IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගම්පහ රන්බඩු කොල්ලයේ සැකකරුවන් ඇල්ලුවේ මෙහෙමයි

විනාඩි අටක් ඇතුළත සිදුවූ වාහන ලීසිං හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවකු කොල්ලය සිදුවී පැය 48ක් යන්නටත් පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. සීසී ටීවී කැමරාවේ සටහන් වූ දර්ශන ඊට බෙහෙවින් දායක විය. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ද, කොල්ලයට පැමිණි වෑන් රියද අත්අඩංගුවට ගත් පොලිසිය තවත් සාක්කි රැසක් එක්කර ගැනීමට සමත් විය.

 

සී.සී.ටී.වී. කැමරාවේ රූප රාමුවක්

 

අගෝස්තු 21 වැනිදා දෙනෝ දාහක් ගැවසෙන ගම්පහ රෝහල අසල පිටිහි ලීසිං ආයතනයට කඩා වැදුණු පිරිස කොල්ලය කළ ආකාරය පසු දින මාධ්‍ය මගින් වාර්තා කළේය.  ඒ වන විට ගම්පහ අපරාධ විමර්ශන අංශය, ගම්පහ නොවිසඳුනු අපරාධ විමර්ශන අංශය සහ කොළඹ උතුර අපරාධ කොට්ඨාසය  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබිණි.

දිනය අගෝස්තු 23 වැනිදාය. වේලාව පෙරවරු 9.24ට පමණ  ඇත. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු මහතාගේ ජංගම දුරකතනයට (077 47 8 46 46) ඇමැතුමක් ලැබිණි.  එම ඇමතුම හුරු පුරුදු අංකයකින් නොවන නිසා පොලිස් අධිකාරීවරයා ද  ඕනෑකමින් ඇමතුමට ප‍්‍රතිචාර දැක්වීය.

නොසිතූ මොහොතක නොසිතූ වචන පෙළක් කොමසාරු මහතාට ඇසිණි.

”සර් ගම්පහ හොරකම ගැන ලංකාදීප පත්තරේ මුල් පිටුවේ තියන තුන්වැනි ෆොටෝ එකේ අය මා දන්නවා.” යැයි එක දිගට කියාගෙන ගියේය.
”එයා ඉන්නේ කොහෙද? ඉන්න තැන දන්නවද?” යැයි කොමසාරු මහතා විමසීය.

”සර් එයා ඉන්නේ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි අංශයේ” තොරතුරු ලබාදුන් පුද්ගලයා කීවේය.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජිත කොමසාරු
 
පොලිස් පරීක්ෂක රාජකරුණා
 
උප පොලිස් පරීක්ෂක නාගරත්න

”ඔයාට විශ්වාසයි නේද? තොරතුරට බොහොම ස්තුතියි. මා දැන්මම ඒ ගැන හොයා බලනවා. ඔබට පස්සේ ඇමතුමක් ගන්නම්.” කී  කොමසාරු මහතා තම කාර්යාලයේ නිලධාරියකුට කීවේ හැකි ඉක්මනින් නෙළුව පොලිසියට ඇමතුමක් ගන්නා ලෙසයි. (තොරතුර ලබාදුන් පුද්ගලයාගේ අන්‍යතාව හෙළි කිරීමෙන් ඔහුට ගැටලූවක් වන නිසා එය හෙළි නොකරමු.)

නෙළුව පොලිසියට ඇමතුමක් ගෙන ස්ථානාධිපති ගැන විමසද්දී ඔහු වැඩමුළුවකට සහභාගී වී ඇති බවත්, වැඩ බලන ස්ථානාධිපති ගැන විමසූවිට ඔහු පිටතට ගොස් ඇති බවත් නෙළුව පොලිසියෙන් දන්වා ඇත. මෙය ඉතා හදිසි කටයුත්තක් නිසා වැඩබලන ස්ථානාධිපතිගේ නම සහ ජංගම දුරකතන අංකය පොලිසියෙන් ඉල්ලා ගත්තේ ඉක්මනින් ඇමතුමක් ගැනීමටය.

උප පොලිස් පරීක්ෂක එච්.වී.එන් නාගරත්න නෙළුව වැඩබලන ස්ථානාධිපතිවරයා විය. පොලිස් අධිකාරී කොමසාරු මහතා ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ”මම ගම්පහ ඩිවිෂන් කතා කරන්නේ” කීවේය. ඒ සමග උප පොලිස් පරීක්ෂක නාගරත්න මහතාට මේ කටහඬ කාගේදැයි මතක් විය.
”සර් කොමසාරු මහත්තයා නේද? සර් වව්නියාව කලාප තුන භාරව ඉන්දි මම සර් යටතේ හිටියේ.” උප පොලිස් පරීක්ෂක නාගරත්න කියාගෙන ගියේය.
ඔහුගේ එම වචන කොමසාරු මහතා තුළ විශ්වාසයක් ඇති කිරීමට සමත් විය.

