IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


උඩුගම්පොල ත‍්‍රිත්ව ඝාතකයා දැරිය මැරුවේ පණපිටින් ළිඳට දාලා

  17_SLTK_P6_Back

 

දිනය 2015 සැප්තැම්බර් 10 වැනි බ‍්‍රහස්පතින්දාය. වේලාව උදේ 10ට 11ට පමණ ඇත. ගම්පහ පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියැවුණේ උඩුගම්පොළ දෙවලපොල පාරේ වතුමුල්ලේ නිවසකින් දැඩි දර්ගන්ධයක් හමන බවයි.

 

3
පොලිසිය 119 යතුරුපැදිය එහි යැවූ අතර කතාව ඇත්ත බව තහවුරු වූ පසු ගම්පහ පොලිසියේ කණ්ඩායමක් එහි ගියේය. අක්කර හයක පමණ වත්තක පිහිටි නිවස පාළුවට ගොස් තිබිණි. බල්ලන් කිහිප දෙනකු සිටි නිසා කිසිවකු නිවස අසලට ළං නොවූහ.


පොලිසිය පැමිණ දුඟද හමන නිවස දෙසට ගොස් බැලීය. ප‍්‍රධාන දොර වසා තිබිණි. ජනේලයකින් බැලූ විට නරක්වූ මළ සිරුරක් ගෙයි තිබෙනු දැක දොර කඩා නිවසට ඇතුළුවී බලද්දී මළ සිරුරු දෙකක් තිබෙනු දුටහ.


වැඩි වේලාවක් යන්නට මත්තෙන් අවට වැසියෝද එක්කාසු වූහ. ඔවුන්ගෙන් මේ පවුල ගැන තොරතුරු රැසක් අනාවරණය විය.


ගල්ළිඳ කුඹුරේ ගෙදර විමලාවතී (42) උඩුගම්පොළ නයිවල පාරේ පදිංචිව සිටියාය. අක්කර හයක පමණ වත්තක හිමිකාරිය වූ ඇය වික‍්‍රමආරච්චිගේ ධර්මසේන පෙරේරා (52) සමඟ එම නිවසේ ජීවත් වූවාය. ඔවුන්ගේ එකම දියණිය ජලනි කාවින්දා තුන් හැවිරිදි වූවාය.


ධර්මසේන නිවසේ කුකුළු ගොවිපොළක් පවත්වාගෙන ගියේය.


ධර්මසේනගේ හා විමලාවතීගේ සිරුරු හමුවූවත් කුඩා දියණිය අතුරුදන්ව සිටියාය. ඇය සෙවීම පොලිසියේ ඊළඟ අරමුණ විය. නිවසේ සෑම තැනම පීරුවත් තොරතුරක් නොලැබිණි. වත්තේ තැනින් තැන බලද්දී නිවසට මීටර් 150ක් පමණ දුරින් වූ ළිඳක තිබී කුඩා දැරියකගේ සිරුර හමුවිය.


ගම්පහ වැඩ බලන මහේස්ත‍්‍රාත් පැමිණ මහේස්ත‍්‍රාත් පරීක්ෂණ පැවැත්වූ අතර මෙය ඝාතනයක් බවට සැකකර ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මසිරි මුණසිංහ සහ ගම්පහ සහකාර පොලිස් අධිකාරී 1 චන්දන ජයසිරි කොඩිතුවක්කු යන මහත්වරු ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගුණවර්ධන සහ ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.පී.කේ ගුණවර්ධන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කණ්ඩායම් දෙකක් පත් කළහ.


ගම්පහ කොට්ඨාස බුද්ධි ඒකකයේද සහායෙන් විමර්ශන ඇරැඹූ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මේ නිවස සහ නිවැසියන් ගැන තොරතුරු රැුසක් අනාවරණය කර ගත්තේය.


ධර්මසේනගේ කුකුළු ගොවිපොළේ සේවකයකු වැඩ කළ බවත්, ධර්මසේනට වෑන් රියක් තිබුණු බවත් අනාවරණය කර ගත්තේය.


කුකුළු ගොවිපොළේ සිටි පුද්ගලයාට කුමක් වීදැයි පොලිසියට ගැටලූවක් විය. නිවැසියන් මෙන් ඔහුද මරා දාලාද එසේ නැතහොත් ඔහු මේ අපරාධයට සම්බන්ධ ද යන්න සෙයා බැලූ පොලිසිය සේවකයා ජීවතුන් අතර සිටිනා බව අනාවරණය කර ගත්තේය.


නොවිසඳුණු අපරාධ අංශයේ සහ කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් ඉන් පසු අනාවරණය කර ගත්තේ සැකකරු පස්යාලේ සිටින බවය.


ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුණසිංහ සහ සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු යන මහත්වරු පොලිස් විමර්ශන කණ්ඩායම සමඟ නිතර සම්බන්ධතා පවත්වා ගනිමින් ඉදිරි විමර්ශන ගැන උපදෙස් දුන්හ.


සැකකරු සිටින නිවස පරීක්ෂා කිරීමට සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගෙන් අවසර ලත් සැනින් නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පස්යාලේ නිවසට ගියහ. එහි සිටි කාන්තාවගෙන් ප‍්‍රශ්න කළ විට පොලිසිය සොයන පුද්ගලයා එහි නැවතී සිටින බව කාන්තාව පිළිගත්තාය.
පොලිසිය යන අවස්ථාවේ ඔහු නොසිටියත් සැකකරු එනතුරු බලා සිට ඔහු අත්අඩංගුවට ගත් පොලිසිය, නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය වෙත සැකකරු ගෙන ආවේය.


ප‍්‍රශ්න කිරීම ඇරැුඹුණේ ඉන් පසුවය. තමා කළ කී දේ සියල්ල ඔහු පොලිස් නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කළේය.


ධර්මසේනගේ ගොවිපොළේ කුකුළන්ට කෑම ගත්තේ පස්යාලේ කඩයකිනි. එම කඩයේ සේවය කළේ වැලිමඩ ගුරුතලාවේ පුද්ගලයෙකි. ඔහු 35 හැවිරිදි වූයේය. ධර්මසේන නිතර කඩයට පැමිණෙන නිසා එම කඩ සේවකයා සමඟ කුළුපග විය.


ඒ අනුව මීට මාස හයකට පෙර ධර්මසේන ඔහු තම ගොවිපොළේ වැඩට ගත්තේය. ඔහු නැවතී සිටියේද ධර්මසේනගේ වත්තේමය. වැඩපොළ ද හරිහැටි කරගෙන ගියේය.


දිනක් සේවකයාට තේ දීමට ගොස් බිරිය ඒමට පරක්කු වූ නිසා ධර්මසේන කුකුළු ගොවිපලට යන විට සේවකයා බිරියගේ අතින් අල්ලාගෙන සිටිනු දුටු බව කියති. දෙදෙනාට අවවාද කර ධර්මසේන නික්ම ගොස් ඇත.

SLTK_06


මේ නිසා නිවසේ වරින් වර ගැටලූ මතුවී තිබුණු අතර සැප්තැම්බර් 04 වැනි දා උදේ 10ට පමණ ද බිරිය හා සැමියා අතර බහින් බස් වීමක් ඇතිවී තිබේ.


ඔවුන්ගේ බහින්බස්වීම ඇසුණු සේවකයා නිවසට ගොස් පොල්ලකින් සැමියාට පහරක් එල්ල කරද්දී එය වැළැක්වීමට බිරිඳ මැද්දට පැන ඇත. පොලූ පහර වැදුණු කාන්තාව බිම ඇද වැටෙද්දී සේවකයා සිතා ඇත්තේ ඇය මියගොස් ඇති බවයි. එසේ සිතා පොලූ පහරදී සැමියා ද මරා දමා තිබේ. ඉන් පසු කාන්තාව කෙඳිරිගානු ඇසී ඇය නොමළ බව දැනගෙන සාක්කි නැතිකර දැමීමට නැවත පහර දී ඇය ද මරා සිරුරු රෙද්දකින් වසා ඇති සේවකයා පසුදින උදේ හත පමණ වනතුරු කුඩා දැරිය සමඟ නිවසේ සිට ඇත.


පසුදින උදේ දැරිය පණපිටින් ළිඳට දැමූ බව කියති.


ඉන්පසු රන් බඩු කිහිපයක්ද, නිවසේ තිබූ ඞීවීඞී ප්ලේයරයක්ද, ඡුායාරූප ඇල්බමයක් සහ වෑන් රිය ද ගෙන පස්යාලේ හිතවතියකගේ නිවසට සැකකරු පළා ගියේය. ඞීවීඞී යන්ත‍්‍රය හිතවතියට දුන් ඔහු රන් ආභරණ වෙනත් අයකු ලවා උකස් කරවා තිබියදී පොලිසිය සොයා ගත්තේය.


ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරද්දී පහරදීමට යොදා ගත් පොල්ල නිවස අසලම ළිඳකට දමා තිබියදී සොයා ගත් අතර ඒ අවස්ථාවේ සැකකරු ඇඳ සිටි ඇඳුම් ද සොයාගනු ලැබීය.


