IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දකුණේ ගමක් බියපත් කළ හොල්මන සොයන්න ගිය ගමනක්

කැකණදුර, බණ්ඩාරනායකපුර ගම්මානයම මේ දිනවල භීතියට පත්ව ඇත්තේ හොල්මන් සිද්ධියක් නිසාය. තුන්මෝදර බෙදුම්ඇළ වංගුවේ මෙම හොල්මන සිටින බව ගැමියෝ කියති. අතීතයේ සිට බෙදුම් ඇළ වංගුව ලෙස හැඳින් වූ ස්ථානය අද වන විට යකා ඇළ වංගුව ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ අදෘශ්‍යමාන සිද්ධියත් සමගය. මාතර නගරයට නුදුරින් පිහිටි ඓතිහාසික වෙහෙරහේන සිද්ධස්ථානය පිහිටා තිබෙන්නේ මෙම මාර්ගයේය. එහි සිට කිලෝ මීටර් පහක පමණ දුරක් ගිය පසු බණ්ඩාරනායකපුර ගම්මානය හමු වෙයි. මුළු ගමම අද කතා කරන්නේ එකම මාතෘකාවක් ගැනය. බෙදුම් ඇළ වංගුවේ හොල්මන ගැන කතා කරන නිවසක් කඩ පොළක් මංසන්ධියක් නොමැති තරම්ය. එම ගමට පමණක් සීමා වූ මෙම හොල්මන් සිද්ධිය මේ වන විට මුළු රටේම ආන්දෝලනයක් ඇතිකර තිබේ. එම නිසාම ඒ ගැන සෙවීමට ඉකුත් 05 වැනි දින රාති‍්‍ර මා බණ්ඩාරනායකපුර ගම් පියස වෙත පිටත්ව ගියෙමි. මාතර නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන මාගේ මිතුරෙකු වූ යූ.එම්. මාධව දසුන්ද මේ ගමනට එකතු විය. මාධවගේ ගම් ප‍්‍රදේශය බණ්ඩාරනායකපුර හෙයින් ඒ සඳහා මා ඔහු තෝරා ගත්තෙමි. රාති‍්‍ර 7.00ට පමණ ගොස් පළමුව අප ගම පුරා ඇවිද්දෙමු. සියලූ දෙනා කතා බහ කරන්නේ හොල්මන් සිද්ධිය ගැනය. අරයා දැක්කලූ, මෙයා දැක්කලූ, හොල්මනකට බය වෙලාලූ, එවැනි කරුණුය. ඊට අමතරව බොහෝ දෙනෙකු රාති‍්‍ර ගමන් බිමන් යාම අඩු කර තිබේ. වෙනදා මංසන්ධි අසල රෑ බොවන තෙක් ගත කරන තරුණයින් අද වන විට පෙනෙන්නට නොමැත. බිරින්දෑවරු සිය සැමියන් සවස 6.00 න් පසු නිවසින් බැහැරව යාමට නොදී සිටින්නේ ඔවුන්ට ඇති ආදරය නිසාවෙනි. ගම්මානයේ පදිංචි වැඩි දෙනෙකු වෙනදා මෙන් නොව රාති‍්‍ර ආහාර වේල වේලාසනින් සකස් කොට දොර ජනෙල් වසා කාබී කල් ඇතිව නින්දට යාම පුරුද්දක් කරගෙන තිබේ. ඇල්ලකන්ද වැවේ සිට ගලාගෙන එන ජලය එකම ස්ථානයකින් ඇළ මාර්ග තුනකට බෙදී ගලා යාම නිසා තුන්මෝදර බෙදුම් ඇළ ලෙස හඳුන්වති. ඊට සම්බන්ධව ප‍්‍රධාන මාර්ගයේ පිහිටි වංගුව බෙදුම් ඇළ වංගුව ලෙස හඳුන්වනු ලබයි. ඈත අතීතයේ සිට තොවිල් පවත්වා අවසානයේ පිදේනි තටු එම ස්ථානය වෙත ගෙනවිත් තැබීම ගම්වාසීන්ට අලූත් අත්දැකීමක් නොවේ. එසේ තටු ගෙනවිත් තබා බෙර ගැසීම හා දුම්මල ගැසීම ද සම්ප‍්‍රදායක් ලෙස සිදු කරන්නකි. තොවිලය පවත්වන