”ගම්පහ රොබරිය ගැන මට දැන් තොරතුරක් ලැබුණා. මේ එක්කෙනක් නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ඉන්නා බව කියවුණා.” යැයි කියමින් සැකකරුගේ නම කොමසාරු මහතා පැවසූ විට උප පොලිස් පරීක්ෂක එවැනි නමක් ඇති පුද්ගලයෙක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සිටින බව කීවේය.
”අද ලංකාදීප පත්තරේ තුන් වැනි ෆොටෝ එක ඉක්මනින් බලන්න. ඒ පින්තූරෙ මොහුගේමදැයි සොයා බලා මට කියන්න.” යැයි කොමසාරු මහතා උප පොලිස් පරීක්ෂකගෙන් ඉල්ලීමක් කළේය. ගතවූයේ නිමේෂයකි. ”සර් මේ ඒ මිනිහාම තමයි” යනුවෙන් උප පොලිස් පරීක්ෂකගෙන් පිළිතුරු ලැබිණි.

වහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔහු සිටිනවාදැයි බලන ලෙස උප පොලිස් පරීක්ෂක නාගරත්නට පැවසූ කොමසාරු මහතා, ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.එම්.ඒ.එස්. රාජකරුණා මහතා ගෙන්වා තමාට ලැබුණු තොරතුර ගැනත්, නෙළුව වැඩබලන පොලිස් ස්ථානාධිපති කී දේ ගැනත් විස්තර කර හැකි ඉක්මනින් හිනිදුම්පත්තුවේ නෙළුව බලා පිටව යන ලෙස උපදෙස් දුන්නේය.

පොලිස් පරීක්ෂක  ආර්.ඩබ්ලිව්.එම්.ඒ.එස්. රාජකරුණා මහතා, පොලිස් සැරයන් වරුන් වන 9840 ගුණසිංහ, 52478 ආරියපාල සහ පොලිස් කොස්තාපල් 87473 ලේනවල යන මහත්වරු පෞද්ගලික වාහනයකින් නෙළුව බලා පිටත්වූහ. ඔවුන්ගේ අරමුණ වූවේ වැඩි වේලාවක් ගත නොකර නෙළුවට යෑමය. ඒ අතරතුර නෙළුව වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නාගරත්න මහතා තවත් නිලධාරීහු පිරිසක් සමග නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියහ.
කොමසාරු මහතා කී සමෘද්ධි නිලධාරියා එහි සිටියේය. පොලිසිය දුටු සැකකාර සමෘද්ධි සංවර්ධන නිලධාරී බියට පත්වූ බව පෙනිණි. ඔහු බියට පත් වූ බව දැනගත් නාගරත්න මහතා සැකකරු පැන යතියි ඇතිවූ සැකය නිසා වහා ඔහු පොලිස්භාරයට ගෙන නෙළුව පොලිස් ස්ථානයට ගෙනැවිත් පොලිස් අධිකාරී කොමසාරු මහතාට දුරකතන ඇමතුමක් ගෙන සිදුවූ සියල්ල විස්තර කළේය.

සැකකරු ආරක්ෂිතව තබන ලෙස කොමසාරු මහතා නාගරත්න මහතාට උපදෙස් දුන්නේය. කොල්ලය සිදුවූදා සැකකාර සමෘද්ධි නියාමක රැකියාවට ගොස් නැති බවද හෙළි විය.

එදා පස්වරු හතර පමණ වන විට ගම්පහ අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායම නෙළුව පොලිස් ස්ථානයට ළඟා වූහ. සීසීටීවී වීඩියෝ දර්ශනවලින් සකසා ගත් සැකකරුවන්ගේ රුව සහිත ඡායාරූප 20ක් පමණ පොලිස් පරීක්ෂක රාජකරුණා මහතා අත විය. ඔහු තමන් සතු ඡායාරූප හා නෙළුව පොලිස් භාරයේ සිටි සැකකරුගේ රුව එකිනෙකට සංසන්දනය කර මේ තමන් සොයන සැකකරුම බව තහවුරු කර ගත්තේය. ඒ වන විට බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ උපදෙස් පරිදි කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධරයෝ පිරිසක් ද නෙළුව පොලිස් ස්ථානයට පැමිණ සිටියහ.

