නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පාසල් නිල ඇඳුම උස මදිවීම නිසා එහි වාටිය ලිහා එය සකස් කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස්දීම පිළිබඳව උරණ වූ එම ශිෂ්‍යාවගේ පියා වන වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරයකු එම පාසලට ගොස්, පාසලේ විනය කටයුතු භාර ගුරුවරියට තර්ජනය කර, අසභ්‍ය වචනයෙන් බැණවැදී ඇය පාසලේ දී දණ ගස්වා තැබීම පිළිබඳ පුවත දුටු මට මෙම ලිපිය ලිවීමට සිත් විය.
එසේ වූයේ 1979 වර්ෂයේ දී එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතා ඔහුගේ පුත‍්‍රයාට පාසලේ දී දඬුවම් කළ පන්තිභාර ගුරුවරයාට ප‍්‍රශංසා සහ උසස්වීම් ලබාදීමේ සිද්ධිය මතක්වීම නිසාය. එදා ශ්‍රී ලංකාවටම සිටියේ එකම අධ්‍යාපන අමාත්‍යවරයෙකි. අධ්‍යාපන අංශයේ සියලූ ආයතන භාරව සිටි ඒ මහතා ඉතාම ආදර්ශවත් ලෙස කටයුතු කිරීමෙන් එතුමාගේ තනතුරේ හා තමාගේ උගත්කමේ තත්ත්වය මනාව පිළිබිඹු කළේය.
එම සිද්ධිය මම කෙටියෙන් සඳහන් කරමි. මෙම ලිපිය ලියන මා 1979 වර්ෂයේ දී මහනුවර ප‍්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකි. මහනුවර දිස්ත‍්‍රික්කයට අදාළ අධ්‍යාපන ආයතනවල සියලූ පරිපාලන කටයුතු ඉටු කෙරුනේ එම කාර්යාලයෙනි. එම කාලයේ දී මා සමග නවාතැන් ගෙන සිටි මගේ මිත‍්‍රයා ගුරුවරයකු වූ අතර ඔහු සේවය කළේ මහනුවර කිංස්වුඞ් මහා විද්‍යාලයේය. ඔහු නමින් ඒ.සී. පෙරේරා විය.
ඔහු කිංස්වුඞ් මහ විදුහලේ 08 ශ්‍රේණිය භාර ගුරුවරයා විය. දිනක් පෙරේරා මහතා හවස නවාතැනට පැමිණියේ මට මෙසේ කියමිනි. ”ධර්මේ අද මම පන්තියේ ළමයින්ට පැවරූ ගෙදර වැඩ කරගෙන නොපැමිණි අය පන්තියෙන් එළියට දමලා දඬුවම් කළා. ඒ අතර අධ්‍යාපන ඇමති නිශ්ශංක විජේරත්න මහතාගේ පුත‍්‍ර මනෝ විජේරත්න ද සිටියා. ඇමතිගේ පුතා කියලා වෙනසක් කළේ නැහැ. හැමෝටම දඬුවම් කළා. හෙට ඉඳලා මට ට‍්‍රාන්සර් එකක් දෙයි ද, වැඩ තහනම් කරයි ද දන්නේ නැහැ. උඹ කොහොම හරි මාව බේරා ගනින්. මාරු කළොත් ළඟ පාසලකට හදල දීපන්”
එදින රාත‍්‍රී හා පසුදා උදේ ද මේ ගැන කථා කළ අපි පසු දින ද සුපුරුදු පරිදි රාජකාරියට ගියෙමු. එදින හවස නවාතැනට පැමිණි පෙරේරා ප‍්‍රකාශ කළේ ”මචං මට හෙට ඇමති හම්බවෙන්න ගෙදරට එන්න කියලා මනෝ අතේ පණිවිඩයක් එවලා තියනවා. මොකද කරන්නේ කියලා.”
මම කීවා බය නැතුව යන්න වෙන දෙයක් හොඳට කියලා හිතාගනිමු කියලා. ප‍්‍රශ්නයක් ආවොත් මට හැකි උදව්වක් කරන්නම් කියලා.”