ඔහුගේ පැටිකිරිය එකිනෙක හෙළිවූයේ ඉන් පසුවය.


ගුරුතලාව හිඟුරුගමුවේ පදිංචිකරුවකු වන ඔහු මීට පෙර ද පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණේ තණමල්විල මිනීමරුමක් සම්බන්ධයෙනි. මොණරාගල මහාධිකරණයේ ඔහුට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බවත්, ඇප පිට සිටින ඔහු නඩු වාරයට නොපැමිණි නිසා වරෙන්තු පිට සිටි බවත් පොලිසිය අනාවරණය කර ගත්තේය.


අපරාධයක් කිසි දිනක වසන් කළ නොහැකිය යන ධර්මතාව නැවත වරක් පසක් කරමින් සැකකරුට සැඟවී සිටින්නට නොහැකි විය. සඳුදා (14) උදේ අත්අඩංගුවට ගත් සැකකරු අඟහරුවාදා (15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් කරනු ලැබීය.


බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මසිරි මුණසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරී 1 චන්දන ජයසිරි කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.පී.කේ. ගුණවර්ධන, පොලිස් සැරයන්වරුන් වන 64950 නිමල්සිරි, 18771 ධර්මපාල, පොලිස් කොස්තාපල්වරුන් වන 2926 පුෂ්පානන්ද, 12839 රොෂාන්, 38076 කුමාරසිරි, 55460 ධනපාල සහ 55466 සෙනවිරත්න මහත්වරු විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත්හ.
(උඩුගම්පොළ ත‍්‍රිත්ව ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ ඇසුරෙනි.)

ff

 

SLTK_06

 

උඩුගම්පොළ පවුලක් ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියට දුන් ප‍්‍රකාශය..


‘‘මා වැලිමඩ රෝහලේ දී උපත ලැබුවා. මගේ පියා දැනට ජීවතුන් අතර නැහැ. මට සහෝදර සහෝදරයන් ඉන්නවා. මගේ අයියා සහ නංගී විවාහ වෙලා ඉන්නවා. 

SLTK_06
මම පහ වසර දක්වා ඉගෙන ගත්තා. පසුව පියා සමග හේන්, කුඹුරු ගොවිතැන් කළා. මම කුළි වැඩත් කළා.


පත්තරේ තිබුණු දැන්වීමක් අනුව මම පස්යාල ෆාම් එකකට ආවා. මා එම ෆාම් එකේ වැඩ කරමින් හිටියා.     


එහෙම වැඩ කරගෙන ඉන්නකොට උඩුගම්පොළ පදිංචි වික‍්‍රම අයියා කුකුළු කෑම හා කුකුළන්ට බෙහෙත් ගන්න ලොරියෙන් එනවා. මා ඔහු සමග හිතවත් වුණා. ඒ වනවිට මා පස්යාල ෆාම් එකට ඇවිත් මාස අටක් පමණ වුණා. 


මේ අතර එම කුකුළු ෆාම් එක අසල තිබෙන නිවසක පදිංචි පුද්ගලයකුත් මා සමග හිතවත් වුණා. පසුව මා එම නිවසට ආවා ගියා. 

ඔහුගේ දුවගේ ස්වාමි පුරුෂයා මිය ගිය නිසා එම කාන්තාව නිවසේ පදිංචියට ආවා. ඒ අතරතුර ඇයට තවත් ළමයකු හම්බෙන්න හිටියා. පසුව මා ඇය සමඟ ද හිතවත් වුණා. ඒ නිවසින් මම කෑම ලබා ගත්තා. මම හිටපු ෆාම් එකෙන් හරියට සල්ලි දුන්නේ නැති නිසා 2015 මාර්තු මාසයේ දී විතර වික‍්‍රම අයියා (ධර්මසේන) සමඟ උඩුගම්පොල කුකුළු ෆාම් එකට ආවා.


පසුව මම එම ෆාම් එකේ වැඩ කළා. මුලින් මට රුපියල් 20,000ක් පමණ දුන්නා. මම එම වික‍්‍රමගේ ෆාම් එකට ඇවිත් මාස තුනක් පමණ වන විට  වික‍්‍රමගේ බිරිඳ වන විමලාවතී නෝනා මාත් එක්ක හිතවත් වුණා.


එක දවසක් ඇය මට නාන වෙලාවෙදි සබන් කෑල්ල ගෙනත් දෙන්න කිව්වා. පසුව මම සබන් කෑල්ල අරගෙන ගියා. එදින ඉඳලා ඇය මට ලෙංගතු වී සිටියා. 