පොලිස් පරීක්ෂක රාජකරුණා මහතා සැකකරුගේ මුහුණ දෙස එක එල්ලේ විනාඩි තුනක් පමණ බලා සිටියේය.

”සර් මං ඇත්තම කියන්නම්, මට සර් එක්ක වෙනම කතා කරන්න  ඕනෑ” බියට පත්වී සිටි සැකකරුගේ මුවින් පිටවිය.  රාජකරුණා මහතා සහ සැකකරු වෙනම කාමරයකට ගිය අතර අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට නාගරත්න මහතා කටයුතු ක්‍ළේය.

”මම වැඩකට කොළඹ අවා. බසයෙන් ආවේ. ඒක ඉවර වෙලා එළියට එද්දිම මාව බලෙන් වාහනේකට දාගත්තා. මගේ අතට බලෙන් පිස්තෝලයක් දී මා බලෙන් කොල්ලයට සම්බන්ධ කර ගත්තා. කොල්ලය කළාට පස්සේ මා  අවිස්සාවේල්ලෙන් දාලා ගියා. ඉන් පසු කොළඹට ඇවිත් බසයෙන්ම ගමට ගියා.” සැකකරු කියන්නට විය.

උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව සැකකරු කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට භාරදෙනු ලැබූ අතර පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු මහතාගේ උපදෙස් පරිදි ගම්පහින් ගිය පොලිස් පරීක්ෂක රාජකරුණා මහතාගේ කණ්ඩායම නෙළුව ප‍්‍රදේශයේම නතර වූහ.

රාත‍්‍රිය උදාවුවත් ඔවුන්ගේ අරමුණ වූයේ නින්දට යෑම නොව කොල්ලය සම්බන්ධයෙන් කුමක් හෝ හෝඩුවාවක් සොයා ගැනීමය.  රාත‍්‍රියේම ගමේ තැන තැන ගොස් කරුණු සෙවීම ඇරැඹීය. ඔවුනට තොරතුරක් ලැබිණි. ඒ සැකකාර සමෘද්ධි නියාමක අගෝස්තු 20 වැනිදා එනම් කොල්ලයට පෙර දින වෑන් රියකින් යනු දුටු බවයි. තමනට ලැබුණු තොරතුර ගැන පොලිස් අධිකාරී කොමසාරු මහතාට දන්වා  විමර්ශන ආරම්භ කැරිණි. වෑන් රියේ හිමිකරු ගැන සාර්ථක තොරතුරක් ඔවුනට හමුවිය. වේලාව රාත‍්‍රී 11ට පමණ ඇත. නෙළුව පොලිසියේ නිලධාරීන්ගේ ද සහායෙන් ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ආර්.ඩබ්ලිව්.එම්.ඒ.එස්. රාජකරුණා මහතා සමග පොලිස් සැරයන් වරුන් වන 9840 ගුණසිංහ, 52478 ආරියපාල සහ පොලිස් කොස්තාපල් 87473 ලේනවල මහත්වරු නෙළුව හක්පිටියට ගොස් වෑන් හිමියා හමුවූහ.

සැකකාර සමෘද්ධි සංවර්ධන නිලධාරී අගෝස්තු 20 වැනිදා එනම් පොහොය දින උදෑසන අටට පමණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාණ්ඩ කිහිපයක් ගෙන ඒමට යැයි කියමින් වෑන් රිය ඉල්ලාගෙන ගිය බවත්, නැවත අගෝස්තු 22 වැනිදා උදෑසන 10ට පමණ රුපියල් පන් දහසක්ද සමග වෑන් රිය නැවත ගෙනැවිත් දුන් බවත් වෑන් රථයේ හිමිකරු කීවේය. මීට පෙරද වෑන් රිය ඉල්ලාගෙන යන නිසා කිසිදු සැකයක් නැතිව වාහනය දුන් බවද ඔහු කීවේය. වෑන් රථ හිමිකරුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත් පොලිසිය වෑන් රිය පොලිස් භාරයට ගත්තේය.

ගම්පහින් ගිය පොලිස් කණ්ඩායමේ රාජකාරි ඉන් හමාර නොවීය. තව තවත් තොරතුරු සොයන්නට වූහ. සමෘද්ධි නිලධාරියාගේ ඥාතියකු බව කියන විසි පස් හැවිරිදි ලොරි රථ රියදුරකු ගැන තොරතුරක් ලැබුණි. කොල්ලය සඳහා වෑන් රිය පදවාගෙන ගියේ එම ලොරි රථ රියදුරු බවත්, ඔහු කොල්ලය සිදු කිරීමට ලීසිං සමාගමට නොගොස් වෑන් රියේම සිට ඇති බවත් පොලිසිය අනාවරණය කර ගත්තේය. සැකකරු සිටින ස්ථානය, ඔහු භාවිත කරන යතුරු පැදියේ අංකය ඇතුළු විස්තර රැසක් පොලිසිය සොයා ගත්තේය.

