IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘කැපුවත් කොළ’ කණ්ඩායම් දෙකේ රතු ලේ වෑහුණු ගැටුම

 

 

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් සිටිය යුතු බව කියන අය මෙන්ම ඔහු නායකත්වයෙන් ඉවත් කොට අලූතින් නායකයකු පත් කර වෙනසක් ඇති කළ යුතු බව පවසන පිරිසක් ද පක්ෂයේ සිටිති. ඒ ආකාරයට විවිධ මතවාද සමාජය තුළ ඇති කිරීමට තවත් අය උත්සාහ කරති.

එහෙත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ කිසිවක් ගණන් නොගෙන පක්ෂ නායකයා ලෙස සිය තනතුරේ නොසෙල් වී සිටී. මේ නිසාම රනිල් විරෝධී පිරිස ජන බලයක් පෙන්වීම සඳහා දෙවිනුවර සිට කොළඹ දක්වා පෙළපාළියක් සංවිධානය කළහ.

දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තුෂාර විජේසූරිය. එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද පළාත් සභා මන්ත‍්‍රීවරු වන මෛත‍්‍රි ගුණරත්න හා ශිරාල් ලක්තිලක යන මහත්වරු ඊට නායකත්වය දුන්හ. දින හයකින් අගනුවර බලා යාමට තිබූ පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඉකුත් 05 වැනිදායි.

විශේෂයෙන්ම එම පෙළපාළිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක මංගල සමරවීර මහතාගේ නිවසේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී රනිල් පක්ෂපාති කොටස සහභාගිත්වයෙන් ඊට පෙර සාකච්ඡාවක් ද පවත්වා තිබුණි. එහි ඔත්තු බැලීමට පැමිණි බව කියමින් දකුණු පළාත් සභා මන්ත‍්‍රී ගයාන් සංජීව මහතා තමාට පහරදුන් බව පවසා එම පක්ෂයේ සන්නිවේදන බළකායේ කලාප ලේකම්වරයකු මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටියේය.

ඔහුගේ පැමිණිල්ලට අනුව පළාත් සභා මන්ත‍්‍රී ගයාන් සංජීව මහතා පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට ඇප නියම විය.

රනිල් විරෝධී පෙළපාලිය ආරම්භ කිරීමටත් පෙර එහි උණුසුම කොපමණ ද යන්න ඒ තුළින් මනාව පැහැදිලිවේ. දිනය ඉකුත් 05 වැනිදායි. වේලාව උදෑසන 9.00ට පමණ ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට පත් කරන්නැයි ඉල්ලා 500කට ආසන්න පිරිසක් දෙවිනුවර නගරය වෙත පැමිණි සිටියහ.ඒ සමගම රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වයේ රැඳී සිටිය යුතු බව පවසා ඔහුට ආශීර්වාද කිරීමට මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් යුත් තවත් පිරිසක් මාතර වැල්ලමඩමේ සිට දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලය දක්වා තවත් පෙළපාලියක් ආරම්භ කළහ.

මේ පෙළපාලි දෙකම මුහුණට මුහුණලා මුණගැසුනේ දෙවිනුවර නගරයේ දීය. පළමුව දෙපාර්ශ්වය වචන හුවමාරු කර ගත් අතර අනතුරුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගියේය. රනිල් විරෝධී කණ්ඩායම අතට ක්ෂණයකින් කුරුඳු පොලූ ලැබුණු අතර ඔවුන් ඒවායින් දිගට හරහට පහර දෙන්නට විය.

 

 

මේ නිසාම රනිල්ට පක්ෂපාති මංගල පාර්ශ්වයට එහිදී පසුබෑමට සිදුවිය. කෙසේ වෙතත් එම සිද්ධියෙන් දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත ගුණරත්න හා ඔහුගේ රියදුරා තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එහිදී සිදුවූ බාධා නොතකා රනිල් විරෝධී කණ්ඩායම කොළඹ බලා ඒමට පෙළපාලිය ඇරඹීය. ටික වේලාවක දී පසුබෑමට ලක්වූ මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් වැල්ලමඩමට පැමිණීම සඳහා පෞද්ගලික බස් රථ වලට නගින්නට විය.