වික‍්‍රම අයියා ගෙදර හිටපු නැති දවසක දහවල් එකට විතර කාමරේදී අපි හමු වුණා. පසුව අපේ හිතවත්කමට මාස තුනක් විතර ගත වුණා. 


දවසක් නෝනාගේ අතින් අල්ලන් ඉන්නවා වික‍්‍රම අයියා දැක්කා. 


පසුව නෝනා අක්කාත් වික‍්‍රම අයියාත් දෙන්නා නිතරම රණ්ඩු වුණා. එවිට මගේ ඉඩම්වල උඹ ඉඳන් මට බනින්න එපා, මෙතනින් යන්න කියා ඇය වික‍්‍රම අයියාට බනිනවා ඇහුණා. නිතර නිතර ඔවුන් දෙදෙනා රණ්ඩු කළා. වික‍්‍රම අයියා නෝනාගේ තොල පුපුරන්න අතින් ගැහුවා. මම එය දැකලා එතනට ගියා. එවිට වික‍්‍රම අයියා මට බැනලා කිව්වා උඹ මෙහෙන් පලයන් කියලා. 


ඒ සිද්ධියට පසුවදා උදේ මම නැගිටලා මූණ හෝදනකොට නෝනා අක්කා තේවතුර අරගෙන ඇවිත් මට දීලා ‘‘ඔයා ඉන්න මල්ලි මේක මගේ තැනනේ’’ කියා කිව්වා. පසුව මම හිත හදාගෙන හිටියා. දින දෙකක් තුනක් යන තුරු වික‍්‍රම අයියා මා එක්ක කතා කළේ නෑ. ටික දවසකට පසු මා එක්ක කතා කළා. ඒ නිවසේ සිටියේ නෝනා අක්කාත් වික‍්‍රම අයියත් අවුරුදු හතරක පමණ කුඩා ගැහැණු දරුවාත් විතරයි. 


මම එම ළමයාට බබා කියලා කතා කරනවා. එම නිවසේ බල්ලන් අට දෙනකු පමණ සිටියා. ගේ ඇතුළේ ඉන්න බල්ලා හා කූඩුවේ දමා සිටිය බල්ලා ඇරෙන්න අනිත් බල්ලන් මට පුරුදුයි. කුකුල්ලූ දාහක් දාන්න පුළුවන් කූඩු තුනක් හා කුකුල්ලූ 600ක් දාන්න පුළුවන් කූඩු හතරක් තියෙනවා. 


පොඩි කූඩුවේ සිර කර සිටින කුකුළන් මැරීම සඳහා කෙනකු එනවා. කුකුළන් මරා දමා ගියාම මම සුද්ධ කරනවා. මස්වලට කුකුල්ලූ අරගෙන යන්නත් වෙලාවට මිනිසුන් එනවා. අහල පහළ මිනිස්සු දෙදෙනෙක් පමණයි එම නිවසට යන්නේ එන්නේ. වැඩියේ කවුරුත් එන්නේ නෑ. 


2015 සැප්තැම්බර 4 වැනි දින උදේ පහට විතර කුකුල්ලූ මරණ කෙනා සහ ඔහුගේ රියැදුරු ඇවිත් කුකුල්ලූ මරා   පෝර උරයකට දමා තිබුණා. මම එදින උදේ 6.30ට විතර නැගිටලා මුහුණ හෝදාගෙන ඇවිත් මේසය  උඩ තබා තිබුණු තේ එක බීලා පොඩි කූඩුවට ගිහින් මරා තිබුණු කුකුළත් සුද්ධ කළා. 
උදේ අටට විතර සුද්ධ කරපු කුකුල්ලූ අරගෙන ඇවිත් නෝනා අක්කාට දුන්නා. වෙනදට වැඩිය කලින් සුද්ධ කරගෙන ආවද කියා ඇය ඇහුවා. මම  ඔව් කියා කුකුළු කූඩුව ඉදිරිපිට මිදුල හා නිවස ඉදිරිපිට මිදුල අතු ගෑවා. පසුව ආයෙත් ඇවිත් කුකුල්ලූ සුද්ධ කළා. 


පසුව ඒ ටික ගෙදරට ගිහින් දුන්නා. ඒ වන විට වෙලාව උදේ 9.45ට විතර ඇති.  


මම දෙවැනි කුකුළු මස් ටිකත් නිවසට ගිහින් දුන්නට පස්සේ නෝනා අක්කා මට තේ වක්කරලා දුන්නා. පසුව මා තේ බීලා අනිත් කුකුළු මස් ටික සුද්ධ කරන්න කූඩුවට ගියා.


