දිනකට කොළඹ නගරයට රැකියාව සඳහා පැමිණෙන ශ‍්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහමාරකට හයකට ආසන්නය. මින් බහුතරයක් පිරිස කොළඹින් පිට ප‍්‍රදේශවල සිට රැකියාව සඳහා පැමිණෙන්නෝය. එමනිසාම ඔවුන්ගේ ආහාර ප‍්‍රශ්නයට විසඳුම් සොයාගනුයේ රැකියා කරන ස්ථානයේ ඇති ආපනශාලාවකින් හෝ පදික වේදිකාවේ අලෙවි කරනා ආහාරපානාදියෙනි.
මාසික පඩියකින් දිවිගෙවනා බොහෝදෙනෙකුට ආහාරපාන සඳහා විශාල මුදලක් ගෙවීමට නොහැකි නිසාම, කූට වෙළෙඳුන්ගේ ග‍්‍රහණයට හසුවී, ප‍්‍රමිතියෙන් බාල, ශරීරයට අහිතකර කෑම බීම ගිලදැමීමට සිදුව ඇත්තේ අවාසනාවන්ත පරිදිය.
තොරතුරු සොයා ගිය අපට අසන්නට දකින්නට ලැබුණේ, පාරිභෝගික රුචිකත්වය, අවශ්‍යතාව පසෙකලා, මූල්‍ය ලාභය පදනම් කරගෙන ඉතාම බාල, තුන්වැනි ශ්‍රේණියේ ආහාරපාන පාරිභෝගිකයන්ට ලබාදීමට සිදුව ඇත්තේ ටෙන්ඩර් කැඳවීමේදී -අඩු මිලට” ප‍්‍රමුඛතාවයක් ලැබීම හේතුවෙනි.
මේ නිසාම පිරිසිදුකමට, ගුණාත්මක බවට සහ පෝෂණයට ප‍්‍රමුඛතාවයක් හිමි නොවේ.
රාජ්‍ය අංශයේ සහ ඇතැම් පෞද්ගලික ආයතන විසින් පවත්වාගෙන යන සුභසාධන ආපනශාලාවල මෙම තත්්ත්වය බහුලව දක්නට ලැබේ.
බත් පාර්සලයක් රුපියල් 50 කට 60 කට, ඉඳිආප්ප මුලක් රුපියල් 25 කට, මාළු පීරිසියක් රුපියල් පනහකට, ආප්පයක් රුපියල් 10 කට, ප්ලේන්ටියක් රුපියල් 10 කට, කිරි තේ එකක් රුපියල් 15 කට හොදි පීරිසියක් රුපියල් 25 ක් 30 ක් වැනි මිල ගණන්වලටත් පාරිභෝගිකයෙකුට ලබාදීම සිදුකරනුයේ සැපයුම්කරු ද ලාභයක් තබාගනිමිනි. පවතින මිල ගණන් යටතේ ලාභයක් ලබමින් පාරිභෝගිකයාට අඩුම මිලට ආහාරපාන ලබාදීමේ අභියෝගය ආපනශාලා හිමියන් ජයගනුයේ අපූරුවටය.
අවම මිල ගණන් යටතේ ආහාර සැපයීමට ටෙන්ඩර් ලබාගන්නා ආහාර සැපයුම්කරුවන් එම අවශ්‍යතාව බොහෝ විට සපුරාලනුයේ අඩුම ශ්‍රේණියේ බාලම වර්ගයේ සහල් වර්ගය සපයා ගැනීමෙනි. මිලෙන් අඩු, කල් තියාගත නොහැකි, මෙම සහල් පිටකොටුවේ තොග වෙළෙඳසැල්වලින් ඉතාම අඩු මිලට ලබාගැනේ. අඩුම මිල ගණන් යටතේ ආහාරපාන සපයන බොහෝ ව්‍යාපාරිකයන් එළවළු මිලදී ගැනීම කරනුයේ සවස් කාලයේදීය.
උදෑසන සිට අලෙවිකර ඉතිරි වෙන පළුදු වූ සහ කොටසක් නරක්වූ එළවළු වර්ග ඉතාම අඩු මිලට මෙහිදී ලබාගැනෙන අතර, මිරිස්, ලූනු, තක්කාලි ආදිය ද මෙලෙස තොග පිටින් අඩුම මිල ගණන් යටතේ ලබාගැනීම සාමාන්‍ය පරිදි සිදුවන්නකි.