නිවස තුළ කපන ලද දෙහි, බෙදුම් ඇළට ගෙනවිත් දැමීමද අරුමයක් නොවේ. එම නිසා ගැමියන් එම කටයුතු ගණන් ගෙන නොසිටියහ. එහෙත් දැනට මාස කිහිපයක සිට එම ස්ථානය අසල රාති‍්‍ර කාලයේ කාන්තා රුවක් පෙනෙන්ට පටන් ගැනීමත් සමග මෙම භීතිය හා ත‍්‍රාසය හටගෙන තිබේ. ගමේ පදිංචි ආරක්ෂක අංශයේ සාමාජිකයින් දෙදෙනෙකුද එම අත්දැකීමට මුහුණ දී තිබීම දෙවරක් සිතා බැලිය යුතු කරුණකි. එබැවින් මෙම හොල්මන් සිද්ධිය එක පයින් බැහැර කළ නොහැක්කකි. ජේ. කොඩිකාර (49) මහතා බණ්ඩාරනායකපුර ගම්වාසීන් අතර වැදගත් චරිතයකි. ඔහු ප‍්‍රදේශය තුළ ගෞරවාන්විතව ජීවත් වන අයෙකි. කොඩිකාර මහතා හොල්මනකට බය වී ඇති බව පසුගිය දිනවල ගම පුරා පැතිර ගිය ආරංචියකි. ඔහු කිහිප දෙනෙකුට තමා මුහුණදුන් අත්දැකීම පැහැදිලි කර දුන්නද එය පැතිර යාමත් සමග හිසරදයක් බවට පත්විය. ඔහු නිවසින් එළියට බසිනවාත් සමගම බොහෝ දෙනෙකු අදාළ සිද්ධිය ගැන විමසති. එය කොඩිකාර මහතාට පමණක් නොව ඔහුගේ බිරිඳ හා දරුවන්ටද වධයක් විය. හොල්මන් සිද්ධිය ගැන කීම හැර වෙන වැඩක් කිරීමට කාලයක් ඉතිරි නොවීය. මේ නිසා ”මම හොල්මනක් දැක්කේ නැහැ” යයිද ඔහු ඇතැම් අයට කීය. මා සමග ගිය මාධව මිතුරා කොඩිකාර මහතාගේ හිතවතෙකි. මාධ්‍යයට තොරතුරු ලබාදීම තම ඉදිරි කටයුතුවලට බාධාවක් වන නිසා පළමුව මාගේ යෝජනාවට යම් අකමැත්තක් ඔහු ප‍්‍රකාශ කළද පසුව මාධවගේ ඉල්ලීම කොඩිකාර මහතාට බැහැර කළ නොහැක්කක් විය. ඔහු සිය ත‍්‍රාසජනක අත්දැකීම පිළිබඳව මෙසේ විස්තර කළේය. ”මම රැකියාව කරන්නේ ගාල්ලේ. උදෑසන 5.10ට වෙහෙරහේන පාරෙන් යන බසයක තමයි රැකියාවට යන්නේ. ඒත් දැනට මාසයකට පමණ පෙර නිවසේ සිට කොන්ක‍්‍රීට් පාර දිගේ මම වෙහෙරහේන පාරට ගියා. සුපුරුදු බසය නොපැමිණි නිසා කැකණදුර මංසන්ධියට ගොස් යටියන පාරේ බසයක යන්න තීරණය කළා. ප‍්‍රධාන පාරේ විදුලි ආලෝකය නොමැති කළුවර තැනකදී සුදු පැහැති සායක් හා හැට්ටයක් හැඳගත් කාන්තාවක් මා ඉදිරියට ආවා. ඇගේ වයස අවුරුදු හතළිහක් පමණ ඇති. ”මහත්තයා බස් එක අද කලිං ගිහින්. මමත් හංදියට යනවා” කියා ඇය මා පසුපසින් පැමිණියා. ”මට උදේ පාන්දරම වැඩට යන්න තියෙනවා. සැමියාගේ තුනටියෙන් පහළ පණ නැහැ. එක තැන ඉන්නේ. දියණියන් තිදෙනෙකු සිටිනවා. ඔවුන් පාසල් යවන්නේ අමාරුවෙන්. මම හම්බ කරලයි පවුලම ජීවත් කරවන්නේ. ගම දෙයියන්දර” බවද ඇය මා හට කියාගෙන කියාගෙන ගියා. ඒ හැම වචනයකටම මම හා ඇත්තද? හ්ම් හ්ම් කියමින් සවන් දුන්නා. ඒත් මට කල්පනා