ඒ ගිහින් කුකුල්ලූ සුද්ධ කරමින් සිටින විට විනාඩි 20කට පමණ පසු ගෙදර දෙසින් බැණගන්න සද්දෙ ඇහිලා මාත් නිවෙස දෙසට ගියා.


යන විට නෝනා අක්කා මම ඉන්න පැත්තට හැරිලා හිටියා. වික‍්‍රම අයියා මට පිටුපස හරවගෙන බැණගනිමින් හිටියා. නෝනා අක්කා මාව දැක්කා. නමුත් වික‍්‍රම අයියා මාව දැක්කේ නෑ. මම එතන වම් පැත්තේ මුල්ලේ තිබුණු උදලූ මිට අරගෙන වික‍්‍රම අයියාගේ ඔළුවට ගැහුවා. එවිට මාව ලිස්සලා ගිහින් මම ගහපු පාර නෝනා අක්කාගේ ඔළුවට වැදුණා. වැදිලා ඇය බිමට ඇදගෙන වැටුණා. පසුව මම වික‍්‍රම අයියාටත් එම පොල්ලෙන් ඔළුවට ගැහුවා. එවිට ඔහුගේ ඔළුවේ පැත්තකට වැදුනා. වැදිලා වික‍්‍රම අයියත් බිම ඇදගෙන වැටුණා. වික‍්‍රම අයියාට වැදුණු පසුව මම අරගෙන තිබුණු උදළු මිටෙන් ඔහුගේ ඔළුවට පාරවල් හතරක් විතර ගැහුවා. ඒ පාරවල් ඔළුවට හා බෙල්ලට වැදුණා.


පසුව මම නෝනා අක්කා දිහා බැලූවා. එවිට මම දැක්කා නෝනා අක්කාගේ ඔළුවෙන් ලේ ගලාගෙන එනවා. පසුව මම ඇවිත් පොල්ලෙන් තව පාරවල් දෙකක් ගැහුවා.


ගහලා ඔළුවෙන් ලේ ගලාගෙන යන තැනට බිම තිබුණු රෙදි පාපිස්ස දාලා කකුල් දෙකෙන් ඇදගෙන ගිහින් කෑම මේසයේ වම් පැත්තෙන් දැම්මා.  ඊට පස්සේ මම ආපහු ගිහින් වික‍්‍රම අයියා අරගෙන ඒ විදියටම ඇදගෙන ඇවිත් කෑම මෙසේ දකුණු පැත්තෙන් දැම්මා. 


පසුව මම ලේ තිබුණු තැන සෝදන්න හිතාගෙන එළියට ආවා. එවිට මම දැක්කා එතැන ලා කොළ පාට හා නිල් පාට බෙඞ් ශීට් දෙකක් තිබුණා. පසුව බෙඞ් ශීට් දෙක අරගෙන ගිහින් නෝනා අක්කා එක බෙඞ් ශීට් එකකින් වැහුවා. පසුව අතේ තිබුණු අනිත් බෙස්ඞ් ශීට් එක වික‍්‍රමගේ ඇගට දාලා වැහුවා. 


පසුව මම ගිහින් බබා මොකද කරන්නේ කියා බැලූවා. එවිට ඇය සියඹලා ගහ යට සෙල්ලම් කරමින් සිටියා. පසුව මම ආපහු ඇවිත් නෝනා අක්කා හා වික‍්‍රම අයියා වැටී සිටි තැන තිබුණ ලේ පාපිස්ස රෙදි කෑල්ලක් එකට තියලා සින්ක් එකෙන් වතුර අරගෙන බිම සේදුවා. 


පසුව මම ඇවිත් ළමයා සෙල්ලම් කළ සියඹලා ගහ යටට වෙලා ළමයා සමඟ හිටියා.


එවිට බබා මගෙන් අම්මා කෝ කියා ඇහුවා. මම දැන් එයි කියා කිව්වා. පසුව මම විනාඩි 10ක් විතර ඉදලා ආපහු ගෙදර ඇතුළට ආවා. ඇවිත් සාලයේ තිබුණු මේසය උඩ තිබුණු බ්‍රේස්ලට් එකයි, මාල දෙකයි ගත්තා. මම ඊට කළින් බිම වැටිලා හිටියා නෝනා අක්කවයි වික‍්‍රම අයියවයි   යතුරු පැදි දමන තැන මම දමා තිබුණු කළු පාට ඉටුකොළ දෙකෙක් ගෙනත් වසා දැම්මා. 