ආපනශාලාවේ ආහාර පිළියෙල කිරීමේදී රස ගැන්වීම සඳහා භාවිතා කරන මිරිස්, තුනපහ, කහකුඩු, ගම්මිරිස් කුඩු ආදිය ද ලබාගනුයේ ඉතාම අඩු මිල ගණන් යටතේ සකස් කළ බාල තත්ත්වයේ ඒවාය. ඇතැම් ආපනශාලාවල පලතුරු බීම සහ අතුරුපස සඳහා යොදාගන්නා පලතුරු ආදිය ද ප‍්‍රමිතියෙන් තොර ඒවාය.
පැත්තක් නරක්වූ හෝ තැලී පොඩිවී ගිය කෙසෙල්, අන්නාසි, ගස්ලබු, අඹ, අලිගැටපේර, දොඩම්, දෙළුම් ආදී පලතුරු භාවිතා කරන අතර ඇතැම් විට ශීතකරණවල දින ගණනක් පරණ වන පලතුරු වර්ග ද යළි සකස් කර පාරිභෝගිකයාට පිළිගන්වනුයේ පාරිභෝගික රුචිකත්වය තඹයකට සීමා නොකරමිනි.
ආපනශාලාවලින් ආහාර අනුභව කරනා ඇතැම් පාරිභෝගිකයන් නිතර දෙවේලේ කියන කියමනකි -සම්බෝලේ හදලා තියෙන්නේ හොඳට පොල් හෝදලා” යන්න.
බොහෝ ආහාර සැපයුම්කරුවන් අධික මිල ගණන් යටතේ පොල් ලබාගැනීම අපහසු නිසාම පොල්සම්බෝල සකස් කර ගැනීමට යොදා ගනුයේ වරක් දෙවරක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පොල් කිරි ලබා ගැනීමෙන් පසු ඉවත දැමිය යුතු පොල් කුඩු ය. එලෙස ඉවත දැමිය යුතු පොල් කුඩුවලට මිරිස්, ගම්මිරිස්, ලූනු, අමුමිරිස්, ලූණු දෙහි ඇඹුල් එක්කර පිළියෙල කරනා පොල් සම්බෝලය ඇසට වර්ණවත්භාවයක් එක් කළ ද කටට කිසිම රසක් ඇත්තේ නැත.
තේ
ටෙන්ඩර් පටිපාටිය යටතේ පවත්වාගෙන යන ආපනශාලා බොහෝමයක පාරිභෝගික පිළිගැන්වීම සඳහා තේ මිල දී ගනුයේ පිටකොටුවේ තොග කඩවල අඩුම මිලට අලෙවි කෙරෙනා ඩයි යොදා වර්ණ ගැන්වූ කසළ තේ ය. මෙම තේවල කහට පාට හැරෙන්නට තේ කොළවල නියම රසක් නොලැබේ.
බැදුම්
ආපනශාලාවේ මාළු, මස්, පපඩම්, රෝල්ස්, කට්ලට්, බිත්තර ආදිය බැදීමට යොදාගන්නා තෙල් බොහෝ විට තාච්චියෙන් ඉවත් නොකරන අතර, නැවත පසු දින කෑම පිළියෙල කිරීමට යොදා ගන්නේ පෙර දින ඉතිරිවූ තෙල්වලට අලූතෙන් තෙල් ස්වල්පයක් එකතු කරමිනි.
මාළු, මස් ආදී ද්‍රව්‍ය නිතර බැදීමෙන් තෙල්වලට එකතු වෙන රසායන සංයෝගය ශරීරයට හිතකර නොවූවද ආහාර සැපයුම්කරුවන්ට එහි බරපතළකමක් තේරෙන්නේ නැත.
ශීතාගාර
අඩුම මිලට ආහාරපාන අලෙවි කරනා ඇතැම් ආපනශාලාවල ඇති ශීතකරණ පිරී ඇත්තේ නැවුම් එළවළු, පලතුරුවලින් නොවේ. එම ආපනශාලාවල ඇති අධිශීතකරණවල නොපිසූ මස්, මාළු වර්ගවලට වඩා පිසූ මස් වර්ග අසුරා තිබෙනු දැකීම සුලභ දසුනකි.
