කැලෑ කොළ, කැලෑ ගෙඩියි කී දේවල් කුස්සියට ගෙනාවේ ඔහුය. ඒවා රසට උයා අපට පමණක් නොව ඔහු සුද්දන්ටද කැවුයේය. ‘පුදුමයි මෙහෙමත් රසක්’ යැයි කිව්වා හැර කවුරුවත් වැරදි කියන්නට ගියේ නැත. මෙහි පුදුමය නම් අපි ඉවූ ක‍්‍රම අලූත් ආරකට ගෙන යාමත් කවදාවත් කුස්සියට නොආ දේ කුස්සියට ගෙන්වා ගැනිමත්ය. මේ ලියන්නේ ‘කුස්සියේ විප්ලවය’ කළ මහා පුරුෂයා ගැනය. පැල්පතෙන් විත් රජවරුන්ටත් ඉවූ මහා පුරුෂයා ගැනය. තව අතකින් ගෘහනියට එහා ගිය පිරිමියෙක් ගැනය. වළලූ දැමූ අත්වල ඉවුම් පැරදවූ ඔහු ආචාර්ය පබිලිස් සිල්වාය.
ගල්කිස්ස මහ හෝටලයේ පබ්ලිස් නම් සොඳුරු මිනිසා අද ජීවන ගමනින් ඔබේ නිවසට එයි.
‘ආයුබෝවන්’ යනුවෙන් දෑත් එක්කොට ආචාර කරමින් සුහදශීලිව ඔහු අප පිළිගත්තේය. අපිත් එලෙසම ඔහුට ප‍්‍රතිචාර දැක්වීමු. අපි සාකච්ඡාව පටන් ගනිමු නේද? ‘හරි’ මම ලෑස්තියි, ප‍්‍රශ්න අහන්න.
පබ්ලිස් සිල්වා මහත්තයගේ ළමා කාලය ගෙවුණෙ කොහොමද?
මගේ ගම රත්ගම, ගම්මැද්දෙගොඩ. මම ඉපදුනේ 1936 අපේ‍්‍රල් මාසෙ 24 වැනිදා. මගේ තාත්තා අප්පු සිංඥො, අම්මා කුමාරසිංහ පොඩිහාමි. තාත්තා රැකියාවක් කළේ නෑ. සමාජ වැඩ තමයි කළේ. අම්මා ජීවත් වෙන්න වෙළඳාමක් කළා.
මම ඉස්කෝලේ ගියේ හතරෙ පන්තියට විතරයි. ඒත් පාසල් කීපයකට ගියා. ඉස්සර අපේ ගම්වල දැන් වගේ ගෙවල් දොරවල් තිබුණෙ නෑ. අපි එදා වේල කන්න නැතුව හිටපු පවුලක්. මාත් අම්මා එක්ක මාර්කට් එකට ගිහින් එළවළු විකුණලා ජීවිතේ ගෙව්වෙ. මට මතකයි කන්න දෙයක් නැතිකමට කුණු වට්ටක්කා කාල ජීවත් වුණ දවස් තිබුණා. තාත්තාටත් අධ්‍යාපනයක් නෑ. අම්මටත් අධ්‍යාපනයක් නෑ. පුතාටත් අධ්‍යාපනයක් නෑ. ඉතින් මෙහෙම නැති බැරි කාලයක් තමයි ගෙවුණෙ. නැති කමට මම ගෙවල්වල බැල මෙහෙවර කම් කළා. හාමුදුරුවරු එක්ක පිණ්ඩපාතෙ ගියා. දැල් වටකළා. නොකරපු දෙයක් නෑ ජීවත් වෙන්න.
ඔබ තරුණයෙක් වුණහම ස්ථිර රැකියාවක් කරන්න ඕනෑ කියන හැඟීම ඔබට ආවෙ කොහොමද?
මම උස් මහත් වුණහමවත් ජීවත්වෙන්න රස්සාවක් කරන්න ඕනෑ. සල්ලි හම්බ කරන්න ඕනෑ. කියල හැඟීමක් ආවෙ නෑ. නිකං කැලේ සතෙක් වගේ තමයි හැදුණෙ. බරක් පතලකුත් නෑ. ඉස්සර කතරගම යන අය අපට තෑගි වලට පොඩි වළං සෙට් ගෙනැත් දෙනවා. අපි ළමයි එක්ක එකතු වෙලා ඉවුවා.