පොලිස් අධිකාරී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක රාජකරුණා ඇතුළු කණ්ඩායම නෙළුව කඩහිංගලට ගියේ සැකකාර ලොරි රියදුරු කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා බව සිතමිනි. නෙළුව පොලිසියේ සහාය ඔවුනට නොඅඩුව ලැබිණි. 24 වැනි සෙනසුරාදා අඳුර වැටීගෙන එන වේලාවේ සැකකරුවකුගේ නිවසට ගියත් ඔහු එහි නොසිටියේය. වහා නෙළුව පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙස සැකකරුට දැනුම් දෙන ලෙස ඔහුගේ නිවැසියන්ට පැවසීය. ඒ මොහොතේම නිවැසියන් ඒ බව සැකකරුට දැනුම් දුන්නේය.

සියලූ දෙනා සිතුවේ සැකකරු පොලිසියට එන තෙක් පොලිස් නිලධාරීන් නිහඬව බලා සිටිනු ඇතැයි කියාය. එලෙස නොවීය. පොලිසිය නිවසට යන මග රැක සිටියේය. වෙලාව රාත‍්‍රී නවයට පමණ ඇත. ඝන අඳුර ප‍්‍රදේශය වසාගෙන පැතිරියේය. රැහැයියන්ගේ හඬ හැරුණු විට අවට වැඩි ශබ්දයක් ද නැත. ඈතින් යතුරුපැදියක් එනු පෙනිණි. එය සැකකාර ලොරි රියැදුරුගේ යතුරුපැදියම බව පොලිසිය තහවුරු කර ගත්තේය. යතුරු පැදිය පොලිසිය පසු කර යද්දී පෙනී ගියේ තමන් සොයන සැකකරු එහි නොවූ බවයි.  ඔහු තමාගේ යතුරුපැදිය වෙනත් දෙදෙනකුට දී කුමක් වෙන්නේදැයි සොයා බැලීමට නිවසට යවන්නට ඇතැයි පොලිසිය සැක පළ කළේය. නිවසට ගිය යතුරු පැදිය විනාඩි පහකින් පමණ නැවත ආවේය. ඔවුනට නොදැනෙන ලෙස පොලිසිය ඔවුන් ලූහු බැන්දේය. එය ගියේ මොරවක දංගල නිවසකටය. සිදුවන්නේ කුමක්දැයි සැඟවී බලා සිටි පොලිසිය එහි තමන් සොයන සැකකරු සිටින බව අවබෝධ කර ගත්තේය.

පොලිසිය කලබල වූයේ නැත. නැවත නෙළුව පොලිසිය බලා පිටත් විය. අගෝස්තු 25වැනි ඉරිදා උදෑසන සැකකරු ඒදැයි බලා සිටියේය. ඔහු පොලිසියට පැමිණියේ නැත. එදින සවස නැවත සැකකරුගේ නිවසට ගිය විට නිවැසියන් කීවේ, ඔහු පෙරදින රාත‍්‍රී නිවසට නොපැමිණි බවයි.

පොලිසිය ක‍්‍රියාත්මක විය. පෙර දින රාත‍්‍රී ඔහු සැඟව සිටි දංගල නිවසට ගම්පහ අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායම නෙළුව පොලිසියේ කණ්ඩායමක්ද සමග ගොස් නිවස වැටලීය. සැකකාර රියදුරු අත්අඩංගුවට පත් විය.

හෙතෙම ආණ්ඩුවේ පක්ෂයක පන්නිමුල්ල තරුණ සමිතියේ උප සභාපතිවරයකු ද විය. පොලිසියෙන් සොයන බව දැනගත් ඔහු ස්ථාන කිහිපයක සැඟව සිට ඇත.
නොකා නොබී, නිසි නින්දක් නොලැබ දින තුනක් නෙළුවේ රැඳීසිටිමින් පොලිස් පරීක්ෂක රාජකරුණා ඇතුළු කණ්ඩායම කළ මෙහෙයුම තරමක් සාර්ථක විය. තමනට දින තුනක් නොසෑහෙන ලෙස උදව් උපකාර කළ නෙළුව පොලිසියේ සගයන්ට සමුදී ගම්පහ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගත් සැකකරුද රැගෙන එදින රාත‍්‍රියේම ගම්පහ බලා ආහ.