පසුව මම ගේ ඇතුළට ගොස් මේසය උඩ තිබුණ රත‍්‍රන් පාට අත් ඔරලෝසුවත්, එතන තියලා තිබුණු වික‍්‍රම අයියාගේ හැදුනුම්පතත්, ඩ‍්‍රයිවින් ලයිසන් එකත් අරගෙන   එළියට ආවා. ගේ ඇතුළේ තිබුණු කළුපාට ඞීවීඩි එකත් අරගෙන ආවා. 


ඇවිත් එළිය ගරාජ් එක තුළ නවතා තිබුණු සුදු පාට බඩි ලොරිය ඉස්සරහා තිබ්බා. පසුව මම ආයෙත් බබා සෙල්ලම් කරන තැනට ගියා. 


මම එහෙම යන විට ගරාජ් එක තුළ නවතා තිබුණු යතුරු පැදියේ සීට් එක උඩ එම රත‍්‍රන් බඩු ටික තියලා ගියා. 


පසුව මම ළමයා ළඟ ඉදලා කුස්සියට ගිහින් උණුවතුර බෝතලයේ තිබුණ උණුවතුර අරගෙන පිටි දාලා සීනි දාලා ළමයට කිරි එකක් හැදුවා. පසුව ළමයාගේ කෝප්පයට දාලා පෙව්වා. පොවලා ළමයා සමග හවස 5.30 වන තුරු රැුඳී සිටියා. අපි දෙන්නා හිටියේ සියඹලා ගහ යටයි. පසුව ළමයා ආයෙත් බඩ ගිනියි කියන විට ළමයා වඩාගෙන  කඩයකට අරගෙන ගියා.


ගිහින් පළතුරු බීම පොඩි බෝතලයක් හා කිරි පැකට් දෙකක් සල්ලිවලට ගත්තා. ඒ වෙලාවෙ මගේ අතේ රුපියල් 750ක් විතර තිබුණා. පසුව ළමයත් අරගෙන මම ආපහු ගෙදරට ආවා. එවිට වෙලාව සවස 6.05ට විතර ඇති. 


ගෙනාපු බීම බෝතලය ළමයට පෙව්වා. එවිට ළමයා මගේ ඇඟට වමනය කළා. පසුව මම මගේ කාමරයට ගිහින් රෙදි කෑල්ලක් ගත්තා. පසුව මම ළමයවත් අරගෙන ලොරියට ඇවිත් ලොරිය ඉස්සරහා ළමයාව තියාගෙන හිටියා. 


පසුව මමත් හාන්සි වෙලා හිටියා. රාත‍්‍රී 10ට විතර ළමයා ඇහැරිලා අම්මා  ඕනෑ කියා ඇඩුවා. පසුව මම ඇයව නළවලා අනිත් කිරි පැකට් එකත් ළමයට පෙව්වා. ඊට පස්සේ ළමයා නිදා ගත්තා. මමත් නිදා ගත්තා. 


උදේ 6.30ට විතර මට ඇහැරුණා. මම දොර ඇරගෙන ලොරියෙන් බහින විට ළමයත් ඇහැරුණා.


? එළි වෙන තුරු අපි සිටියේ මිදුළේ නවතා තිබුණු වාහනය ඇතුළේ. පසුව මම ළමයා සමග නාන තැනට ගිහින් මගෙත් ළමයාගෙත් මුහුණ සෝදා ගත්තා. පසුව මමත් ළමයාත් ටැප් එකෙන් වතුර බිව්වා. එවිට වෙලාව උදේ 6.50ට විතර ඇති. 


පසුව ළමයා කිව්වා එයාව වඩා ගන්න කියලා. පසුව ළමයව වඩාගෙන  කුකුළු කූඩුව පැත්තට ගියා. ළමයා වඩාගෙන කල්පනා කළා මොකද කරන්නේ කොහේද යන්නේ කියා. පසුව දරුවත් වඩාගෙන පැය බාගයක් පමණ කල්පනා කරමින් ඇවිද්දා. කල්පනා කරමින් මම පාර දිගේ වත්ත මැදින් කුකුළු කූඩු පිටුපස අන්නාසි වත්ත පැත්තට ගිහා. පසුව  මම ළමයාව ගේන්න බැරි නිසා ළිදට දාලා යනවා කියලා ළමයා අරගෙන වත්ත මැද්දේ තිබුණු ළිදට දැම්මා. ළමයා කෑ ගැහුවේ නෑ. 


ළිඳට ළමයා දාලා මම ඇතුළ බලාගෙන හිටියා. එවිට මම දැක්කා ළමයා ළිද ඇතුළේ යමක වැදී කැරකෙනවා. 


ඒ එක්කම ජබෝහ් ගාලා සද්ධයක් ඇහුණා.


මම ළිද ළගින් ඉක්මනට ආවා. ඇවිත් ගැරෙජ් එකේ බයිසිකලය උඩ තිබුණු රත‍්‍රන් මාලයයි බ්‍රේස්ලට් එකයි අරගෙන ලොරියට නැගලා ඒවා ලොරිය ඇතුළෙන් තියලා මම ඇදගෙන හිටපු නිල්පාට ටීෂර්ට් එකත් රතුපාට කොටු සහිත කොටු කලිසමත් ගලවා ලොරියේ රියදුරු අසුන යටට දාලා රෝස පාට ටීෂර්ට් එක හා තැඹිලි පාට කොටු සහිත කලිසම ඇද ගත්තා.


නෝනා අක්කාටත් වික‍්‍රම අයියාටත් පොල්ලෙන් ගහපු වෙලාවේ මම ඇඳගෙන සිටි කලිසම හා ටීෂර්ට් එක හංගපු තැන මට පේන්නන්න පුළුවන්. 
පසුව මම ඇදුම් ඇඳගෙන ලොරියට නැගලා ලොරිය හරවාගෙන පස්යාලට යන්න ගියා.


ඊට පස්සේ මම නයිවල හංදියෙන් දකුණට දාලා නිට්ටඹුව හරහා පස්යාලට ආවා. පසුව මම වික‍්‍රම අයියාට  අයත් මා පදවාගෙන  පැමිණි බඩි ලොරියෙන් බැහැලා දන්නා කියන ගෙදරකට ගියා.


පසුව මම උදේ 6.45ට විතර නැගිටලා ලොරියෙන් පස්යාල හංදියට ආවා. ඇවිත්   ලොරිය නවත්වලා නිදා ගත්තා. උදේ 10ට විතර නැගිටලා පස්යාල බාර් එකෙන් බීර ටින් එකක් අරගෙන බිව්වා.


පහුවදා උදේ 7.30ට අටට විතර පස්යාල සමූපකාරය අසල ලොරිය දාලා මම රැුගෙන ආව බ්‍රේස්ලට් එක හා මාලය උකස් තැබීම සඳහා කොළඹ ගියා.


පසුව මා බොරැුල්ලට ගිහින් මගේ ළඟ තිබුණ අහුලපු හැදුනුම්පතින් බේස්ලට් එක උකස් තියලා රුපියල් 9000ක් අරගත්තා. අරගෙන මම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ආවා. එවිට වේලාව 12.30ට විතර ඇති.


පසුව මම කොටුවේ බාර් එකෙන් බීර එකක් බීලා කොටුව බස්ටෑන්ඞ් එකට ඇවිත් නිදා ගත්තා. අවට සෙනග හිටියා.


අනිත් මුදල් කවුරුන් හරි අරගෙන තිබුණා. පසුව මම මූණ හෝදගෙන නුවර බස් එකක ඇවිත් පස්යාලෙන් බැස්සා.


බැහැලා පස්යාල බාර් එක ළගට ගිහින් බීර එකක් බිව්වා. එවිට වෙලාව සවස තුනට විතර ඇති. මම ආපහු එන විටත් ලොරිය තිබුණු තැනම තිබුණු නිසා මම ලොරියට වෙලාම හිටියා. පසුව මට වැලිමඩ ගෙදර යන්න හිතුනා. අයෙත් බෑ කියලා හිතිලා අතේ තිබුණු මුදල් වලින් අරක්කු බිව්වා.


එදින මා එලෙසින්ම නිදාගත්තා.


පහුවදා උදේ නැගිටලා බාර් එක ළඟට ගිහින් බාර් එක ුළග වැඩ කරන කෙනකුට කියලා රත්තරන් චේන් එක උකස් තිබ්බා. රුපියල් 6000කට තිබ්බා. පසුව මා ජානකට බොන්න අරගෙන දුන්නා. දීලා පස්යාල හංදියට වෙලාම හිටියා. මට වැලිමඩ ගෙදර යන්න හිතුනත් මම ගියේ නැත්තේ මට නඩුවක් තියෙන නිසයි.   


තනමල්විල පුද්ගලයකුට පහර දී මරා දැමීම සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් තියෙනවා. මොණරාගල මහාධිකරණයේ පෙනී සිටීමට මට සිතාසි ඇවිත් තියෙනවා. දැන් ඒ නඩුවට වරෙන්තු වෙලා ඇති. ඒ නිසා මම ගෙදර යන්න බය වුණා. 