සෙල්ලමට මොනවා හරි තම්බගෙන කෑවා. අම්මා උයද්දි රොටියක් මාත් හදනවා. එහෙම කරපු මම මේ වගේ රස්සාවක් කරයි කියල හැඟීමක් නම් තිබුණෙ නෑ. උස් මහත් වුණාම රස්සාවකුත් නැතුව කසාදෙකුත් බැඳ ගත්තා. එතකොට මගෙ වයස අවුරුදු 20යි. විවාහ වෙලා ළමයෙකුත් හම්බ වෙන්න ඉන්නකොට තමයි රස්සාවක් ඕනෑ. හම්බකරන්න ඕනෑ කියල හැඟීමක් ආවෙ.
ඒ තරම් දුෂ්කර පුංචි පවුලක උයන්නවත් දන්නෙ නැති ඔබට කොහොමද ගල්කිස්ස මහා හෝටලේ දොර ඇරුණෙ.....?
මට ගල්කිස්ස මහ හෝටලේට එන්න ලැබුණෙ මම විවාහ වුණු නෝනගෙ අයියා මෙහෙ වැඩකළා. එයාගෙ ඥාතියකුත් වැඩ කළා. ඒ උඩ තමයි 1956 ළිපට අඟුරු අදින්න කම්කරුවෙක් විදිහට මෙහෙට සම්බන්ධ වුණේ.
ළිපට අඟුරු අදින්න ආපු ඔබ දැන් අධ්‍යක්‍ෂක කෙනෙක්. කොහොමද ගෙවීගිය කළ දවස......?
මම ජීවිතේ පුදුම දුක් විඳපු කෙනෙක්. මෙහෙ ළිපට අඟුරු අදින්න ඇවිල්ලත් පුදුම විදිහට දුක් වින්දා. දුක් විඳීමෙන් මා ලබපු දේ තමයි මොකක් හරි ඉගෙන ගන්න අවශ්‍යයි කියන පරමාර්ථය. ඒ චේතනාව වැඩි දියුණු කළේ සුදු අරලිය දල්ලක්. එවකට ගල්කිස්ස හෝටලේ හිටපු ජෝන් මාමා කියන සූපය කරන මහත්මයෙක් අරලිය දළු වෑංජනයක් හැදුවා. ඒක දැකල මට පුදුම හිතුණා. ‘එයා කිව්වා මේක බේතක්. අර්ශස් අමාරුවට හොඳයි’ කියලා. මාත් කෑවා. හරිම රසයි. මේකෙන් තමයි මගේ ජීවිතේ වෙනස්වීම ආරම්භ වෙන්නෙ. එදා ඉඳන් මේ රටේ හැම තැනම ඇවිද්දා, ආහාරමය සම්පත් හා විධි හොයාගෙන එහි ප‍්‍රතිඵලයක් විදිහට අද වෙද්දි මේ රටෙන් ආහාරයට ගන්න පුළුවන් එළවළු විතරක් 365කට වඩා සොයා ගන්න ලැබුණා. කැරට්, බීට්රූට්, නෝකෝල්, මාළුමිරිස් නැතුව පළතුරු විතරක් 76ක් සොයා ගන්න ලැබුණා. ඇපල්, මුද්දරස්පලම් නැතිව අපටම ආවේනික දේවල්.
අපේ රටේ සිංහල කෑම මෑත යුගයේ ජාත්‍යන්තරයට ගෙනිච්චෙ ඔබයි. ජාත්‍යන්තරය තුළදි අපේ කෑම කොහොමද? ඉල්ලූමක් තියෙනවද? නැත්තම් ප‍්‍රතික්ෂේප වෙනවද?
පිටරටදි පුදුම ඉල්ලූමක්නෙ අපේ කෑම වලට තියෙන්නෙ. පුදුමාකාර ඉල්ලූමක්. හැම කෑමක්ම සෞඛ්‍යයට හිතකර, වස විස නොදා හදන ලෝකයේ එකම රට මේ ශ්‍රී ලංකාවේ ආහාර. අපි කෘත‍්‍රිම රස කාරක කෘත‍්‍රිම වර්ණක, සත්ව තෙල්, වගේ දේවල් දාලා කෑම හදන්නෙ නෑ. නමුත් කණගාටුයි. දැන් අපේ හැම ගෙදරකම ඒවා දානවා. අපේ කෑම හදන්න මේවා ඕනෑ නෑ. මම කියන්නෙම මේකයි. මේ දෙයින් අපේ ගෘහනියො ගැලවෙන්න ඕනෑ.