පෙළපාලිය මාතර නගරය වෙත එන අතරවාරයේදී ඔවුන් රනිල් විරෝධි කණ්ඩායමට හූ තැබුවේය. එහිදී පෙළපාලිකරුවන් බසයක් නවතා වැල්ලමඩමේදී එහි වීදුරු කුඩු කොට අලාභ හානි කළේය. මේ අතර බස් රථ වලින් ගිය පිරිස තමන්ට මාතර නගරයේ දී පහරදීමට සිටින බවටද ඔවුන්ට තොරතුරු ලැබුණි.

එම නිසා මැද්දවත්ත ආසන්නයේදී ලොරි රථයකින් ගෙන්වන ලද කුරුඳු පොලූ තොගයක් පෙළපාලිකරුවන් අතට බෙදා දෙන ලදී. දැන් සෑම කෙනකු අතම ආරක්ෂාවට පොලූ මුගුරකි.

මේ අතර දෙවිනුවර දී සිදුවූ ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා මංගල සමරවීර මහතාගේ කණ්ඩායම මාතර මහ නගර සභාව ආසන්නයේ රැඳී සිටියේය. ඔවුන්ගේ අත්වලද කුරුඳු පොලූ දැක ගත හැකිවිය.

මේ තත්ත්වය සැලවීමත් සමග මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් කැරළි මර්දන අංශයක් ද සීරුවෙන් තැබීමට පියවර ගත්තේය. ඒ වනවිට මාතර මහ රෝහල ඉදිරිපිට සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා උත්සවයක් ද පැවැත්විණි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න
 
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන්
 
මාතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක
හේමාල් ප‍්‍රශාන්ත

කෙසේ වෙතත් රනිල් විරෝධී පෙළපාලිය මාතර මහ නගර සභාව ඉදිරිපිටට පැමිණෙනවාත් සමගම ඊට විරුද්ධ මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් අතර දරුණු ගැටුමක් ඇති විය. මිරිස් කුඩු, ගඩොල් කැට හා පොලූ මුගුරු දෙපැත්තට විසි විය. රතිඤ්ඤා හඬ මධ්‍යයේ වෙඩි හඬද අසෙන්නට පටන් ගත්තේය. කිහිප දෙනකු බිම ඇද වැටී සිටියේය. ගැටුමෙන් තුවාල ලැබූ අය ක්ෂණයකින් ඒ අසල පිහිටි මාතර මහ රෝහල වෙත රැගෙන ගියේය.

වෙඩි තබන ලද බව කියන සැකකරු මාතර මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරුන් වන කේ.වයි. රුවන්, රාජ් චන්ද්‍රලාල් හා චමින්ද සිල්වා යන මහත්වරු විසින් අල්ලා මාතර පොලිසිය වෙත භාර දුන්නේය. ඒ නගර සභා සේවකයකුටද ඔහු වෙඩි තබා තිබූ නිසාය.

එම සැකකරු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න බව හෙළිවී තිබුණේ පසුවය. කෙසේ නමුදු වෙඩි වැදීමෙන් මංගල සමරවීර මහතාගේ පාර්ශ්වය නියෝජනය කළ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර, දකුණු පළාත් සභා මන්ත‍්‍රී ගයාන් සංජීව මහතාගේ සහෝදරයෙකු වූ ජානක සංජීව යුද හමුදා සෙබළකු හා මාතර මහ නගර සභාවේ රාජකාරි කරමින් සිටි සෞඛ්‍ය පරිපාලකවරයකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලැබූහ.

වෙඩිතැබීමට සැකකළ හර්මන් ගුණරත්නටද මෙම ගැටුමේදී තුවාල සිදුවී තිබූ අතර පොලිසිය ඔහු තංගල්ල රජයේ රෝහල වෙත ඇතළත් කරන ලදී. මාතර මහ නගර සභාව ඉදිරිපිට මිනිත්තු විස්සක පමණ කාලයක් පැවති මේ ගැටුමේදී ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට ද අලාභහානි සිදු විය.