අගෝස්තු 26 වැනි සඳුදා පොලිස් අධිකාරී කොමසාරු මහතා සහ රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායම පරීක්ෂණවල ප‍්‍රගතිය ගැන සාකච්ඡුා කළ අතර එදින සවස 6ට පමණ කොල්ලය ගැන තවත් වැදගත් තොරතුරක් පොලිස් අධිකාරී කොමසාරුට ලැබුණි. නෙළුවේ සිට පැමිණ පැය ගණනක් ඇතුළත නැවත නෙළුවටම යෑමට පොලිස් පරීක්ෂක රාජකරුණා ඇතුළු කණ්ඩායමට සිදුවිය. එදින රාත‍්‍රී නවයට නැවත ඔවුහු පිටත් වූහ. අලූයම වන විට නෙළුවට පැමිණි පොලිස් කණ්ඩායම නැවත වරක් විමර්ශන ඇරැඹීය. ගම්වාසීන් කිහිප දෙනකුගෙන් ප‍්‍රකාශ ගත් පොලිසිය නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේ තවත් හෝඩුවාවක් එහි ඇත්දැයි සොයා ගැනීමටය. පොලිසියේ අරමුණ සාර්ථක විය. නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ තිබූ සැකකාර සමෘද්ධි නියාමකට අයත් ජංගම දුරකතනය, සිම්කාඞ්පතක් සහ අලූත් ජංගම දුරකතන පෙට්ටි දෙකක් පොලිස් භාරයට ගත්හ.

සැකකාර සමෘද්ධි නියාමක පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර රුපියල් විසි අට දහසක මුදලක් හා ඔහු රැකියාවට පැමිණි යතුරුපැදියේ යතුර නිවසට දෙන ලෙස කියමින් සිය මිතුරකුට දුන් බව ද හෙළිය විය. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ නිලධාරීන් තිදෙනකුගෙන් ද පොලිසිය ප‍්‍රකාශ සටහන් කර ගත්තේය. මේ අතර සැකකාර සමෘද්ධි නියාමක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ උතුර අපරාධ කොට්ඨාසේ රඳවාගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන ගියේය. පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ, පොලිස් පරීක්ෂක සුබසිංහ ඇතුළු නිලධාරීන්ට එහිදී අනාවරණය වූයේ මීට කලකට ඉහත පැවැති මැතිවරණ සමයකදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් මත සැකකාර සමෘද්ධි නියාමක රිමාන්ඞ් භාරයේ සිට ඇති බවයි. පොලිසියට ලැබී ඇති තවත් සාර්ථක හෝඩුවා ඔස්සේ විමර්ශන දිගටම කැරෙයි. අද හෝ හෙට මේ කොල්ලයට සම්බන්ධ සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි වෙතියි පොලිසිය විශ්වාස කරයි.

 

 

සටහන හා ඡායාරූප 

තරිඳු ජයවර්ධන /  පියරත්න ජයවික‍්‍රම

 

ගම්පහ නගරයේ විනාඩි අටේ මහා කොල්ලය

 



අදහස් (0)

ගම්පහ රන්බඩු කොල්ලයේ සැකකරුවන් ඇල්ලුවේ මෙහෙමයි

ලසිත Wednesday, 04 September 2013 01:21 PM

ගොඩක් හොඳයි. නියමයි. (ස)

:       0       0

ෆෛරූස් Thursday, 05 September 2013 03:19 PM

පොලිසිය උසාවියට දුන්නට පස්සේ නිදහස් කරාවී.(නදී)

:       0       0

නුවන් කුමාර Friday, 06 September 2013 11:52 AM

ශ්‍රී ලංකා පොලිසිය ඇත්තටම ගොඩක් දක්ෂයි.(නදී)

:       0       0

සිසිර Wednesday, 04 September 2013 03:43 PM

ඉතා හොඳයි. (ස)

:       0       0

අශෝක Tuesday, 03 September 2013 06:21 PM

අපේ ලංකාවේ පොලිසිය දක්ෂයි. ඒ වගේ නිලදාරීන් ඇගැයීමට ලක්කරන්න ඕනේ.(නදී)

:       0       0

සමන් Sunday, 01 September 2013 03:31 PM

හොද පුවතක් (දී)

:       0       0

නිශාන් කපිල Thursday, 05 September 2013 05:16 PM

හොද වැඩක්.(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 03 September 2013 08:07 PM

ඇත්තටම හොදයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5395 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 763 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1329 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site