එදා මෙදා ඔබේ අමතක නොවන කෑම හැදිල්ල මොකක්ද?
එකක් දෙකක් තුනක් කියල නෑ. මේ ළඟදි මහත්තයෙක් කිවුවා ‘බී.බී.සී එකේ එංගලන්තෙ ඔබේ ඩෙවල් ෆ්‍රෝන් එකක් යනවා. පුදුම රසක්. මේක සෑහෙන කාලයක් තිස්සෙ හදන හැටි කියනවා’ කියලා එංගලන්තෙ හොඳම සූපවේදියෙක් තමයි මේක අරන් ගියේ. එයා කියලා තියෙනවා ‘‘මම ආසියාවෙම ගියා. ආසියාවේ හොඳම කෑම තියෙන්නෙ ලංකාවෙ ගල්කිස්ස මහ හෝටලේ. ඒ පබ්ලිස්ගෙ කෑම’ එයා කියලා විතරක් නෙමෙයි ලියලත් තියෙනවා.
|
පබ්ලිස් සිල්වා ලැබූ සම්මාන |
අපි දැකල තියෙනවා මිනිස්සු දන්න දේවලූත් ඔබ රූපවාහිනියේදී හදන හැටි උගන්වනවා. ඒකට හේතුවක් තියෙනවද?
මෙහෙම හිතන්න. මම කැඳක් හදන්න උගන්වනවා. මේක රූපවාහිනියෙත් යනවා. දකින අය හිතන්නෙ පිස්සුද කියලා. ඇයි, කවුද කැඳ හදන්න නොදන්නෙ. ඒකනෙ කාරණාව. නමුත් මම කරන්නෙ ඊට වෙනස් දෙයක්. මම ඒ දේ කරන්නේ ප‍්‍රමිතියක් උඩ. හොඳට මතක තියා ගන්න. හැමෝටම කෑම හදන්න පුළුවන්. ඒත් හැමෝටම ඒක ආහාරයක් බවට පරිවර්තනය කර ගන්න බෑ. අද කෑම පිසින බොහෝ දෙනකුගෙ ඔළුවල තියෙන්නෙ කෑම පිසින විට එක එක කල්පනා. තමන් අහාරයක් හදනවා කියන සිහි කල්පනාව නෑ. කරුණාව, මෛත‍්‍රිය නෑ. ඉතින් කන මිනිස්සු ලෙඩ වෙනවා. අද වැඩිදෙනා හදන්නෙ ආහාර නෙවෙයි කෑම. තමන් අදහන ආගම මෙනෙහි කරගෙන ශුද්ධ හිතකින් ආහාර පිසින්න. සමහර අය උයද්දි එයාලම ඔළුවට අත ගහගන්නවා මම මේකට ලූණු දැම්මද නැද්ද කියලා. එයාල මේ ලෝකෙ ඉඳල නෙමෙයි උයල තියෙන්න. ඊළඟට උයන්නෙ බෝංචිද, කැරට්ද, වට්ටක්කාද ඒවාට ආවේණික රස, වර්ණය තියා ගන්න ඕනෑ. එහෙම නොවුණොත් ඒකත් කෑමක් මිස ආහාරයක් නෙවෙයි. ඉතින් මේක නොදන්න අයට තමයි ආයෙ ආයෙත් ඒ දේ කියල දෙන්න වෙලා තියෙන්නෙ.
සාමාන්‍යයෙන් ආහාරයක් හදද්දි වරදින්න පුළුවන්නෙ. ලූණු මිරිස් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔබ අතින් එහෙම වැරදීම් වෙලා නැද්ද?
අනන්ත වැරදිලා තියෙනවා. හැබැයි වැරදීමෙන් අපි හැදෙන්න ඕනෑ. නැවත නැවත ඒ වරද වෙන්න බෑ.
අද මිනිස්සු වැඩි දෙනෙක් ආහාර නිසා ලෙඩ වෙනවා. ඔබේ අත්දැකීමෙන් මේකට විසඳුම මොකක්ද?
කෘත‍්‍රිම රසකාරක බොහොමයක් අපේ ගෙවල්වල භාවිත කරනවා, කුඩු, දියර, කැට, පවුඩර් විදිහට මේවා එනවා. භයානක (බෝනොවන ලෙඩ) ගොඩක් මේවායින් හැදෙනවා. කෘත‍්‍රිම නොවන රස කාරක (රම්පෙ, කරපිංචා, උළුහාල්, කුරුඳුපොතු) වගේ දේවල් අපි ආහාර හදද්දි දාන්න පුරුදු වෙන්න ඕනෙ. (අපේ රසකාරක 42ක් තියෙනවා. කෘත‍්‍රිම නොවන) පාන් පිටි ගිලින්න එපා. ඒකත් ලෙඩවලට මුලක්. ඉස්සර මිනිස්සු තුන් වේලටම බත් කෑවා. කාල හොඳට වැඩ කළා. ඒත් දැන් එක තැනට වෙලා ඉන්න රස්සා කරන්නෙ. ඒ නිසා බත් අඩුවෙන් කාලා එළවළු වැඩියෙන් කන්න කියන යෝජනාව මා කරනවා. අද අපේ ප‍්‍රධානම ආහාරය වෙන්න ඕනෙ එළවළු අපේ රටේ ඕනෑ තරම් තියෙනවනෙ.
ඔබ පිසූ ආහාර අගය කළ ඉහළම කෙනා කවුද?
ලෝකෙ ඉන්න හොඳම සූපවේදියෙක් තමයි මාව ඉන්ටවිව් කරල ගිහින් එංගලන්තෙදි කීවේ ආසියාවෙ හොඳම කෑම ගල්කිස්ස මහ හෝටලේ පබ්ලිස්ගෙ කෑම කියලා කිව්වෙ. ඒ එක්කම මොනාකෝ රටේ රජුටත් කට්ටසම්බෝලෙයි, ආප්පෙයි, රොටියයි, පිට්ටුයි පිළිගැන්නුවා. එතුමා බොහොම වර්ණනා කර කර කෑවා. මේ රටේ කවුද කියන්නෙ මගේ කෑම හොඳ නෑ කියලා. හැමෝම හොඳයි කියනවනෙ. මම රටවල් 27ක ගිහින් තියෙනවා. ඒ රටවල් 27ම මගේ නම අනිවාර්යයෙන් තියෙනවා.
සටහන ඡායාරූප : අසංක ආටිගල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දීර්ඝායුෂ ලැබබ්වා අපේ අනන්‍යතාවයේ ලකුණක් ඔබ (ස)
ඔබේ නිහතමානිත්වය අපි අගය කරනවා (දී)
ඔබට ජය!
විශිෂ්ටයි (දී)
ගම රත්ගම කිව්වම ටිකක් බය උනා .මුල අමතකද කියලා. කට නැතත් ඔබට මුල මතකයි.(නදී)
සුභ පැතුම්!(නදී)
ඔබ මහත්වරුන්ට වැඩ වැදගත් මහත්තයෙක් ඔබට මුල මතක නැහැ.(නදී)
ජීවන මගේ විඳි දුක් නවතා දීම.. අරලිය දල්ල නව දිවියක ඇරඹීම.. ඔබෙ නම ලක්දිවේ රැකදේ සැමදාම.. මහ හෝටලේ ගල්කිස්සේ රස කෑම
ඔබ අපේ රටේ තිබෙන සම්පතක් බව අපේ රට දන්නේ නෑ (අ)
ඔබ නියම පිරිමියෙක් (අ)
එයා ගැන හරියට දැනගන්න නම් හොටෙල් එකේ වැඩ කරලා බලන්න ඕනෑ . (නි)
අධිෂ්ඨානයෙන් විශ්වය පවා තරණය කළ හැකියි. (නි)
බෞද්ධයෙක් හැටියට සම්මා වායාම ගුනය ඉහලින්ම ප්‍රගුන කරපු මහත්තයෙක්. මම මගේ දරුවන්ටත් නිතරම කියන්නේ මෙන්න මේ චරිතය ආදර්ශයට ගන්න කියලයි.(නදී)
ශ්රී ලංකාවට ඔබ මහත් ආඩම්බරයක් වගේම ගෞරවයක් අයියේ.(නදී)
ලෝකේටම කන්න දෙන්න පුළුවන් අපේ පුංචි ලංකාවේ ඉන්න නිහතමානී සුන්දර මිනිසාට.(නදී) l
මේ උතුම් මිනිසාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබට මම ආදරෙයි.(නදී)
චෙෆ් පබිලිස්, ඔබට දිර්ගඝායුෂ! (නි)