වුණා මෙච්චර විස්තර ඇයි මට කියන්නේ කියලා. ඒ විදියට ඉදිරියට යද්දී මගේ සෙවනැල්ලට වඩා විශාල සෙවනැල්ලක් ඉදිරියෙන් ගමන් කරනවා දැක්කා. ඒ මට පිටුපසින් පැමිණෙන කාන්තාවගේ බවත් පෙණුනා. ඒත් ඒ සෙවනැල්ල විශාලයි. මට ලොකු අමුත්තක් දැනුනා. මගේ පිටුපසින් අවතාරයක් වගේ දෙයක් එනවා වාගේ පෙණුනා. මම අඩි ගමන ඉක්මන් කළා. ඒ වගේ වෙලාවකදී පිටුපස බැලීම හොඳ නැහැ කියා පොත පත ආශ‍්‍රයෙන් කියවා තිබූ නිසා මම එක ඇසකින් පිටුපස අන්තය බලන්න උත්සාහ කළා. එවිට මා සමග කතා කරමින් පැමිණි කාන්තාවගේ සාය විශාල වී එහි වාටිය මගේ කරට උඩින් කනේ ගෑවෙන නොගෑවෙන ගානට තිබුණා. මම ඉක්මනින් කැකණදුර හංදියේ බස් නැවතුම්පොළ වෙත දුව ගියා. ඒ ගිහින් වෙහෙරහේන පාර දිහා බැලූවත් කිසිවෙක් පේන්න හිටියේ නැහැ. මිනිත්තු පහක් පමණ ඒ දෙසම බලාගෙන ඉන්න විට බසයකට නගින්න තවත් පුද්ගලයෙකු එම මාර්ගයෙන් පැමිණියා. මම ඔහුගෙන් ඇහුවා පාරෙදි කවුරුවත් හමුවුනාද කියලා. ඔහු කීවා. මමත් තුනේ කණුව අසල ඉඳලා ආවේ. කවුරුවත් දැක්කේ නැහැ කියලා. මට සිදු වූ දෙය ඔහුට නොකියා මම කීවා. කවුරු හරි සැක කටයුතු කෙනෙක් පාරේ ඉන්නවා දැක්කා කියලා. ඉන්පසු මම වැඩට ගිහින් සවස ගෙදර ඇවිත් උදෑසන සිද්ධිය බිරිඳට කීවා. සති දෙකකින් පමණ පසුව හිතවතෙකුගේ ගෙදර ගියාම ඔවුන් උදෑසන 3.00 බස් එකේ කොළඹ යන්න සැලසුම් කර තිබුණා. මට සිදු වූ සිද්ධිය ඔවුන්ට පවසා ඒ වේලාවට නොයන ලෙස දැනුම් දුන්නා. ඉන් පසු මේ ආරංචිය ගම පුරා පැතිර ගියා. මම වගේ තවත් අය මේ හොල්මන දැකලා තිබෙනවා කියලා දැනගත්තා. මම හොල්මන් හා අවතාර විශ්වාස කරනවා. ඒත් හිතේ ලොකු ශක්තියක් තිබුණ නිසා හානියක් සිදු වුණේ නැහැ. ඒ වනවිට අතේ පිරිත් නූලක්ද ගැට ගසා තිබුණා. සිද්ධියෙන් පසු කවුරුත් ඒ ගැන අහන්න පටන් ගත් නිසා මම පිරිත් නූලත් ගලවා දැමුවා. මම හිතනවා මැරිච්ච කෙනෙකු හෝ දිෂ්ඨියක් හෝ ඒ විදියට එන්න ඇති කියලා. මට කියපු තොරතුරු අනුව එවැනි කාන්තාවක් ගමේ පදිංචිව ඉන්නවාදැයි සොයා බැලූවත් මේ දක්වා හමු වුණේ නැහැ. ඒ නිසා මෙය කිසියම් අද්භූත බලවේගයක් බව සිතනවා.” මේ අතර මෙම හොල්මන් සිද්ධියත් සමග ගමේ පදිංචි කිහිප දෙනෙකු විවිධ අනතුරුවලටද ලක්වී තිබුණි. ඇතැම්හු වාහන පෙරළා ගත්හ. තවත් අය ඇළට වැටිණි. වාහනයේ එන්ජිම බෙදුම් ඇළ වංගුව අසලදී කි‍්‍රයා විරහිත වී නතර වූ අයද සිටිති. විශ‍්‍රාමික යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු වූ අනුර පල්ලියගුරු (51) මහතාද එසේ අනතුරට ලක්ව තුවාල ලැබූ අයෙකි. තමාට සිදු වූ දෙය පිළිබඳව ඔහු මෙසේ විස්තර කළේය. බයිසිකල් පදින විට කන්දකින් පහළට ඇද වැටී අවුරුදු දහයක් වයසැති දැරියක් මිය යාමේ මළ ගෙදරට සහභාගි වීම සඳහා මම මාකාවිටට ගොස් සිටියා. ඒ අසල නිවසක මාගේ මිතුරන් කිහිප දෙනෙකු මත්පැන් ද පානය කළා. ඒ සඳහා අවශ්‍ය කටගැස්ම මා සාදා දුන්නා. රාති‍්‍ර 12.00 විතර මම තනිවම ගෙදර එන්න පිටත් වුණා. අතරමගදී මා පදවන යතුරු පැදියේ පිටුපසට කවුරුන් හෝ ගොඩවී ගමන් කරන බව මට දැනුනා. බයිසිකලයේ බර ගතියකුත් තිබුණා. කවුරුන් හෝ වාඩි වී එන බව මට හොඳට මතකයි. හරියටම බෙදුම් ඇළ වංගුව අසලදී බසිසිකලයේ හැඩලය පාලනය කරගන්න මට බැරි වුණා. ඒ නිසා බෙදුම් ඇළට විසිවී ගොස් ඇද වැටුනා. බොහොම අමාරුවෙන් ඇළෙන් ගොඩට පැමිණ නිවසට ආවා. මට තනිවම යතුරු පැදිය ගන්න බැරි වුනා. මගේ හිසට තුවාලත් සිදුවී තිබුණා. ගෙදර ඇවිත් බිරිඳට කියා තිබුනේ මළ ගෙදර ගිහින් එද්දී ඇළට වැටුණා. මා එක්ක බයික් එකේ පිටුපස වාඩි වී තවත් අයෙකු ආවා. ඇළට වැටුණු පසු ඔහුට කුමක් වූවාද නොදන්නා බවයි. ඉන් පසුව බිරිඳ හා අසල්වාසීන් එක්ව බෙදුම් ඇළට ගොස් මා කියන ලද පුද්ගලයා යතුරු පැදියට යට වී සිටිනවාදැයි සොයා බැලූවත් එවැනි අයෙකු හමු වුණේ නැහැ. ඔවුන් යතුරු පැදියත් ගොඩට ගෙන තිබුණා. එයට කිසිම අලාභයක් සිදුවී නැහැ. හරි පුදුමත් හිතුණා. බයික් එක පිටුපස වාඩිවී පැමිණි කෙනා අදෘශ්‍යමාන බලවේගයක් බව පසුව අවබෝධ වුණා.” මෙම හොල්මන දුටු බව කියන උළුවඩුගේ සඳුන් (42) මහතා මෙසේ කීය. ”මම රැකියාව ලෙස ගස් බිස්නස් කරනවා. දැනට මාස දෙකකට විතර කලින් කපන ලද නිදහස් දැව තොගයක් යාළුවෙකුගේ ගෙවත්තේ දමා ට‍්‍රැක්ටරයද එහි නවතා තනිවම ගෙදර යන්න ආවා. ඒ වනවිට වේලාව රාති‍්‍ර 11.00 පමණ ඇති. බෙදුම් ඇළ අසලදී මගේ පිටුපසින් කළුවට කවුදෝ එනවා දැක්කා. මම ඉක්මනින් ගමන් කළා. ගෙදර කිට්ටුවට ගිහින් බිරිඳට කතා කළා. ඇය දොරකඩ ළඟට ඇවිත් මගෙන් ඇහුවා කවුද පිටුපස්සෙන් එන්නේ කියලා. මම කීවා දන්නේ නැහැ කියලා. කොහොම හරි කළුවට පිටුපසින් ආපු කෙනා මගේ බිරිඳටත් පෙනී තිබෙනවා. මේ සිද්ධියත් එක්ක මමත් ටිකක් බය වුණා.” බෙදුම් ඇළ වංගුව අසල වෙළෙඳ සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වූ අරුණ විජේසිංහ (40) මහතා මෙසේ කීය. ”මගේ ඇස් දෙකට නම් ඔය කියන හොල්මන පෙනිලා නැහැ. ඒත් දැකපු අය ගොඩක් ඇවිත් මෙතන