි ලැයිස්තු ප්‍රකාශයට පත්කර මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කරවීමේ බොළඳ ප්‍රයත්නයක රජය නිරත වී ඇති බවත් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් ප්‍රදර්ශනය වේ.

බටලන්ද වාර්තාව සභාගත කිරීමේ ක්‍රියාවලිය ද සැළකිය හැක්කේ එය පළාත් පාලන මැතිවරණ කාලපරිච්ඡේදය තුළ ජනතාව හැඬවීමෙන් ඡන්ද ලබා ගැනීමේ අරමුණ සහිතව ගන්නා ලද ක්‍රියාමාර්ගයක් ලෙසය. කෙසේ වුවද වසර විසිහතක් පැරැණි බටලන්ද කොමිෂන් සභා වාර්තාව මගින් කිසියම් පාර්ශ්වයකට අවාසියක් සිදු කිරීමට රජය බලාපොරොත්තු වන්නේ නම් ඒ හා සමාන අවාසි සහගත ප්‍රතිඵල රජයට ද භුක්ති විඳීමට සිදුවන බව එම වාර්තාව ගැඹුරින් විමර්ශනය කරන කවරකුට වුවද පැහැදිලි වනු ඇත.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු බොහෝ දෙනකු නැගූ ප්‍රශ්නය වන්නේ එය සභාගත කිරීමට මීට පෙර ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු අවස්ථා මගහැර සිට දැන් ඒ සඳහා කටයුතු කරනු ලබන්නේ කුමන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට ද යන්නය. බටලන්ද කොමිසම පත්කරනු ලැබුවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසිනි. චන්ද්‍රිකා රජයේ කැබිනට් අමාත්‍යධුර හොබවමින් රජයේ පාර්ශ්වකරුවකු ලෙස ජනතා විමුක්ති පෙරමුණ එවකට කටයුතු කළේය. තමන් රජයේ පාර්ශ්වකරුවකුව සිටියදීත් එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස හෝ වරදකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස හෝ කිසිදු අවස්ථාවක එම පක්ෂය ඉල්ලීමක් කර නැත.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එම අවස්ථාවේ මහින්ද මහතාගේ ප්‍රතිවාදියා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඊට අවුරුදු හතකට පෙර ඉදිරිපත් කර තිබූ මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව කිසිදු ඉල්ලීමක්, කිසිදු අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර නැත. කථානායකවරයා හඬවන ආකාරයෙන් සභානායක බිමල් රත්නායක මහතා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද, ඝාතකයා ලෙස හැඳින්වෙන පුද්ගලයකු පිළිබඳව කථා කළ ද, රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සෘජුවම සභානායකවරයාගේ කථාවේදී ඉදිරිපත් නොවීය. කෙසේ වුවද අනියම් ආකාරයෙන් එහිදී ඝාතකයා ලෙස සඳහන් කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා බව පෙනී යයි.

බටලන්දේ ඝාතකයා ලෙස එසේ හඳුන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත විශ්මය ජනකය. එක්සත් ජාතික පක්ෂ රජය ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙන පිරිස් දරුණු මර්දනයකට ගොදුරු කරද්දී ඊට විරෝධය දක්වා එම පිරිස් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටියේය.

මර්දනයට එරෙහිව රටේ පැවැත්වූ විවිධ විරෝධතාවලට ඔහු නායකත්වය දුන්නේය. එම තොරතුරු ජාත්‍යන්තරයට රැගෙන ගොස් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටියේය. යුද්ධය දිනූ මහින්ද මහතා පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළේය. ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට විරෝධය දැක්වූ මහින්දට එරෙහිව රනිල් ඉදිරිපත් කළ ෆොන්සේකාට ඔවුහු සහයෝගය ලබා දුන්හ. ජනතා විමුක්ති පෙරමුණ දැන් ඝාතකයා ලෙස හඳුන්වන රනිල් සමග එදා ඔවුන් අත්වැල් බැඳ ගත්තේ එලෙසය. බටලන්ද කොමිසමේ ප්‍රධාන විත්තිකරු බවට ජනතා විමුක්ති පෙරමුණ අද ඇඟිල්ල දිගු කරන රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර පහළොවකට පෙර ඔවුන් විසින් පළමු වරට නිදොස් කොට නිදහස් කරන ලද්දේ එම ජනාධිපතිවරණ වකවානුවේදී රනිල් සමඟ ඇති කරගත් එකී සබැඳියාවත් සමඟය.

2015 වසරේදී මෛත්‍රී ජනාධිපති කිරීමේ සහ රනිල් අගමැති කිරීමේ මැතිවරණ ව්‍යාපාරයේදී ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතුව කටයුතු කළේය. රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දූෂණ වංචා සෙවීමට පිහිටුවන ලද දූෂණ විරෝධී කමිටු ව්‍යූහය තුළ ජනතා විමුක්ති පෙරමුණ අතිවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කරන චෝදනාවලින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහු දෙවැනි වරට නිදොස් කොට නිදහස් කරන ලද්දේ ඒ ආකාරයටය. ඉන්පසු මෛත්‍රීපාල මහතා සහ වික්‍රමසිංහ මහතා අතර විරසකයක් ඇති වී මහින්ද මහතා අගමැති ධුරයට පත්කරද්දී යළිත් වරක් ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා සමග සෘජුව සිට ගත්තේය. ඔහුගේ අග්‍රාමාත්‍යධුරය ආරක්ෂා කරදීම සඳහා උසාවි ගියේය. එය සැළකිය හැක්කේ වික්‍රමසිංහ මහතා තෙවැනි වරටත් නිදොස් කොට නිදහස් කිරීම පමණක් නොව රාජ්‍ය නායකත්වය දැරීමට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවට ජනතා විමුක්ති පෙරමුණ පිළිගත් බව නිසා නොවේද?