එමෙන්ම දෛනික වැඩ කටයුතු සඳහා මාතර නගරය වෙත පැමිණ සිටි ජනතාවද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. ඒ මාතර නගරය කාලයකට පසු යුද්ධ පිටියක් බවට පත්ව තිබූ නිසාය. කැපුවත් කොළ කියා කෑ ගැසූ අයගේ සිරුරෙන් රතු පැහැති රුධිරය ගලා ආවේය. මෙම ගැටුමෙන් තුවාල ලැබූ මුළු සංඛ්‍යාව දස දෙනෙකි.

මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ නිසාම පොලිසිය කල් ඇතිව සම්පූර්ණ පෙළපාලි දෙකම වීඩියෝ ගත කර තිබුණි. මේ නිසා ගැටුමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම පහසු විය.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ පාර්ශ්වය නියෝජනය කළ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ගයාන් සංජීව, මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත‍්‍රීවරුන් වන නලින් අබේගුණවර්ධන, නුස්කි ඉක්බාල්. මාතර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමසිරි කොඩිතුවක්කු, ජාතික යොවුන් පෙරමුණේ මාතර ආසනයේ සභාපති ගාමිණී සංජීව, පළාත් මන්ත‍්‍රී ගයාන් සංජීව මහතාගේ සහෝදරයා වන ජානක සංජීව, ඔහුගේ ලේකම් රසික අනුර, මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් සමීර මනහර යන මහත්ම මහත්මීන් ඇතුළු සැකකරුවන් 31 දෙනකු පොලිසිය සැක පිට අත්අඩංගුවට ගෙන මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට 14 දින දක්වා රිමාන්ඞ්භාරයට පත් කොට තිබේ.

ඔවුන් සියලූ දෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහාද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වය වූ පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පියා හර්මන් ගුණරත්න හා පෞද්ගලික ලේකම් කේ.එන්. දර්ශන ඇතුළු සිව් දෙනෙකුද පොලිසිය සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් තිදෙනකු ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයට පත්කොට තිබෙන අතර බලපත‍්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතකළ අයකු ඇප මත මුදා හැර තිබේ.

කෙසේ වෙතත් මෙම ගැටුමට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන තිස් පස්දෙනෙකි. පොලිස් වීඩියෝ දර්ශන වලට අනුව තවත් සිය දෙනකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුමට මාතර මහ නගර සභාවේ සහාය ලැබුණු බවටද විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවේ. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කර දිම සඳහා එම නගර සභාවේ ආණ්ඩුපක්ෂයේ මන්ත‍්‍රීවරු පසුගියදා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක්ද පවත්වන ලදී. එහිදී මාතර පුරපති සොසින්ද්‍ර හදුන්ගේ මහතා මෙසේ කීය.

මාතර නගරයේ සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් පැවැත්වූ උත්සවයක් සීමා කරන්නත් මේ ගැටුම නිසා සිදුවුනා. මේක මාතර අභිමානයට විශාල කැළලක් වූ සිද්ධියක්. අපේ සේවකයෙකුටත් වෙඩි වැදී තිබීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු ඔහු රෝහල්ගත කිරීමටත් වෙඩි තැබූ සැකකරු අල්ලා පොලිසියට භාර දීමටත් ක‍්‍රියා කර තිබෙනවා. ඔවුන්ගේ ඒ ඉදිරිපත් වීම අපි අගය කරනවා. අලි මරාගත් මේ ගැටුමට අපේ කිසිම සහායක් නැහැ. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එල්ල කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය රජයේ රෝහලේ ප‍්‍රතිකාර ලබන දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාගේ සුවදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාද පැමිණියේය. ඊට අමතරව මංගල සමරවීර මහතාගේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසගේ සුවදුක් බැලීමට එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මාතර බන්ධනාගාරය වෙත පැමිණ ඇත.

එම ගමනේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාද හමුවී මෙම ගැටුමට අදාළ පරීක්ෂණ සාධාරණව හා අපක්ෂපාතීව කරන ලෙස දැනුම් දුන්නේය.

දේශපාලන වශයෙන් තම පාර්ශ්වයේ ආධාරකරුවන් දඩයම් නොකරන ලෙසද ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයේම සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් ඉල්ලා කොළඹ බලා යාමට පැමිණි රනිල් විරෝධී කණ්ඩායමට අවසානයේදී මාතර, කඹුරුගමුව වැව අසලින් නතර වීමට සිදුවිය.

පොලිසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් රැගෙන එනවිටත් පෙළපාළිකරුවන් විසිර ගොස් තිබුණි. අධිකරණ නියෝගයක් ලබාගැනීමට සූදානම් වන බවට කලින්ම ලැබුණු ආරංචියක් නිසාය.

පෙළපාළිය නතර කිරීමත් සමග එය කඩාකප්පල් කිරීමට වුවමනා වූ අයගේ බලාපොරොත්තු මල්ඵල ගැන්විණි. තවත් පිරිසකගේ බලාපොරොත්තු බිඳ වැටුණි. කිහිප දෙනෙකු සදාකාලික ආබාධිතයන් බවට පත්වූහ. තවත් පිරිසකට සිරබත් කෑමට සිදුවූහ. ඒ අන් කිසිවක් නිසා නොව එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමට අරගල කිරීමට ගොස්ය. එකම පක්ෂයේ මේ මහා යුද්ධය දැක එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂකයින්ට සිනාසෙන අය මෙන්ම උසුළු විසුළු කරන අයද සිටිති.

කෙසේ නමුදු මේ පිළිිබඳව පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ සිට විශේෂ පොලිස් කණ්ඩායමක් මාතරට එවා තිබේ.

ඊට අමතරව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති මැකාති පෙරේරා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, පොලිස් අධිකාරි විමලසේන වීරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප‍්‍රශාන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් ගැටුමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ මෙහෙයවති.

 

 


 

 

මා ජනපතිගේ උපදේශකයෙක් කියන කතාව බොරුවක්

හර්මන් ගුණරත්න ඉරිදා ලංකාදීපයට කතාකරයි

 

හර්මන් ගුණරත්න

එජාපයේ මාතර ගැටුම ඉතිහාසගත වන්නකි. පක්‍ෂයක් අතර විවිධ මත ගැටුම් තිබෙන්නට පුළුවන. නමුත් එකම පක්‍ෂයක් මත දෙකකට බෙදී පොලූ, මුගුරු, බෝතල් වලින් ගසා ගනු දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. පසුගිය සතියේ එවැන්නක් වූ නිසා මෙය ඉතිහාසගත වෙයි. ගැටුමේ බරපතළකම ගණන් ගත යුතු තැනට වැටුණේ වෙඩි තැබීම් ද සිදුවූ නිසාය. එදා එසේ වෙඩි තැබූ චරිතයක් ලෙස හර්මන් ගුණරත්නගේ ද නම කියැවිණි. කෙසේ වෙතත් වෙඩි තැබීම් වැනි දෙයක් උද්ඝෝෂණයක පෙළපාලියක සිදුවීම කනගාටුදායකය.

හර්මන් ගුණරත්න මහතා පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන්පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කවුද මේ හර්මන්...! අපි ඉකුත් දා පැවැති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය මැද හර්මන් ගුණරත්න හමුවූයේ ඒ ගැන කතා කරන්නටය.

1977 දී එජාපය බලයට ගේන්න ඔබත් උදවු කරපු කෙනෙක් නේද?
ශ්‍රීලනිපය යන මග හරි නැති බව මට තේරුණා. ඒ නිසා මම එජාපයට උදව් කළා. මම අවුරුදු 20ක් කොත්මලේ වතු අධිකාරීවරයෙක් ලෙස හිිටියා. ඉතින් නුවරඑළිය දිස්ති‍්‍රක්කය සංවිධානය කිරීමේදී මම එජාපයට උදවු කළා. මා ගාමිණී දිසානායක මහත්තයත් සමගත් එතනදි සම්බන්ධ වුණා. රජය පිහිටුවීමෙන් පසු 1977-1979 කාලයේ මම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නුවරඑළිය ශාඛාවේ සභාපති හැටියට පත් කළා.

 


  ඊට පස්සේ මහවැලියෙ ලොකු තනතුරක් ලැබුණා නේද?
1982 දී ගාමිණී දිසානායක මහත්තයා මාව මහවැලියෙ සාමාන්‍යධිකාරී තනතුරට පත් කළා.

