”රොක්හවුස් බීච් එක අයිනේ තියන ගෙදරක ඉන්න ජෝඩුවක් මේ ළඟදි හම්බවුණු පොඩි එකා ඉස්පිරිතාලෙදිම කාටදෝ විකුණලා සල්ලි අරන්. සර් මේ ගැන හොයලා බලන්න”
මෝදර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලූපුල් සෝමසිංහ මහතාට ඔහුගේ පෞද්ගලික ඔත්තු කරුවකු දුරකථනයෙන් කතාකර දැනුම් දී ඇත්තේ එසේ පවසමිනි.
ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෝමසිංහ මහතා මේ ගැන වහා සොයා බලන ලෙස පවසා ඇත්තේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් වික‍්‍රමරත්න මහතාටය.
පොලිස් පරීක්ෂක වික‍්‍රමරත්න මහතා පොලිස් ස්ථානාධිපතිවරයා ලබාදුන් තොරතුරු ඔස්සේ රොක්හවුස් පටුමගේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි ඒ පැල්පත් නිවෙස සොයා ගියේ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ද සමගය.
පොලිස් කණ්ඩායම යන විටත් අඹු සැමි යුවළක් හා ඔවුන්ගේ අවුරුදු 2 ක් වයසැති දරුවාද සමග ඒ නිවසේ සිටියහ.
”කෝ තමුන්ට ඊයේ පෙරේදා ලැබුණු පොඩිඑකා. ඒ පොඩිඑකා තමන්ලා වික්කා නේද? කාටද වික්කේ” යැයි කියා පොලිස් පරීක්ෂක වික‍්‍රමරත්න මහතා විමසුවේ ඒ ගෙදර සිටිය කාන්තාව ගෙනි.
පොලිස් පරීක්ෂකවරයා ඇසූ ප‍්‍රශ්නවලට උත්තරදීමට නොහැකිව කාන්තාව වෙවුලන්නට පටන් ගත්තාය.
ඇයගේ සැමියා බිමබලාගෙන හිටියේ මේ වෙන්න යන්නේ කුමක්දැයි කියා සිතමින් විය යුතුය.
අඹු සැමි යුවළ පොලිස් ස්ථානයට රැගෙන ගොස් අලූත උපන් බිළිඳා ගැන ප‍්‍රශ්න කළේ විකුණූ දරුවා සහ දරුවා ලබාගත් කාන්තාවද සොයා ගැනීමටය.
බිළිඳා විකිණීමට තැරැව්කරුවන් ලෙස කාන්තාවන් දෙදෙනකු සම්බන්ධවී ඇති බව පොලිසිය හෙළිකරගත්තේ අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළගෙන් ප‍්‍රශ්න කිරීමේදීය.
තැරැුව්කාර කාන්තාවන් දෙදෙනා රෝහිණී හා කුමාරි යනුවෙන් නම් හෙළිකරගත් පොලිස් කණ්ඩායම මොහොතක්වත් ප‍්‍රමාද නොවී රොක්හවුස් වෙරළ ආසන්නයේ පදිංචිව සිටින එම කාන්තාවන් දෙදෙනා සොයාගොස් ඔවුන්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් රෝහිණී නමැති කාන්තාව හෙරෝයින් ජාවාරම්වල නිරතව සිටින්නියක බවත් ඇයගේ නම කොළඹ දිස්ත‍්‍රික්කයේ කුඩු අලෙවිකරන අයගේ ලැයිස්තුවේ පවා තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් හෙලිවිණි.
හෙරොයින් සමග මීට මාස 2 ක පමණ කාලයකට ඉහතදී මේ කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටින තැනැත්තියක බවද හෙළිවිය.
මේ බිළිඳා විකුණූ පියා වන ඩඞ්ලි හෙවත් ඩගී නමැත්තා ධීවර රස්සාවේ නිරතවන බව පැවසුවද ඔහු රෝහිණී නමැති කාන්තාවගේ හෙරොයින් විකිණීමද කරගෙන යන අයකු බවට තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.
මේ කියන දැන හැඳුනුම්කම් මත අලූත උපන් පොඩි එකා විකිණීමට කාවහරි කෙනෙක් සොයා දෙන ලෙස පවසා ඇත්තේ රෝහිණී නැමැත්තියටය.
රෝහිණී කුමාරි සමග එක්වී බිළිඳිය විකිණීමේ වැඬේට අත ගසා ඇත.
බිළිඳා විකිණීමට කෙනෙක් සොයා ඇතැයි කියන්නේ කුමාරි නමැති කාන්තාවය.
උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ පදිංචි මස්කඩ මුදලාලි කෙනකු පොඩි එකෙක් දරුකමට හදා ගැනීමට සොයන බව දැනගත් කුමාරි ඔහු සොයාගොස් මේ බව දැනුම් දී ඇත.
විවාහ වී වසර හත අටක් ගතවුවත් මස්කඩ මුදලාලි දරුවන් නොමැති නිසා බිරිඳටද මේ බව දැනුම් දී දරුවෙක් හදා ගැනීමට ගන්නා තීරණය කර කුමාරිට පවසා ඇත.