ඇමති තුමාගේ දැන්වීම පරිදි පසුදින එතුමාගේ නිවසට ගොස් පෙරේරා මහතා එදින හවස නවාතැනට පැමිණියේ කොක් හඬලා සිනාසෙමිනි. තුෂ්නිම්භූතව බලා සිටි මම ”ඒ.සී. අද මොකද වුණේ” කියලා විමසන විටම ලිපියක් ඉදිරිපත් කරමින් ”උඹලට පුළුවන්ද මේ වගේ ලිපියක් ලබාගන්න” කියලා, එය මගේ අතට දුන්නේය. ලිපිය මම කියවූවෙමි. මගේ මතකයේ හැටියට එහි තිබූ සටහන පහත පරිදිය.
එය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී තුමන්ලාට දෙන ශීර්ෂ මුද්‍රිත කොළයකි. එහි සඳහන් වූයේ (දිනය මතක නැත) මෙසේය.
ඒ.සී. පෙරේරා මහතා
08 ශ්‍රේණිය භාර ගුරු මහතා
මහ/කිංස්වුඞ් මහා විදුහල
මහනුවර
ප‍්‍රශංසා කිරීම
ඔබගේ පන්තියේ ඉගෙනුම ලබන මගේ පුත‍්‍ර මනෝ විජේරත්න විසින් අධ්‍යාපන කටයුතු හරිහැටි නොකිරීම පිළිබඳව දඬුවම් කිරීම පිළිබඳව ඔබට ස්තුති කරමි. මෙයට පසුව වුවද මගේ දරුවා පන්තියේ කටයුතු හරි හැටි නොකරන්නේ නම් දඬුවම් කර හෝ ඔහු හරි මගට යොමුකිරීම ඔබේ වගකීමයි. අවංක ගුරු මහත්මයකු වන ඔබට මගේ ප‍්‍රශංසාව පුද කරමි.
මෙයට,
විශ්වාසී වූ,
නිශ්ශංක විජේරත්න
අධ්‍යාපන ඇමති.
මෙම ලිපිය දී, නිශ්ශංක විජේරත්න ඇමතිතුමා පෙරේරා මහතාට මෙසේද කියූ බව ඔහු ප‍්‍රකාශ කළා. ”මොනව හරි උසස්වීම් තිබුණොත් ඉල්ලූම් පත‍්‍ර දාලා පුතා අතේ මට පණිවිඩයක් එවන්න” කියලා ඊට මාස කීපයකට පසු, කාර්මික විද්‍යාලවල තාක්ෂණික විද්‍යා කථිකාචාර්ය තනතුරු සඳහා කැඳවීමක් ගැසට් පත‍්‍රයේ මම දුටුවෙමි. ඒ ගැන පෙරේරා මහතාට ද තොරතුරු දී, මවිසින්ම අයදුම්පත‍්‍රයක් සකස් කර, එය ගරු ඇමතිතුමාට භාරදීමට පෙරේරා මහතාට දුන්නා. ඒ අනුව හෙතෙම කාර්මික විද්‍යාල කථිකාචාර්ය ධුරයට පත්විය.
ඒ එදා උගත් හා මානුෂික හදවතක් ඇති දේශපාලනඥයන් ක‍්‍රියා කළ ආකාරයයි. ඒ නිසා මනෝ විජේරත්න මහතා ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හා අමාත්‍යවරයෙක් ද විය. අද ඒ අධ්‍යාපන අමාත්‍යවරයා හෝ ඔහුගේ පුතනුවන් වන මනෝ විජයරත්න ඇමතිතුමා හෝ ඔහුගේ ගුරුවරයා වූ ඒ.සී. පෙරේරා මහතා හෝ ජීවතුන් අතර නැත. සිද්ධිය දන්නා මා සිටින නිසාත්, නවගත්තේගම සිද්ධිය වැනි දේ ඇසෙන විට දැන් දේශපාලනයේ වෙනස රටේ හා සමාජයේ විනාශයට කොතෙක් බලපා තිබේද යන්න පැහැදිලි වන බවත්, සඳහන් කරන අතර නිශ්ශංක විජේරත්න අධ්‍යාපන අමාත්‍යවරයා ගේ ක‍්‍රියා කලාපය නූතන දේශපාලඥයන්ට ආදර්ශයක් වේවායි ප‍්‍රාර්ථනය කරමි.