 


ඔබ මේ තනතුරේ ඉදිද්දි නේද දිඹුලාගල නායක හාමුදුරුවො ඇවිත් ඔබට දොස් කිවුවෙ?
ඔව්.... මේක ලස්සන කතාවක්. මම ද්‍රවිඩ ජනතාවට විරුද්ධ කෙනෙක් නෙමෙයි. දවසක් දිඹුලාගල නායක හාමුදුරුවෝ (අපවත් වූ) මාව හම්බුවෙන්න මහවැලියට වැඩම කළා. උන්වහන්සේ කිව්ව ‘‘මහත්තයො...  ඕගොල්ලො මෙහෙ සීත කාමරවල ඉන්නවා. ඒ පැත්තෙ අනවසරයෙන් දෙමළ ජනතාව පදිංචි වෙනවා කියලා’’

මම හොයලා බැලූවා කතාව ඇත්ත. මඩකළපුව, පොළොන්නරුව දිස්ති‍්‍රක්කවල දෙමළ දේශපාලනඥයන්ගේ අනුමැතිය ඇතිව දෙමළ පවුල් අනවසරයෙන් පදිංචි කරවනවා. මම දිඹුලාගල හාමුදුරුවන්ට එකපාරටම කිව්වා, දෙමළ අය අනවසරයෙන් පදිංචි වෙනවා නම් ඔබ වහන්සේත් ඒ දේ කරන්න කියලා. උන්වහන්සේ මේ කතාවට අනුව දවස පත්තරේ දැන්වීමක් දාලා ඉඩම් නැති අයට ඉඩම් දෙනවා කියලා මේ විදිහට තමයි ඔය පැත්තෙ සිංහල පවුල් පදිංචි කෙරුණෙ.

 


ඔබ නැගෙනහිර සිංහල පවුල් පදිංචි කරවන්න ගිහින් අන්තිමේ හිරෙත් ගියා...?
ඒකනෙ... අපි සිංහල පවුල් පදිංචි කළා තමයි. නමුත් ජන අනුපාතයට මුස්ලිම්, ද්‍රවිඩ පවුලූත් පදිංචි කළා. මේ අතරෙ නාවුක හමුදා, පොලිස් නිලධාරීන් සිිටින පවුලූත් පදිංචි කළා. ඊළාම් කියන එක මහ පොළොවෙන් අතුගෑවෙන්න මේවයි කෙරෙන්න  ඕනෑ. අපි කළේ මේක. මාදුරුඔය සිංහල පවුල් පදිංචි කළා. මේ පිළිබඳව රටේ විවිධ කතා පැතිරුණා. මේ වෙද්දි එල්ටීටීඊ ප‍්‍රශ්නය පටන් අරන්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අප කරන දේ සොයා බලන්න එව්වේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. එතුමා ඇවිත් ජේ.ආර්ට කතාව කිව්වා. කතාව මොකක්ද ‘සිංහල මිනිස්සු පදිංචි කරවනවා’, ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ‘ආමි’ එකට කිව්වා වහාම සිංහල පවුල් මෙහෙන් අස් කරන්න කියලා. එදා හමුදාපති හිටියෙ සේපාල ආටිගල. හමුදාව ඒක කළේ නෑ.
ඊළඟට පොලිසියට කිව්වා, පොලිසිය කළේත් නෑ.

 


ඇයි නොකළේ?
ඒ ජේ.ආර්. එක්ක තරහට නෙවෙයි. ඒ අයත් දන්නවා. කාලෝචිතව විය යුතු දේ මේකයි කියල. අන්තිමේ ජේ.ආර්. කඩුවෙල මන්ත‍්‍රී පෝල් පෙරේරා එව්වා. එයා ඇවිත් මාදුරුඔය ජනපද කඩලා විනාශකරලා සිංහල මිනිස්සු එළවලා දැම්මා. ඔක්කොම නොවෙයි ටිකක්. ඊට පස්සේ අපි සිංහල පවුල් යාං ඔය, වැලිඔය පැත්තෙ පදිංචි කළා. එදා මේවා නොවුණානම් තොප්පිගල, පැත්තට මොන කොටිද? මා, කරුණාතිලක, ඞී.එච්. හේමපි‍්‍රය, එන්.පී.පී. පණ්ඩිතරත්න වගේ පිරිසක් තමයි මේ පදිංචි කිරීම් කළේ. සිංහල පවුල් 40,000ක් අපි පදිංචි කළා. මේ ප‍්‍රශ්නයට ඉන්දියාවත් පැටලූණා. මෙතනදී අපෙන් වෙච්ච දේට තමයි මාව පොලිස් අත්අඩංගුවට අරන් හිරේ දැම්මේ. හැට දෙනෙක් අත්අඩංගුවට ගත්තා.