මම මෙතුමාගේ ජීවිත කතාව කියෙව්වා. හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් කෙනෙක්. (නි)
විශිෂ්ටයි.(නදී)
ඔබ හදන කෑම රසයි කියල මුළු ලෝකයම කිව්වත් ලංකාවේ ඉන්න අපට ඔබේ කෑම වේලක රස බලන්න වාසනාවක් නැහැ. නමුත් ඔබ ගැන අපිට ආඩම්බරයි ඔබට දීර්ගයුෂ පතනවා! (ස)
නියමයි, ඹබ අපට ආඩම්බරයක්. ඔබේ නිහතමානිකම අගෙයි. (ස)
නිහතමානී පබිලිස් අය්යේ ඔබට නිරෝගී සම්පත සදා හිමි වේවා (ස)
ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. (නි)
අලුත් කැම වර්ග සදා ගන්න අපට කරන මේ සේවයට ඔබට නිදුක් නිරෝදී දිගු කාලයක අප අතර ජීවත් වෙන්න ලැබේවා (අ)
හිත ඇත්නම් පත කුඩාද? ඔබට දීර්ඝායුෂ ලැබේවා...!!!! (ස)
ඔබට නිරෝගී සැපවත් ජීවිතයකට ආසිරි! (නි)
ඔබතුමා මහත්වූ දෛර්යෙන් ජීවිතය ජය ගත් කෙනෙක්. ඔබට අපගේ ප්‍රණාමය ! (ස)
තමුන් අද හෝටලයට ආපු වෘත්තිය බය නැතිව අදත් කියවනවා. ඒකට අපේ නළු නිලියෝ සමහර ක්‍රීඩකයෝ. ගිය පාසැලවත් මතක නැහැ.(නදී)
පබිලිස් මහත්තයා ආපු ගමන් මග අපිට මහත් ආදර්ශයක් (දී)
මාමේ සුඛී දීඝායුකෝ භව (ස)
මම හද පතුලෙන්ම සුභපතනවා ඔබතුමාට, ඔබ තුමා අපේ රටට ආඩම්බරයක් (දී)
උතුම් ගති තිබෙන මනුෂ්‍යයෙක්. ඔබට නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා. දීර්ඝායුෂම ලැබේවා !!! (ස)
ලැබුනු සම්මාන වලට වඩා ඔබගේ නිහතමානි කම අගයනවා. දීර්ඝායු ඔබට මැති තුමනි. ! (ස)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! අවුරුදු 18ක සිට ඔහුයි මගේ ගුරුවරයා. (නි)
ඔබ තුමා අපේ රටට සමිපතකි. චිරාත් කාලයක් ජීවත්වීමට රත්නත්තරයේ පිහිට ලැබේවා.(නදී)
මේ ලිපියේ තියෙන වැදගත්ම දේ තමයි මුල අමතක නොකිරීම. ඉහළට ගියහම දුප්පත්කම ලැජ්ජාවක් විදිහට සළකන බහුතරයකට ඔබ සැබෑ ආදර්ශයක්. (නි)
මම සුභපතනවා ඔබතුමාට (දී)
පිරිමි අපිට ඔබතුමා ආදර්ශයක් (දී)
පබිලිස් මහත්තයෝ ඔබ සදා අමරණීයයි (දී)
නිහතමානී, දක්ෂ මිනිසෙක්... ඔබට දීර්ඝායු ලැබේවා !!! (නි)
ලෝකෙම දිනපු ශ්‍රී ලාංකිකයා (දී)
ඔබතුමා වගේ කෙනෙක් අපේ රටට ලැබීම අතින් අපි ගොඩක් සන්තෝෂ වෙනවා . අනික ඔබ තුමා අපේ ජීවිතවලට මහගු ආදර්ශයක්. මමත් කැමති ඔබතුමාව මගේ ජිවිතයට ආදර්ශයක් හැටියට අරන් මම කරන කෑම පාඨමාලාව හොදින් ඉගෙනගෙන ඔබතුමා වගේ අපේ රටට සේවය කිරීමට මම බලාපොරොත්තුවෙන් ඉදිමි.(නදී)
මෙතුමාගේ ජීවිත කතාව අපේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන පෙළ පොතකට ඇතුලත් කරන මෙන් අපි අතිගරු ජනපති තුමාගෙන් ඉල්ලා සිටිමු ඔබතුමාට ජය සතුට පතමු (දී)
ජය වේවා ...!