ඊ.එස්. ධර්මසේන, විශ‍්‍රාමික සහකාර කම්කරු කොමසාරිස්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා ආදර්ශමත් ඇමතිවරයෙක් සහ දැනට දේශපාලනය කරන අයට ගත හැකි වටිනා පාඩමක් (අ)
කාට කාටත් වයර් මාරු වෙලා වගේ නේද? නිකන් කචල් අදින්නේ නැතුව කතාව රස විඳින්න ! (නි)
ඉස්සර තමා උගත් අයව පාර්ලිමේන්තුවට යැවුවේ. මහජනතාවට අද පාර්ලිමේන්තුවට යවන්න තරම් බුද්දිමත් උගත් අය නෑ. ඉන්න හොද බුද්දිමත් අය දැන් ඔය නීච දේශපාලනය කරන්නේ නෑ. රටට මෙවැනි ආදර්ශයක් දුන් ඔබතුමාට පින් අත් වේවා.(නදී)
හැබැයි ඔය කියන පුතාට අවුරුදු 22 ක් වෙනවලු නේද එතකොට ? (නි)
මේ කතාව විශ්වාස කරන්න අමාරුයි නේද?. මනොද් විජේරතන කොහොමද අටේ පන්තියේ හිටියේ 1979 වසරේ දී. බොරු කතා. කොහොම උනත් හොද ඇමති කෙනෙක්. දැන් ඉන්න අට වගේ නෙමෙයි.(නදී)
ඔබට ස්තුතියි. ලස්සන පාඩමක්. (නි)
මෙවැනි ආදර්ශමත්, බුද්ධිමත් දේශපාලක මහත්වරු මතු මතුත් ඉපදේවා! (නි)
ළමයාගේ අම්ම මේ ගැන උනන්දු උනානම් අද මේ කිසි දෙයක් නැහැනේ . අම්මලාගේ නොසැලකිල්ල හින්ද නිසානේ ඕව සිද්දවෙන්නේ .කොහොමත් ඉතින් අද කාලේ අම්මල කැමැති දුවල කොටට අදිනවටනේ .මොකද එතකොට කපුවන්ට දෙන ගාණ ඉතුරු වෙනවනේ . (දී)
ඇත්තෙන්ම ඔය කියන වකවානුවේ හිටපු දෙමාපියනුත් හරිම කාරුණිකයි, නමුත් අද කාලේ ඉන්න බහුතර කාන්තාවෝ තම ස්වාමි පුරුෂයා පොඩ්ඩක් දේශපාලනයට සම්බන්දනම් තියෙනවා නම් බලාගන්න පුළුවන් ඒ නෝනලගේ රඟේ.(නදී)
ප්‍රියා, ඔබගේ මතයේ තමයි මමත් ඉන්නේ. ලංකාවේ හැම රැකියාවකටම ඉල්ලුම් කරන්න කුමන හෝ අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුයි. ඒත් වැඩි වැටුප්, දීමනා, වරප්‍රසාද (මීට අමතරව ගසාකෑම්, කොමිස්) ලබන දේශපාලනය කරන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැහැ. පලා බබෙක්ට ඉල්ලුම් කරන්න හරි උපාධියක්වත් තිබීම අනිවාර්ය කල යුතුයි. (නි)
එතුමාගේ හිත හොඳයි (නි)
එදා වුනේ ඉගෙනීම නොකළ නිසා දඩුවම් දීම. එය හරි. ගවුම උස හෝ කොටවීමක් නොවෙයි.අද තියෙන්නේ වැඩක් නෙති දේවල් අල්ලාගෙන කරන විකාර. (නි)