පසුව මා දින කිහියක් මෙහි හිටියා. මම පස්යාල  කුකුළු ෆාම් එකේ වැඩ කරන කාලෙදි යාළුවෙක් ගෙනත් දුන්නා අත් බෝම්බයක්. මම ඒ පැත්තේ ගෙදරක් පිටිපස්සේ  බිම ඉටිකොළයක ඔතලා වළලලා තිබුණා. මම මේ මිනී මැරුම නිසා තිබුණු බය නිසා   හොරෙන් ගිහින් එම බෝම්බය වළලපු තැනින් අරගෙන ඇවිත් මගේ කලිසං සාක්කුව් දමාගෙන ගිහියා. මම දින කිහිපයක්ම දිගටම බාර් එකෙන් බීලා ලොරියේ නිදා ගත්තා.  


පසුව දින කිහිපයක් ඉන්න විට මගේ අතේ සල්ලි තිබුණෙත් නැති නිසා මොනවා වුණත් කියලා වැලිමඩ ගෙදර යනවා කියා හිතාගෙන හිටියා. නමුත් ලොරිය උකස් තියන්න කවුරුවත් හමුවුණේ නෑ.  පසුව මම පස්යාල හංදියෙන්   ලොරිය නවතාගෙන සිටින විට 2015 සැප්තැම්බර 14 වන දිට පොලිසියෙන් ඇවිත් මා අල්ලා ගත්තා...

  m



අදහස් (0)

උඩුගම්පොල ත‍්‍රිත්ව ඝාතකයා දැරිය මැරුවේ පණපිටින් ළිඳට දාලා

ගෞරියෙල් Thursday, 24 September 2015 07:23 PM

එල්ලුම් ගහ තිබුණා නම් අද මේ ජීවිත තුන බේරෙන්නත් තිබුණා

:       0       0

අමල් පෙරේරා Wednesday, 23 September 2015 12:20 PM

මේ වගේ ගෑණුන්ට හෙණ ගහනවා (බ)

:       0       0

ජගත් බණ්ඩාර Monday, 28 September 2015 06:43 AM

ආලය අන්දයි .මරුවා කැන්දයි (අ)

:       0       0

දිනේෂ් Monday, 28 September 2015 07:08 AM

අපේ රටේ වෙන අපරාද වලින් වැඩි හරියක් වෙන්නේ කලිනිත් ඒ වගේම අපරාද වලට අප ලබා එලියට අපු උදවිය අතින්.(අ)

:       0       0

තිලක් Wednesday, 23 September 2015 12:05 AM

කිසිවෙකු ගැනවත් විශ්වාස කරන්න එපා.සැකයෙන් බලන්න (නි)

:       0       0

රොහාන් Saturday, 26 September 2015 06:23 AM

මිනිමරුවාගේ ක්‍රියා මෙලෙස ලිවිම මම හිටන්නේ සධචාරාත්මක නැහැ මෙය කියවන සමහර් මෝඩ මිනිසුනේ මෙයම කියාවට නංවන්න පුළුවන් ඒවගේම මෙය කියවන්නේ වැඩිහිට්යන් පමණක් නොවේ කුඩා දරුවන් පවා කියවනවා .(අ)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 07:34 AM

වැරදි කාමය නිසා ප්‍රාණ ගාතයක් වුන සැටි (බ)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත Saturday, 26 September 2015 07:23 AM

මේ සමුල ගතනයට වග කියන්න ඕනි මේ කාලකන්නි ගැහැනිය නේද , මිනි මරුවෙක් වෙන්නේ මේ වගේ ගැහැනුන් නිසා නේද , (අ)

:       0       0

සමන් Tuesday, 22 September 2015 12:14 PM

මේ වගේ වැරැදි කරුවන්ට මොකක්ද දෙන්න ඕනි දඩුවම.(හේ)

:       0       0

දිමුත් Monday, 28 September 2015 10:00 AM

බලං ගියාම මේ ගොඩක් අපරාධකාරයන්ට මිනිමරු අතීතයක් තියෙනවා.(හේ)

:       0       0

ධම්ම Saturday, 26 September 2015 10:56 AM

විවාහක දෙදෙනෙක්.අතරට පැමිණි කවරෙක්.නොවී නම් දරුවෙක්.අවුළුවාලයි මහා ගින්නක්. (අ)

:       0       0

ලක්මිණි Friday, 02 October 2015 04:56 AM

පාපොච්චාරණය කරලා තිබෙන නිසා නඩු අවශ්‍ය නැහැ, නිතිය අනුව උපරිම දඩුවම දෙන්න (බ)

:       0       0

රුවන් Sunday, 27 September 2015 07:40 PM

ඇත්තටම මේ මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ.තිරිසන්නු වගේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 23 September 2015 05:28 AM

ගෑනුන්ගේ මෝඩ කම් නිසා අපරාදේ පොඩි දරුවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3390 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site