 


එතකොට හිරෙන් එළියට ආවේ...?
සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහත්මයා ජේ.ආර්ට කියලා නිදහස් කළේ.

 


ඔය ගැටලූව ඇති වුණේ මුලදී ජේ.ආර්. දැනුම්වත් නොවුණ නිසා නේද?
ඔව්, මම හිතුවේ මුලින්ම ගාමිණී දිසානායක මහත්මා මේක ජනාධිපතිතුමාට කිව්වා කියලයි.

 


නැගෙනහිර සිංහල පවුල් පදිංචි කරවීම ගැන ජේ.ආර්. නොදන්නා බව දැන ගත්තෙ කොහොමද?
ජේ.ආර්.ගෙ පුතා රවී ජයවර්ධන මගේ හිතවතා. හිරෙන් ආවම මම රවීට කිව්වා මේක කළේ අවස්ථාව අනුව රටේ ඒකීයභාවය ආරක්‍ෂා කර ගන්නයි කියලා. එහෙම නැතිව තාත්තට විරුද්ධ වෙන්නවත්, එජාපයට විරුද්ධ වෙන්නවත් නෙවෙයි කියලා. එතුමා මාව ජේ.ආර්. හම්බ වෙන්න එක්ක ගියා. මා එතුමාට සම්පූර්ණ විස්තරේ කිවුවා.

එදා ජනාධිපතිතුමා කිව්වෙ ‘ඉතින්  ඕක මට කලින්ම කියන්න තිබුණනෙ. එහෙනම් මම ක‍්‍රමය කියනවනෙ’ කියලා. මම ඇහුවා ගාමිණී දිසානායක මහත්තයා මේක කිව්වෙ නැද්ද කියලා. ජේ.ආර්. කිවුවා ‘නෑ’ කියලා. මම පස්සෙ ගාමිණී දිසානායක මහත්තයාගෙන් මේ ගැන ඇහුවා. ‘එතුමා ‘කිව්වලූ’ මම ඇහුවා කොහොමද කීවේ කියලා. බැලින්නම් හෙලිකොප්ටරේ ගමනක් යද්දි. ඒක නියම විදිහට ජනාධිපතිතුමාට කියලා නෑ. කොහොම හරි පසුව මට මහවැලියෙ රැකියාවක් ලැබුණා.

 


මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්ක ලොකු සම්බන්ධතාවක් තාම තියෙනවා නේද?
ඔව්... ඒක බොහොම පරණ සම්බන්ධතාවක්. අදටත් තියෙනවා.  මහින්ද රාජපක්‍ෂ මහත්තයා කාල්ටන් ගෙදර ඉන්න දවස්වල පොලිසියෙ එස්.පී. සුමනදාස වේලූ කියලා කෙනෙක් එයාට වෙඩි තිබ්බා. වෙඩි වැදුණෙ කාල්ටන් එකේ තාප්පෙට. ඒ කාලෙ මහින්ද රාජපක්‍ෂ මහත්තයාත් නිතර කාල්ටන් එනවා, යනවා. වේලූ කරපු දේ නවත්වන්න  ඕනෑ. මොකද එතුමාටත් තර්ජන තිබුණා. මම මහින්ද රාජපක්‍ෂ මහත්තයාව රවී ජයවර්ධන හම්බවෙන්න එක්ක ගියා. ඒ කාලෙ ජනාධිපතිගෙ පුතානෙ. එයා එස්.පී. වේලූ ගෙන්වලා ආයෙත් මේක කරන්න එපා කිව්වා. එතනින් ප‍්‍රශ්නෙ ඉවරයි.