කියවනවා. අලූයම 3.00 විතර කොළඹ යන්න ගිය පෙදරේරුවෙකුත් එය දැකලා තිබෙනවා. සුදු පාට ඇඳුමක් ඇඳගෙන අත් බෑගයක් කරේ දමා ගත් කාන්තාවක් ඔහුට පෙනිලා තිබෙනවා. කැකණදුර හංදිය දක්වාම ඇය ඔහුගේ පිටුපසින් ගොස් එක්වරම නොපෙනී ගොස් තිබෙනවා. ඒ වගේම නාවික හමුදා නිලධාරියෙකුත් එම හොල්මන දැක තිබෙනවා. ඔහුගේ පසුපසිනුත් ඔය කියන කාන්තාව ඇවිත් තියෙනවා. ගෙවල් දෙයියන්දර හොරපාවිට බවත්, සැමියා රිය අනතුරකට ලක්ව ඔත්පලව සිටින බවත් ප‍්‍රකාශ කර තිබෙනවා. කොහොම හරි ඔහු සමග ටික දුරක් ගොස් දැන් වැඩට යන්න බැහැ පරක්කු වෙලා කියලා හොල්මන ආපසු හැරී තිබෙනවා. කොහොම හරි ඔය කියන හොල්මන බලන්න මමත් රාති‍්‍ර කිහිප විටක් බෙදුම් ඇළ වංගුව අසලට ගියා. ඒත් කිසිම හොල්මනක් දැක්කේ නැහැ. මේ දිනවල වහින නිසා වැස්සට හොල්මන් පේන්නේ නැහැ කියලත් කතාවක් තිබෙනවා. ඒ නිසාද කියලා හරියටම කියන්න දන්නේ නැහැ.” මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්ලිව්.කේ. අකලංක (15) සිසුවා මෙම හොල්මන දැක ඇත්තේ ජංගම දුරකතනයෙන් ලබා ගත් ඡුායාරූප දෙකකිනි. ඔහු මෙසේ කීය. මම තවත් යාලූවෙකු සමග රාති‍්‍ර 7.00 විතර බෙදුම් ඇළ වංගුව අසලට ගියා. හොල්මනක් දැක්කේ නැහැ. ඒත් ජංගම දුරකතනය රැගෙන ගිය නිසා බෙදුම් ඇළේ ඡායාරූප කිහිපයක් ගත්තා. එවිට ඡායාරුප දෙකක ඇට සැකිලි පේන්න තිබුණා. එක ඇට සැකිල්ලක් බෝක්කුව උඩ වාඩිවී සිටියා. අනෙක ඇවිදිමින් සිටියා. මම ගෙදර ඇවිත් ඒ ඡායාරූප දෙක තාත්තට පෙන්නුවා. රෑට නින්දෙදි බයවෙයි කියා තාත්තා ඒ ඡායාරූප දෙක මකලා දාන්න කීවා. ඒ අනුව මම ඒ ඡායාරූප දෙක කැමරාවෙන් ඉවත් කළා.” එම සිසුවාගේ පියා වන පි‍්‍රයංග සංගපි‍්‍රය මහතා මෙසේ කීය. මම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය කරනවා. ගෙදර ඉන්න විට පුතා ඇවිත් ජංගම දුරකතනයේ ඡායාරූප පෙන්නුවා. එහිදී දැක්කා බෙදුම් ඇළ වංගුව අසල ඇට සැකිලි දෙකක් පේන්න තිබෙනවා. ඒ ඡායාරූප ඒ තරම්ම පැහැදිලි නැහැ. යම්තම් බලාගන්න පුළුවන්. පුතා රෑට නින්දෙන් බයවෙන නිසා මම කීවා ඒ ඡායාරූප දෙක මකලා දාන්න කියලා. ඒ අනුව පුතා ජංගම දුරකතන කැමරාවෙන් ලබාගත් ඡායාරූප ඉවත් කර තිබෙනවා.” බෙදුම් ඇළ අසලම පදිංචිකාරියක වූ අනුලා වික‍්‍රමාරච්චි (47) මහත්මිය මෙසේ කීවාය. ”ඒ ආසන්නයේ හිටියත් මට නම් තවම කිසිවක් පෙනිලා නැහැ. ඒත් හොල්මනට බය වී අපේ ගෙදරට දුවගෙන ආපු අය ඉන්නවා. කකුලක් නැති කාන්තාවක් දැක්කලූ. පස්සෙන් දුවගෙන