නියමිත උෂ්ණත්වයන් යටතේ ගබඩා කිරීම වෙනුවට, විදුලි බිල අවම කර ගැනීමට උත්සාහ දරන ව්‍යාපාරිකයන් රාත‍්‍රියේ දී අධි ශීතකරණ සහ ශීතකරණ විදුලි පරිපතයෙන් ඉවත්කර තිබේ. මෙමගින් ක්ෂුද්‍රජීවී වර්ධනය බහුලව මාංශ ආහාරවල සිදුවේ. තවද ආහාර පනතේ විධිවිධානයන්ට අනුව මාංශ ආහාර සමග යෝගට්, අයිස්ක‍්‍රීම්, ජෙලි වර්ග ඇසිරීම නොකළ යුතුය. නමුත් බොහෝ ආහාර සැපයුම්කරුවන් ශීතකරණ කිහිපයක් නඩත්තු කිරීමට නොහැකි නිසාම එකම ශීතකරණයකින් මෙම සියලූ කාර්යයන් කරගන්නා බව වැටලීම්වලදී අනාවරණය වී තිබේ.
මීට අමතරව පිසූ බත්, හොදි වර්ග, කොත්තු රොටී, බාල වර්ගයේ තුනපහ වර්ග, තරමක් නරක්වී ගිය ඉදුනු පලතුරු, නරක් වීමට ආසන්න අල, ලූනු, දෙහි ආදිය මෙපරිද්දෙන් අසුරා ඇත්තේ ඇඟිල්ලක් ගහන්න තරමටවත් ඉඩක් නැතිවන පරිද්දෙනි.
පොල් ගාන යන්ත‍්‍ර
ආහාර පිළියෙල කිරීම සඳහා භාවිතා කරනා පොල් කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදැක්වුවද, රෝග කාරක -ඊ කෝලා” වැනි බැක්ටීරියා වර්ග ඉතා ඉක්මනින් ශරීරගත වීම පිරිසිදුකමින් තොර පොල්වලින් සිදුවන බව බොහෝදෙනෙකුගේ අවධානය යොමු වන්නේ නැත.
විශේෂයෙන්ම පොල් ගා ගැනීම සඳහා භාවිතා කරනා යන්ත‍්‍ර හොඳින් පිරිසිදුකර සුදුසු වියළි ආවරණයකින් වසා තැබිය යුතුය. නමුත් වැටලීම්වල දී වාර්තා වී ඇත්තේ බොහොමයක් ආපනශාලාවල පොල් ගෑමේ යන්ත‍්‍ර පිරිසිදු නොකරන අතර, කැරපොත්තන්, හූනන්, මීයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ආවරණයක් යෙදීමක් සිදුවන්නේ ද නැති බවය.
බොහෝ පොල් ගානා යන්ත‍්‍රවල පොල් කැබලි සිරවී පණුවන් ඇති වී තිබූ අවස්ථා ද ඕනෑ තරම් ආපනශාලා මුලූතැන් ගෙවල් පරික්ෂාවෙන් දැකගන්නට ලැබී තිබේ.
බිත්තර පිසීම
අසූචි, පිදුරු, කුකුළු පිහාටු ආදිය තැවරුණු බිත්තර පිසීම සඳහා භාවිතා කළ යුත්තේ හොඳින් පිරිසිදු කර ගැනීමෙන් පසුවය. නමුත් අවාසනාවකට කාල කළමනාකරණය කරගැනීමට උත්සාහ ගන්නා ඇතැම් ආපනශාලා හිමියන් විසින් කිසිදු පිරිසිදු කිරීමකින් තොරව බිත්තර ආහාර සඳහා භාවිතා කෙරේ.
ආහාර පිසීමේදී බිත්තර ලබාගත යුත්තේ හොඳින් පිරිසිදු කිරීමෙන් පසුවය. තවද තැලූණු, පොඩිවුණ හෝ පලූදු වූ බිත්තර, කිසිම විටෙක භාවිතා නොකළ යුතුය.
නමුත් අප රටේ බොහෝ විට කොත්තුරොටි, බුරියානි, බිත්තර ආප්ප, බිත්තර රොටි ආදිය පිළියෙල කිරීමේදී අත්‍යවශ්‍ය යෙදවුමක් වන බිත්තර භාවිතා කරනුයේ මතුපිට කටුව පිරිසිදු කිරීමකින් තොරවය.