බටලන්ද වාර්තාව මෙවර සභාගත කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම වාර්තාවේ තමන් පිළිබඳව කිසිදු චෝදනාවක් ඉරිදිපත් කර නැති බවත්, රජයේ නිවාස පොලිස්පතිවරයා වෙත ලබා නොදී ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට ලබාදීමේදී තමන් අනියම් අයුරින් ආධාර කර ඇති බව පමණක් එම වාර්තාවේ සඳහන් බවත්ය. 1948 වසරේදි සම්මත කර ගන්නා ලද කොමිෂන් සභා පනත ප්‍රකාරව බටලන්ද කොමිසම පිහිටුවා ගන්නා ලද්දකි.

එය 1978 වසරේදී සම්මත කර ගන්නා ලද ජනාධිපති කොමිෂන් සභා පනත අනුව පිහිටුවන ලද්දක් නොවේ. එබැවින් එම කොමිසමට කිසියම් පුද්ගලයකුට දඬුවම් පැමිණවීම පිළිබඳව නිර්දේශ කිරීමේ කිසිදු හැකියාවක් නැත. එබැවින් එම වාර්තාව සභාගත කිරීම තුළ කිසිදු ප්‍රතිඵලයක් අත්කර ගැනීමට හැකිවේ යැයි සිතිය නොහැකිය.

1971 අප්‍රේල් කැරැල්ල සමයේදී සහ 1988, 90 ජවිපෙ භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මහජනතාව වෙත අතිවිශාල පීඩනයක් එල්ල කරනු ලැබීය. එම පෙරමුණ විසින් මනුෂ්‍ය ඝාතන, රාජ්‍ය දේපොළ කොල්ලකෑම් හා විනාශ කිරීම්, පුද්ගල වධහිංසන ආදිය අසීමාන්තිකව සිදුකළ බව ප්‍රකට කරුණකි. එවැනි තත්වයක් ජනතා මතකයේ පැවැතියදී පවා පසුගිය වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණට ජනතාව සහාය දුන්නේ රටේ පවතින ආර්ථික පරිහානිය මෙන්ම ජනතාව අත්විඳින පීඩනය රට මෙතෙක් පාලනය කළ දේශපාලන පක්ෂ සහ නායකයන්ගේ දුර්වලතා නිසා සිදුව ඇතැයි සැළකීම නිසාය.

ජනතාවට කිසිදා අමතක කළ නොහැකි පෙර වැරැදි ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබුණ ද, ඒවා නොසළකා හැරීමට පසුගිය ජනාධිපතිවරණයේ මෙන්ම මහමැතිවරණයේදී ජනතාව කටයුතු කළේය. එසේ වුවද ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵලයක් ලබාදීමට නව රජයට හැකියාවක් ලැබී නැති බැවින් ඔවුන්ගේ දොස් දැකීමට මහජනතාව දැන් පෙළඹී ඇති බවක් ද පෙනේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදය එම යුගයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් විස්තර කර තිබේ. එවැනි තත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙතෙක් තොතිබූ අවධානයකින් කරුණු සාකච්ඡා කිරීම සඳහා රජය මහජනතාවට අවස්ථාවක් සලසා දී තිබේ. එය රනිල්ට වඩා රජයට හානිකර බව රජයේ මාධ්‍ය හසුරුවන්නන් හඳුනාගෙන නොමැති බවද පෙනේ.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

ආණ්ඩුව බටලන්දට ගිනිතැබීම

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

සිංහල සිනමාවේ ඔටුනු නොපලන් රජු
2025 මාර්තු මස 19 421 0

කුඩා කල සිටම මගේ ප්‍රියතම සිංහල චිත්‍රපට නළුවා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී මගේ ජීවිතයට පිවිසියේ මට වයස අවුරුදු අටේදී පමණය. ඒ මරදානේ ඔහුගේම නම රැගත් “


ආණ්ඩුව බටලන්දට ගිනිතැබීම
2025 මාර්තු මස 19 575 0

බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරන ලද කොමිසම සිය වාර්තාව නිකුත් කර වසර විසිහතක් ගතවූ පසු එම වාර්තාව නැවත පාර්ලිමේන්ත


විචාරකයන්ට අමතකවුණු මහාකවියා - රැයිපියෙල් තෙන්නකෝන්
2025 මාර්තු මස 18 83 0

මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ ප


සිංහල සාහිත්‍යයේ විප්ලවවාදියා
2025 මාර්තු මස 18 81 1

මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින්


වෘත්තිකයින් රට හැරයාමේ ඛේදවාචකය
2025 මාර්තු මස 18 97 0

මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 105 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 982 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 341 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site