ආවලූ. ඔය විදියට ගොඩක් දේ කියනවා. කොහොම නමුත් මේක අපිට ලොකු ප‍්‍රශ්නයක්. ඒ වගේම ගමේ ආරක්ෂාවට ලොතු තර්ජනයක්. මෙහි සත්‍ය අසත්‍යතාවය සෙවීම අත්‍යාවශ්‍ය කරුණක්. එසේ නොමැති වුවහොත් රාති‍්‍ර කාලයේ මනුස්සයෙක් පේන්නවත් නැති නිසා හොරුන්ගේ මංකොල්ලකරුවන්ගේ රජදහනක් වේවි. ගමේ වැදගත් කිිිහිප දෙනෙක් මේ හොල්මන දැකලා තිබෙන නිසා බොරුය කියලා අහක දාන්නත් බැහැ. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු හෙළි කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.” මේ පිළිබඳව දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් විමසුවෙමි. ඊට හේතුව පසුගිය කාලයේ හොල්මන් සිටිනවා යයි කියන බංගලාවක ඔහුද පදිංචි වී සිටි නිසාවෙනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාගේ ප‍්‍රශ්නයට උත්තර දුන්නේ රසවත් කතන්දරයක්ද සමගිනි. ”මා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කාලයක් ගාල්ලේ රාජකාරි කළා. දවසක් මාත් එක්ක ජීප් එකෙන් යනවිට පොලිස් සැරයන් රියදුරු ආරියසේන කීවා සර් මේ අපිත් එක්ක වැඩ කරපු උප පොලිස් පරීක්ෂකවරයෙක් මැරිලා තියෙන්නේ. අනේ පව් කියලා. මරණ දැන්වීමකුත් පෙන්නුවා. මටත් ඔහු දැකලා පුරුදු නිසා ඒ ගැන දුක සිතුනා. ඉන් දෙදිනකට පසු කාර්යාලයේ සිටින විට මිය ගිය බව කී උප පොලිස් පරීක්ෂකවරයා මට ඉදිරියෙන් සිටින බව පෙනුණා. මේ හොල්මනක් ද කියලත් සැක හිතුණා. කෝකටත් කියලා ආරක්ෂාවට පිස්තෝලයත් අතට ගත්තා. ටික වේලාවකින් පසු වෙනත් අංශයක් දෙසට යන්න ගියා. ඒ බව කාටවත් කීවේ නැහැ. පසුදින පොලිස් සැරයන් රියදුරු ආරියසේනට කීවා. අර මැරිලා කීව එස්.අයි. මහත්තයා ඊයේ රෑ මම දැක්කා කියලා. එවිට ඔහු කිව්වා ඔව් සර් ඒ මනුස්සයා ජීවත් වෙනවා. යාළුවෝ විහිළුවකට මරණ දැන්වීමක් ගහලා කියලා.” ඒ නිසා හොල්මන් කියලා දෙයක් ඇති කියලා මම හිතන්නේ නැහැ. මේක හිතේ ඇති වන දෙයක්. මීට පෙර මම හිටපු බංගලාවේ හොල්මන් තියෙනවා කියලා ගොඩක් අය කීවා. ඒත් මම දැකපු හොල්මනක් නැහැ. මේ හොල්මන් සිද්ධිවලට නීතියෙන් දඬුවම් කරන්න හැකියාවක් නැහැ. නමුත් එම සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම් ඊට එරෙහිව කි‍්‍රයා කරනවා. හොල්මන් සිද්ධි හරහා අපරාධ සිදු කරනවා නම් එය නීති විරෝධි කි‍්‍රයාවක් වෙනවා. කෙසේ වෙතත් දකුණු පළාතේ සෑම ගමකම සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවා තිබෙනවා. ඒ සාමාජිකයින්ට පුළුවන් රාති‍්‍ර සිදුවන මේ සිද්ධි ගැන සොයා බලා ගම්වාසීන් දැනුවත් කරන්න.” කෙසේ වෙතත් මේ පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ජගත් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීය. ”හොල්මන් කියලා දෙයක් නැහැ. හොල්මන් ඉන්නවා හෝ තියෙනවා වගේ කියලා අපට පේන එක විතරයි වෙන්නේ. හොඳ ආලෝකය තියෙන තැනක මේවා පේන්නේ නෑනේ. පේ්න්නෙ අඳුරෙදි හෝ අඩ අඳුරෙදි විතරයි. ඒ වගේම හුදකලාව චකිතයකින් ඉන්න විටත් පේනවා. හිත ගැස්සිලා චකිතයෙන් ඉන්න විට හොල්මන් පේනවා.” ”මේවා වැඩිපුර පේන්නේ කුඹුරුවල, ගොරක ගස් යට, සොහොන් පිටිවල, ඇළ මාර්ග අසල, වංගුවල ආදී තැන්වල තමයි. හොල්මනක් කියා හිතාගෙන බලන විට එය පේනවා. මානසික රෝගීන්ටත් හොල්මන් පේනවා. පේන හොල්මන් මෙන්ම කතා කරන හොල්මන් පවා තිබෙනවා. එක් අයෙකු විතරක් නොව කණ්ඩායමකට වුණත් හොල්මන් දකින්න පුළුවන්. එතකොට හැමෝම කියනවා. අපිත් දැක්කා අපිත් දැක්කා කියලා. කාලයක් ග‍්‍රීස් යකා සිද්ධිය ආවෙත් එහෙමයි.” ”මේක හිතින් සිදුවන කි‍්‍රයාවලියක්. එය නීති විරෝධි වැඩ කරන අයට ලොකු පහසුවක් වෙනවා. මනස තමයි මේ සියල්ලට මූලික වෙන්නේ. කාටවත් හොල්මන් අල්ලන්න බැහැ. මේක මිථ්‍යා දෘෂ්ටියක් විතරයි.” කෙසේ වෙතත් කැකණදුර බෙදුම් ඇළ වංගුව අසල සිටින හොල්මන අල්ලා ගැනීමට ඇතැම් දිනවල තරුණයින් කණ්ඩායම් වශයෙන් රැය පහන් වනතුරු සිටින බවද වාර්තා වේ. එහෙත් මේ දක්වා එම හොල්මන ඔවුන්ට අල්ලා ගැනීමට නොහැකි වී තිබේ. මේ සිද්ධිය හරහා ඉදිරි කාලය තුළ නීති විරෝධී කටයුතුද සිදුවිය හැක. එම නිසා මෙම අදෘෂ්‍යමාන බලවේගය කුමක්ද යන්න සොයා බලා කටයුතු කිරීම වැදගත් වේ. හොල්මන සිටින තැන බව කියන ස්ථානයේ විදුලි ලාම්පුවක් සවි කිරීමටද මාතර ප‍්‍රාදේශීය සභාව කි‍්‍රයාකර ඇත්තේ ඒ නිසාවෙනි. එහෙත් එතැන සිට මීටර් දෙසීයක පමණ දුරක් මෙම හොල්මන ගමන් කරන බව ගැමියෝ කියති. වේලාව රාති‍්‍ර 12.00 පමණ විය. මමත් මාධවත් බෙදුම් ඇළ වංගුව අසලට වී පැය කිහිපයක් ගත කළෙමු. එහෙත් අප දුටු හොල්මනක් නොමැත. නමුත් අප සිටිනවා දැක ඒ අසලටම පැමිණ ආපසු හැරී මාර්ගය දිගේ යන ඇතැම් අය දුටුවෙමු. අවස්ථා කිහිපයකදීම ඩිජිටල් කැමරාවෙන් හොල්මන සිටින බව කියන තැන ඡායාරුප ගත්තෙමි. ඒවායෙහි විවිධ දේ සටහන්ව තිබිණි. අවසානයේ අලූයම 2.00 පමණ මමත් මාධවත් කිසිදු කරදරයකින් තොරව බෙදුම් ඇළ වංගුව හෙවත් යකා ඇළ වංගුව අසලින් පිටත් වූයෙමු.