කුකුළු අසූචි, නරක් වී ගිය බිත්තර සහ කුකුළු පිහාටු ආදියෙහි තැවරී ඇති අපද්‍රව්‍ය ආහාර සමග ශරීරගතවීමෙන් පාචනය, උණසන්නිපාතය, හෙපටයිටීස් -බී” වැනි දරුණුම ගණයේ රෝගකාරක මෙන්ම වමනය, ඔක්කාරය සහ බඩඑළියේ යාමේ තත්ත්වයන් ද ඇති විය හැක.
පළා වර්ග
ආපනශාලා බොහොමයකම ව්‍යාංජනයක් හෝ මැල්ලූමක් සලාදයක් ලෙස පිළියෙල කරනා පලා කොළ ක්ෂුද්‍රජීවී නාශක ද්‍රව්‍යයක් යොදා සේදීමක් කිසිවිටෙකත් සිදුවන්නේ නැත.
පයිප්පයට අල්ලා කොළ තෙමා ගන්නා ඇතැම් කෝකිවරුන් පලා කොළ කපා පිළියෙල කරනුයේ නිවැරදි ලෙසට තෝරාගැනීමකින් ද තොරවය.
නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඇති බාධා
ආපනශාලාවකට ටෙන්ඩරයක් ලබාගැනීමේදී ප‍්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහභාගි කරගත යුතුව තිබුණත්, කිසිම ආයතනයක ටෙන්ඩරයක් ලබාගැනීමේදී මෙලෙස සොයා බැලීමක් සිදුකරන්නේ නැත.
ව්‍යාපාරිකයන්ගේ මූලික අරමුණ අඩුම මිලට, ටෙන්ඩරය ලබාගෙන උපරිම ලාභයක් ලබාගැනීම විනා පාරිභෝගිකයාට සාධාරණ මිලකට ගුණාත්මක ආහාර වේලක් ලබාදීම නොවේ.
ආහාර පනතේ විධිවිධානයන් උල්ලංඝනය කරනා ඕනෑම අයෙකුට නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවසර ඇතත් වර්තමානයේ බොහෝ විට සිදුවන්නේ නීතියේ රැහැනට හසුවන්නන් සුළු දඩ මුදලක් දී නීතිය ඉදිරියේ නිර්දෝෂී පුද්ගලයන් වීමය. මෙම තත්ත්වය මත රුපියල් පන්දහසක් තුන්දහසක් වැනි සුළු මුදලකට වැරදි වසාගෙන, යළිත් ආපනශාලා එපරිද්දෙන්ම පවත්වාගෙන යනුයේ නීතියේ ඇති ඇතැම් සිදුරු වී ගිය තැන් නිසා විය හැකිය. භෝජනාගාර අතුරු ව්‍යවස්ථාවේ නියෝගයන්ට අනුව සාම්ප‍්‍රදායිකව ආපනශාලාවක් පවත්වාගෙන යායුතු ආකාරය සඳහන් කර ඇත්තේ මෙපරිද්දෙනි.
-
ස්ථිර ද්‍රව්‍ය භාවිතයෙන් සකස් කළ (වහල, බිත්ති ආදී) ආපනශාලාව වර්ග අඩි 120 ක ප‍්‍රමාණයකින් තිබිය යුතුය.
-
පාරිභෝගික භාවිතය සඳහා ඇති පිඟන් කෝප්ප ආදිය පිරිසිදුව තබාගත යුතු අතර පානය කිරීමට පිරිසිදු ජලය සැපයීම සහ පිරිසිදුකාරක ද්‍රව්‍ය භාවිතයෙන් දෑත් පිරිසිදු කර ගැනීමට පහසුකම් සලසා තිබීම වැදගත්ය.
-
ආපනශාලාවේ සේවකයන්ගේ ප‍්‍රයෝජනය සඳහා වැසිකිළි පහසුකම් තිබිය යුතු නමුත් මුළුතැන්ගෙට යාබදව හෝ මුළුතැන්ගෙට දොරටු විවරවූ වැසිකිළි පවත්වාගෙන යෑම, දඬුවම් ලැබිය හැකි වරදකි.
-
ආපනශාලාවලට නියමිත පරිදි හිරු එළිය සහ වාතාශ‍්‍රය ලැබීම සිදුවිය යුතුය.
-
මීයන්, කැරපොත්තන්, මැස්සන්, කූඹීන්, හූනන් ආදී කෘමි ගහනය වළක්වා ගැනීමට ආපනශාලාව ඇතුළත කෘමි මර්දන කටයුතු උපරිමයෙන් සිදුකර තිබීම ද අත්‍යවශ්‍ය කරුණකි.