පාර්ලිමේන්තුවට යන්න අවම සුදුසුකම උපාධිධාරියෙක් නම් හොදයි. උගත් වැදගත් අයව පාර්ලිමේන්තු යවන්න, එදා සහ අද වෙනස බලන්න. උගත් අයව පාර්ලිමේන්තු යවන්න (නි)
මෙම ලිපිය පල කිරීමට අදහස් කළ ලංකාදීප කතෘ මණ්ඩලයට අනේක වර ස්තුතිය පුදමි. මගේ ඉල්ලීම නම් මෙවැනි වටිනා අත්දැකීම් හිත්වල දරා සිටින අතීත පරම්පරාවේ වියතුන්ගේ හඩ විවර කොට එවැනි හරවත් රසවත් අත්දැකීම් වර්තමාන සමාජයේ ඔල මොට්ටල ක්‍රියාවන්ට එරෙහිව සමාජගත කොට අපේ දරුවන්ගේ සිත් සතන් වල ඒ ගුණවත්කම් තැන්පත් කරවීමට උත්සාහ කරන ලෙසයි. ලංකාදීප පුවත්පත ඒ සදහා අවැසි ධෛර්යය සහිත බව මගේ හැගීමයි. එසේම තම දරුවන් ලොකු නිලයින් නොව ගුණ යහපත් මිනිසුන් බවට පත් කිරීමට කැමති සියලුම දෙමාපියන් එවැනි ලිපි කියවීමට දරුවන් හුරු කරවනු ඇති බව විශ්වාස කරමි. ධර්මසේන මහතාට දීර්ඝායුෂ පතමි. (නි)
නිවන් සුව නෙවේ, මතු පරපුර වෙනුවෙන් අප අතරම නැවත ඉපදේවා!(නදී)
ඒ කාලේ උගතුන් ආවට දැන් එන්නේ මැරකම් සහ හොරකම් උගතුන්නේ. මේ ක්‍රමය තිබෙන තාක් අපට මේවා බල බල ඉන්න වෙයි. (නි)
මෙම ලිපිය පලකල මහත්මාට බොහොම ස්තුති.ආදර්ශවත් හිටපු ඇමති තුමාට නිවන් සුව පතමි. (ස)
ඕනේම දෙයක් වැඩියෙන් තියන කොට එකේ කිසිම වටිනා කමක් නැහැ වගේ. ඉස්සර හිටියේ ඇමතිවරු කීදෙනාද මුළු ලංකාවටම. දැන් එහෙමද ලග තියන පදුරකට පයින් ගැහුවොත් මැති ඇමති වරු, මන්ත්‍රීවරු, පලා බබ්බු කොච්චර එක පාරට විසිවෙයිද. ඉස්සර තිබුනේ හොදට පිරුණු කල, දැන් තියෙන්නේ සේරම අඩුවට පිරුණු කල.(නදී)
මේකට ප්‍රතිචාර දක්වන අයත් නියමම අය තමයි. කෝ මේ අයගේ විචාරශීලි බුද්ධිය? (නි)
නිස්සංක මහත්තයා කියන්නේ ගරුබුහුමන් කලයුතු උත්තමයෙක්. (නි)
කොටි වගේ කල්ලි බලවත් වුනේ මේ අය රට පාලනය කරන කාලේ. දරුණු ප්‍රබාකරන් වගේ මිනිසුන් පාලනය කරගන්න ඔය මහත්වරුන්ට බැරුව ගියා. මේ අවශ්‍යතාවය නූතන පාලනය තුලින් බිහිවුනා. ඔවුන් ඇමෙරිකාව වගේ රටවල් වලට යට වෙන්නේ නැතුව ලංකාවේ අවශ්‍ය තත්වයන්ට අනුව තීරණ ගත්තා. හැබැයි ඔය කියන කාලෙත් අද වගේම චන්ඩි පාතාලේ හිටියා. මැද කොළඹ දේහපාලන ඉතිහාසය අරන් බලපුවහම දිග ඇරගන්න පුළුවන්. (නි)