ඡායාරූප හා සටහන  -  මාතර කි‍්‍රෂාන් ජීවක ජයරුක්
හොල්මන වාඩි වී සිටින බව කියන බෝක්කුව. හොල්මන යයි කියන ඡායාවක් ඩිජිටල් කැමරාවේ සටහන්ව තිබූ අයුරු.  



අදහස් (21)

දකුණේ ගමක් බියපත් කළ හොල්මන සොයන්න ගිය ගමනක්

හරින් Monday, 17 September 2012 09:48 AM

කාගේ හරි පිස්සෙක්ගේ පිස්සු වැඩක් වෙන්න ඇති !!! (ස)

:       0       0

රංජිත් Monday, 10 September 2012 02:20 PM

දුමින්ද - මම දන්නේ නැති හින්දයි අහන්නේ. ඔය චලනය වන වස්තු හැටියට ඔබ හැදින්වූයේ ‍මොනවාද ? .(ස)

:       0       0

දුමින්ද Monday, 10 September 2012 09:07 AM

හොල්මන් නෑ ,චලනය වන වස්තු හොල්මන් කියා මිනිස්සු සිතනවා...(ස)

:       0       0

උදිත Monday, 10 September 2012 02:42 PM

පිස්සු !!! .(ස)

:       0       0

මේනකා Tuesday, 03 January 2017 06:36 AM

මට හිතෙන්නේ මනස දුර්වල නම් විතරයි මේ වගේ පෙනෙන්නේ.නමුත් බුදු දහමට අනුව නම් විශ්වයේ හැම තැනම සැරිසරන මෙවන් ඡායා තියනවා. අපි අපේ ඇගේත් හැප්පෙනවා ඇති (බ)

:       0       0

චාමික Monday, 15 October 2012 07:50 PM

මේවා අපිට එකහෙලා බැහැර කරන්න බෑ..බුදු දහමට අනුව මේවා වෙන්න පුළුවන් නේද ? (ස)

:       0       0

රුවන් Monday, 10 September 2012 09:59 AM

හැමදේම බොරු කියලා ඉවත දමන්න බැහැ (නි)

:       0       0

රුවන් Monday, 10 September 2012 09:56 AM

නොපෙනුනාට මේ වගේ දේවල් තවත් තිබෙනවා (නි)

:       0       0

සිතුම් Friday, 21 September 2012 03:10 AM

මම ඉතාලි වල ඉන්නේ අවුරුදු 17ක ඉදන්. මෙහේ නම් ඔය කියන විදියේ හොල්මන් දැකපු කෙනෙක්වත්, ඕවා ගැන කියන කෙනෙක්වත් හොයාගන්න බැහැ. ඔක්කොම හොල්මන් මෙහේ තමයි. (නි)

:       5       0

ජයකොඩි Friday, 14 September 2012 09:26 AM

සමන් ඔබ හරි. මෙතන ප්‍රතිචාර දාන බෞද්ධ අයට අමනුෂ්‍යයන් බොරුයි නම් ඉතිං බුදුදහමත්...? (නි)

:       0       0

හර්ෂණ Sunday, 09 September 2012 08:58 PM

මේ ඡායාරූප වල ඇති හොල්මනක් නැහැ අනේ. (නි)

:       0       0

සැමුවෙල් Monday, 10 September 2012 04:30 PM

මල හොල්මන්. මානසික රෝගීන් වෙනත් අයගේ මනසට නැති මිථ්‍යා හොල්මන් ඔබනවා..(ස)

:       0       0

ලංකාපුත්‍ර Monday, 10 September 2012 11:48 AM

මොකද හර්ෂණ, අනේ පනේ පාට් දාන්නේ. ඔයා හර්ෂණ ද හර්ෂණී ද? (නි)

:       0       0

ජාලිය Monday, 10 September 2012 05:17 PM

දකුණේ විතරක් නෙවෙයි. දැන් රට හැමතැනම හොල්මන් (දී)

:       0       0

අහිංසා Thursday, 13 September 2012 09:46 PM

හොද කැමරාකරුවෙකුගේ ඡායාරූප වල කිසිදාක හොල්මන් දකින්න බැහැ. නටන්න බැරි මිනිහට පොළව ඇදයිලුනේ. (නි)

:       0       0

අශෝක් Tuesday, 11 September 2012 03:34 AM

මේ කණාමැදිරියන්ගේ ඡායාරූපනේ. මේවාද චංචල වස්තු? (නි)

:       0       0

සහන් Saturday, 15 September 2012 10:49 AM

අපට කෙලින්ම ඇසට නොපෙනුනාට හොල්මන් අවතාර කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා.. මේවා බැහැර කරන්න බෑ...(ස)

:       0       0

අසන්ක Monday, 10 September 2012 01:05 AM

මේ කට්ටියත් නිකන් හොල්මන් වගේ මට නම් පෙනෙන්නේ. අනේ මන්දා මට මතක නැහැ. (නි)

:       0       0

සමන් Tuesday, 11 September 2012 08:40 AM

ඩිජිටල් කැමරා වල ඇති සමහර දර්ශන මාත් දැකලා තියෙනවා. මේවා ඒකපාරටම බැහැර කරන්න බෑ. අපි නොදන්න අපිට නොතේරෙන ගොඩක් දේවල් මේ විශ්වයේ පවතී.. (ස)

:       0       0

වෙනුර Monday, 10 September 2012 06:38 PM

හම්බ වෙල නැහැ වගේ (දී)

:       0       0

රුවන්Thursday, 08 February 2018 06:33 AM

සමන්, ඉතාලියේ ඔච්චර කල් හිටියත් ඉතාලිය ගැන වැඩිය දන්නැහැ වගේ, පොඩ්ඩක් හොයල බලලම මිසක් නොදන්න දේවල් ගැන කථා නොකරන්න. ප්‍රත්‍යක්ෂ වුන අත්දැකීම් තියෙන කෙනෙක් මම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 148 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 509 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 144 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 142 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 321 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 624 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 269 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site