-
කැළි කසළ සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ද ක‍්‍රමානුකූලව සිදුවීම ඉතාම වැදගත්ය.
වර්තමානය වන විට,
-
මෙම කරුණුවලට අමතරව, ආපනශාලාවේ සේවය කරන සෑම සේවකයෙකුම වෛද්‍ය පර්යේෂණයකට භාජනය කර බෝවන රෝගයකින් නොපෙළෙන බවට වෛද්‍ය වාර්තාවක් ලබා තිබිය යුතුය.
-
මෙම කරුණුවලට අමතරව ආපනශාලාවේ සේවය කරන සෑම සේවකයෙකුම ආහාරපාන සකස් කර තැබිය යුතු ආකාරයත්, පාරිභෝගිකයාට පිළිගැන්විය යුතු ආකාරයත්, පිළිබඳ පුහුණුවක් ලබා තිබිය යුතුය.
-
කිසිම විටෙකත් ආපනශාලාවේ අයකැමි සේවාවේ නියුතු පුද්ගලයා මුදල් අල්ලමින් කෑම බෙදීම හෝ පිළිගැන්වීමට දායක නොවිය යුතුය.
ස්තුතිය - කොළඹ මහා නගර සභාවේ වැඩ බලන ආහාර පරික්ෂක එම්.බී. ලාල් කුමාර මහතාට.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දවසක් පිටකොටුවෙන් දොඩම් ගත්ත. වෙළෙන්ද දොඩම් ටික කවරේට දාන්න යන ගමන් මට වෙන මල්ලක් මාරු කරලා දීල .ගෙදර ගිහින් බලනකොට තැලිච්ච දොඩම් වගයක්.පහුවෙනිදා මම වෙළෙන්දාගේ බෙල්ලෙන් අල්ල ගත්ත! (බ)
මා ලංකාවේ නම ගිය තරු පන්තියේ හෝටල් වල සූප වේදියෙක් විදියට වැඩ කරලා තියෙනවා . ඒවා වලත් කියන තරම් පිරිසිදු කමක් නැහැ. තද බ්ජට්ටුව නිසා , ඔය වගේ වැඩ සිද්ද වෙනවා. ඒ වුණාට මහජන පරීක්ෂක තුමා ගේ පොකට් එක පුරවලද කොහෙද ආවම උඩ බලාගෙන යන්නේ (ම)
දැන් තමයි මේ තොරතුරු එලියට එන්නේ. සමහර මහජන සෞක්‍ය පරීක්ෂකවරු අහක බලාගෙන ඉන්නවට මාසිකව ඇස් කුලියක් ගන්නවා ඔය වගේ තැන් වලින්. මනුස්සකම කෙසේවෙතත් මිහිපිට පෙරේතයෝ කියන්නේ ඔය වගේ පෙරේත තට්ටු හදල සල්ලි හොයන අයට.(නදී)
මනුෂ්‍යන්ගේ පැවැත්ම සඳහා පමණක් බාවිතා කරන අාහාර සදහා වංචා කරන එක මහම පාපයක්. අපේ ලංකාවේ මේ පාපකර්මය වැඩිවශයෙන් සිදුවන රටක්. ගොඩක් රටවල් කෑමට හොර කරන්නේ නැහැ. මොකද මුදලට වැඩිය මනුෂකම අගය කරන නිසා. (ස)
මම සේවය කරන්නේ කටාර් රටේ . එහෙ ආපන ශාලා හරිම පිරිසිදුයි. රටේ අනිවාර්යයෙන් මාසෙකට සැරයක් සෞඛ්‍ය පරීක්ෂකවරුන් පනිනවා . සෑම දෙයක් ගැනම හොඳට බලනවා. අංක එක තමා මිනිසුන්ගේ සෞඛ්‍ය. මම ලංකාවේ ඉන්නකොට කඩ වලින් කන්නේ නෑ. මොකද බඩේ අමාරුව හැදෙනවා. මම දැකල තියනවා මැස්සෝ වහ වහ තියන කඩ. එත් මේ රටේ මම කඩ වලින් ඕනේ තරම් කනවා. එත් කිසිම ලෙඩක් නැ. (ස)
මම දැකපු දෙයක් මේක... කොල්ලුපිටියේ ඩර්ඩන්ස් හොස්පිටල් එකට ගාලු පාරෙන් හැරෙන තැනට පොඩ්ඩක් කොල්ලුපිටිය දෙසට වෙන්න තියනවා හෝටලයක්. එකේ මේසවලට ඇරලා ඉතුරු වෙන හොදි මාලු නැවත දානවා විකුනන්න තියන භාජනවලට....(බ)