මනෝ විජේරත්න උපන්නේ 1957. ඔහුට 1979දි අවු 22යි එතකොට 8 ශ්‍රේණියේ හිටියේ කොහොමද? අනික ඔහු රෝයල් එකේ. කින්ස්වූඩ් එකේ නෙවේ.(නදී)
ඉතාම වටිනා ඇමතිවරයෙක්. ඒ කාලෙ හිටපු මැති ඇමතිවරු ගැන වැඩිහිටියො කියද්දි හරිම සතුටක් ඇතිවෙනවා. නමුත් අද කාලෙ ඉන්න අය ගැන හිතනකොට හරිම කණගාටුවක් ඇතිවෙනවා. ඒ ශ්‍රේෂ්ඨ මහත්වරුන්ට නිවන් සැප ලැබේවා! විශ‍්‍රාමික සහකාර කම්කරු කොමසාරිස් ඊ.එස්. ධර්මසේන මැතිතුමාට බොහෝ ස්තූති වේවා. දීර්ඝායුෂ ලැබේවා. (නි)
ධර්මසේන මහතාගේ අදහසට මමත් එකගයි .නිස්සංක ඇමතිතුමා ඉතා නිහතමානී ඇමතිතුමෙක්.ගරු කළ යුතු මහත්මා ගති ඇති කෙනෙක්. 1979 මමත් ලිපිකරුවෙක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ. ගරු නිස්සංක ඇමතිතුමා මා ළගටම ඇවිත් ආයුබෝවන් කියලා යන දවසේ කියලා ගියේ. හැමෝම ළගට එහෙම ගියා. එහෙමයි නිහතමානී අය.ඇමතිවරු එහෙම ලිපිකරුවන් ලගට ගිහිල්ලා මම යනවා ආයුබෝවන් කියලා යන්නේ නැහැ.ගරු කලයුතු අය එහෙම කළත් අද ඉන්න අය කොහොමද ? (නි)
නවගත්තේගම පාසලේ සිදුවීම මේ අතීතාවර්ජනයේ වර්තමානයට මහගු ආදර්ශයක් (නි)
දැන් අධ්‍යාපනේ සබන්ධව බාරව ඉන්නේ ටියුටරි ගුරුවරුන් නේ .(අ)
මෙතුමන්ලාගේ කාලයේ තමයි රටට ඇති නියමම දේශපාලඥයෝ හිටියේ (නි)
මෙවැනි අතීත වටිනා අත්දැකීම් අද සමාජය වෙත ගෙන හැර පෑම පිළිබදව ඔබතුමාට බෙහෙවින් කෘතඥ වෙමි. මෙවැනි ලිපි කියවා හෝ අද සිටින උගතුන් යැයි කියා ගන්නා ඇමතිවරුන් අධ්‍යාපනයට සිදුකරන හානිය පිලිබදව ස්වයං විවේචනයක් සිදුකර ගන්නට තරම් නිහතමානී වන්නේ නම් යැයි මට හැගෙන සිතුවිල්ල ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනි විය හැකිය. (නි)
මට මතක් උනේ මේ කතාව දැක්කම මෙතුමා අනුරාධපුරේ මහා දිසාපතිවෙලා ඉන්න කාලේ පුතා එක්ක වාහනේ යද්දී ළමයින්ට හැමදාම වාහන වල ගියාම තනියම බස් එකක යන්න ඉගෙන ගන්නේ නැහැ කියල හිටිගමන් වාහනේ නවතපු වෙලාවක මග දමල ගියා. ළමයා පාරේ බස් එකක නැගලා තනියම පාර හොයාගන ඇවිත් තියනවා. අද වාගේ දවසක එහෙම පාරේ දමලා ගියානම් දෙවියන්ගේම පිහිටයි ළමයට.(නදී)