 


  ඔබ දැන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපති උපදේශකවරයෙක්ද?
නෑ... නෑ... ඒ කතාව බොරු. එතුමා තනතුරු දෙන්න හැදුවත් ගත්තෙ නැති මිනිහෙක් මම. සේවකයෙක් වෙනවට වඩා යාළුකම වටිනවා.

 


ඔබ චන්ද්‍රිකාටත් සහයෝගය දුන්නද?
නෑ.... මම එතුමියට කිසිම සහයෝගයක් දුන්නේ නෑ. එයා මග් හොඳ යාළුවෙක්.

 


ඔබ පක්‍ෂ ගණනාවකට උදව් කළ කෙනෙක්නෙ.
රට ගැන හිතන අයට මම උදව් කරනවා. මම ශ්‍රීලනිපයට අවස්ථා රාශියකදි ඡුන්දය දුන්නා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඡුන්දය දුන්නා. පක්‍ෂය වැදගත් නෑ. රට ගැන හිතීමයි වැදගත් වෙන්නෙ.

 


රනිල් වික‍්‍රමසිංහ පන්නා දමන්න පෙළපාලියෙ ඔබත් ආවා. ඇයි රනිල් එක්ක අමනාපද?
මම රනිල් එක්ක අමනාප නෑ. එතුමා මට උදව් කරලා තියෙනවා. මාව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ළඟට ගෙනිච්චෙ රවී ජයවර්ධන. ඒකට රනිලූත් උදව් කළා. හැබැයි රනිල් ඒක කළේ මගේ හොඳට වඩා ගාමිණීට පාරක් ගහන්න. මගේ පුතා  වෙනුවෙන් මම පෙළපාලියෙ ආවා. ඒකටනෙ මේ සත්තු වගේ කඩා පැනලා ගැහුවෙ.

 

 


 

හර්මන් ගුණරත්න ආණ්ඩුවේ මිනිහෙක්

 එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක :

හර්මන් ගුණරත්න කියන්නෙ ආණ්ඩුවෙ මිනිහෙක්නෙ. එයා ගැන කතා මගෙන් අහන්න එපා. එයා තමයි ඔය මාතර සිදුවීම ලීඞ් කළේ. ඔහු අපරාධකාරයෙක්. පිස්තෝලයක් ඉනේ තියාගෙන ඇවිත් මිනිස්සුන්ට වෙඩි තියලා ”කවුබෝයි” චරිතයක්නෙ රඟ පෑවේ.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එළවන්න පෙළපාලියක් එනවා කියන්නෙ වෙනම කතාවක්. මොකක්ද එයා කළේ.  ඕවගෙ අයට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එළවන්න පුළුවන්ද? මා ළඟ තියෙනවා, හර්මන්... අසවලා එක්ක ඉඳල ගත්තු පින්තූරත්.


(රජයේ ඉතාම ප‍්‍රබලයකුගේ නමක් කියයි)

 



අදහස් (0)

‘කැපුවත් කොළ’ කණ්ඩායම් දෙකේ රතු ලේ වෑහුණු ගැටුම

දයාරත්න Monday, 14 October 2013 05:24 AM

රනිල් මහතාට ජනතාව කැමති නැහැ වගෙයි. (නි)

:       0       0

සමන්ති Sunday, 13 October 2013 07:16 PM

සජිත් මහත්තය සද්දයක්වත් නැත. එයාගේ ඉදිරි ගමනට මේ වගේ වැඩ කරනවට ඔහු කැමති නැහැ නේද ? (නදී)

:       0       0

දයාරත්න Monday, 14 October 2013 08:46 PM

තමන් තම පක්ෂය තමන්ගේ පරන්පරාවගැන නොසිතා අවන්කවම රට ජනතාව ගැන හිතන නායකයෙක් කවදා බිහි වේවිද ?පක්ෂය ලාංජනය සහ පාටගැන නොසිතා කතාවට නොරැවටී අපි බුද්ධිමත්ව පවුද්ගලිකව සිත බලමු (අ)

:       0       0

කීර්ති දිසානායක Tuesday, 15 October 2013 09:57 AM

පිටතින් ගිනි ඇතුලට නොගනු. ඇතුලින් ගිනි පිටතට නොදෙනු. අනේ අපේ රටේ සම්බාවනීය පක්ෂයකට ගිය කල. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5259 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 737 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1306 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site