ඩොක්ටර් එඩ්වර්ඩ් ,බුදුහාමුදුරුවෝ පාලකයන්ටත් ගිහියන්ටත් පැවිද්දන්ටත් මනුස්සකමේ නිර්ණායක සිමාවන් කියල දීල තියනවා වෙන වෙනම .කොටින්ම මිනිසා ඉපදිලා ඉන්නේ මිනිසාට සේවය කරන්න .සම්මා කම්මන්ත කියල යහපත් කර්මාන්ත ගැන කියල දීල තියනවා .මිනිස්සු ඒවා පිලිපදින්නේ නැති එකයි වැඩේ . (ස)
ඇත්තමයි එඩ්වර්ඩ් සර්, අපිට කොහෙද මනුස්සකමේ නිර්ණායක .......? (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය, ඔබ තුමාගේ අදහස ඉතාමත් කාලෝචිතයි. අපේ රටේ මිනිස්කම ගැන මොන නිර්නයකද... රටේ ආණ්ඩු හැදෙන්න කලින් මිනිස්කමේ නිර්ණායක ගැන කතා වුණත් ඒ ආණ්ඩු හැදුන පසු කිසිම දෙයක් මතක නැ (ම)
හෙපටයිටීස් -බී අාහාර මගින් බොනොවන රෝගයකි. (ම)
පහන්, ඔබේ පුතා ගැන අපිට හරි ආඩම්බරයි. (නි)
දියුණු රටවල ආහාර ද්‍රව්‍යවල (පිසින ලද හා නොපිසින) ප්‍රමිතියක් ආරක්ෂා කරගන්නේ සමස්ත සමාජ ක්‍රමයම මිනිස්කමට ඇගයුමක් දෙන නිසයි. මිනිසෙකුට මිනිසෙක් විලසත්, සතාට සතෙකු විලසත්, ගසට ගසක් ලෙසත් සළකන්නේ සමාජය ආත්මාර්ථය වෙනුවෙන් උඩුයටිකුරු කරන්න නීතියෙන් හා සදාචාරයෙන් ඉඩක් නොලැබෙන නිසාය. ලංකාවේ මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවක් මේ ගැන උනන්දු නොවුයේ මිනිස්කම තක්සේරු කරන නිර්නායකයක් හඳුනා ගන්න මේ වනතුරු අපොහොසත්වීම නිසයි. ඇත්තෙන්ම මෙය ඛේදජනකයි. (නි)
අපේ පුතාට කවුරුහරි කොත්තු ගැන කිව්වොත් කියන්නේ කන්න එපා රෑට කොත්තු තැටියේ බල්ලෝ පුසෝ නිදියනවා කියලා.එයාගේ අම්ම සහ ආච්චි අම්මා හදන කෑම විතරයි කන්නේ.වයස අවුරුදු 6යි (නි)
ලීටරයේ බීම බෝතලයකින් පොඩි බෝතල් වලට ඇතුළේ තියාගෙන පුරවනවා.ඒ ක්‍රමයට ලාබයිලු. (නි)
. ලිපිය වගේම ඉන්දික මහතාගේ අදහසුත් හරිම වටිනවා (අ)
මෙවැනි ලිපි අන්තර්ජාලය තුළින් මහජනයාගේ දැනගැනීම සදහා පළකිරීම මිල කළ නොහැකි සේවාවකි.ගොඩාක් ස්තුතියි. (නි)
මම දැකපු දෙයක් කියන්නම්. මම සහ මගේ මව ගියා මවට බෙහෙත් ගැනීමට වැල්ලවත්ත ගාලු පාර අසල පිහිටි එක්තරා ලොකු රෝහලකට. බෙහෙත් රැගෙන යළි වාහනයට නඟිනවිට මම දැක්කා ආපන ශාලාවේ මනුස්සයා හෙමිහිට වට පිට බලලා එළියේ රැක් වල දාලා තිබුණු හිස් බීම බෝතල් වලින් බීම බට ටික එකතුකරන් ඇතුළට අරන් ගියා. මේ පාවිච්චි කළ බට මේ යළි වතාවක් මිනිසුන්ට දෙනවා. ඔන්න අපේ මුදලාලිලාගේ වැඩ. (නි)