දරුකමට හදා ගැනීමට ගන්නා බිළිඳාගේ මව්පියන්ට රුපියල් 50,000 ක පමණ මුදලක් ගෙවීමට මස්කඩ මුදලාලි නැමැත්ත ප‍්‍රකාශ කර තිබේ.
”වැඬේ හරි. මස්කඩ මුදලාලි රුපියල් 50,000 ක් උඹලාට දෙන්න පොරොන්දු වුණා. ළමයා ඉස්පිරිතාලෙන් ටිකට් කපපු ගමන් අපට ඕනෑ. ආයෙ ගෙදර ගෙනියන්න බැහැ. පොඩි එකා ගෙදර එක්කගෙන ගියොත් මේ වැඬේ ආරංචි වෙන්න පුළුවනි.”
කාන්තාවන්් දෙදෙනා ඩගී සමග පැවසුවේ ළමයා අතට ගත්ත ගමන්ම සල්ලි ටික අතට ලැබෙන බව පවසමිනි.
පොලිස් පරීක්ෂක වික‍්‍රමරත්න සහ කාන්තා පොලිස් පරීක්ෂිකා දුල්මිණි මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් උස්වැටකෙයියාව ප‍්‍රදේශය බලා පිටත්ව ගියේ මුදලාලිට විකුණා හිටි බිළිඳා සොයාය.
පොලිස් කණ්ඩායම මස්කඩ මුදලාලිගේ නිවෙසට යනවිටත් බිළිඳා තොටිල්ලක සුව නින්දක පසුවිය.
මස්කඩ මුදලාලි සහ ඔහුගේ බිරිඳ ද පොලිස් අත්අඩංගුවට පත්වූයේ බිලිඳෙක් මුදලට ලබාගැනීමේ චෝදනාව යටතේය.
දරුකමට බිළිඳා හදාගැනීමට සොයාදීම වෙනුවෙන් කුමාරිට හා රෝහිණීට මස්කඩ මුදලාලි රුපියල් 25,000 ක පමණ මුදලක් ලබාදී ඇති බවද තොරතුරු පොලීසියට ලැබී ඇත.
පොලීසියට විසඳාගත යුතු ඊළඟ ප‍්‍රශ්නය වූයේ පොඩි එකා විකුණා ලබාගත් රුපියල් 50,000 සල්ලිවලට අඹු සැමි යුවළ කුමක් කළේද යන්න කියාය.
පොලිස් නිලධාරියෙක්:- පොඩි එකා විකුණා ගත්තු සල්ලිවලට මොකද කළේ?
සැකකාර සැමියා ඩගී:- බැඳපු දා ඉඳලා අපි හිටියේ කුලී ගෙවල්වල. පොඩි එකා විකූණා ගත්තු සල්ලිවලින් රුපියල් 18,000 කට වැල්ල අයිනේ තිබුණ පැල්පතක් මිලදී ගත්තා. ඉස්පිරිතාලෙන් ඉඳලා ගෑණිව එක්කගෙන ආවේ අලූතින් ගත්තු ගෙදරටමයි.
පොලිස් නිලධාරියා:- ඉතිරි සල්ලි වලට මොකද කළේ?
සැකකරු:- ඒ සල්ලිවලින් ගෙදර කෑමට බීමට බඩු මුට්ටු ගත්තා. කීයක්වත් අතේ ඉතිරි කරගන්න බැරි වුණා.
බිළිඳාගේ මව වන රේණුකාගෙන් ද පොලිසිය ප‍්‍රශ්න කළ අවස්ථාවේ ඇය පැවැසුවේ මෙවැනි කතාවකි.
දරුවා බඩට ඇවිත් මාස කිහිපයක් ගියාට පස්සේ සැමියා කිව්වා අපි බැඳපු දා ඉඳන් ඉන්නේ කුලී ගෙවල්වල. මේ දරුවා ලැබුණාට පස්සේ කාට හරි ගාණකට විකුණලා අපටම කියා පොඩි ගෙයක් ගමු කියා. මම සැමියාගේ යෝජනාවට මුලින්ම කැමැති වුණේම නැහැ. සැමියා දරුවා විකුණමු කියා නිතර මට බලපෑම් කළා. බැරිම තැන සැමියාගේ කීමට මම එකඟ වුණා. හැමදාම ඉන්නේ කුලී ගෙවල්වල නිසා අපේම කියා ගෙයක් ඕනෑ නිසා තමා පොඩි දරුවා විකිණීමට කැමැති වුණේ. අපිට තව දරුවෙක් ඉන්නවානේ කියා හිත හදා ගත්තා. ඒත් දරුවා විකුණලා ගෙදර ආවට පස්සේ දරුවා ගැන මතක් වෙලා හැඬුවා. දරුවා වෙනුවෙන් කිරි උණද්දි ඒ දුක තවත් වැඩිවුණා. ඒත් අපිටම කියා ගෙයක් ලැබුණනේ කියා හිත හදා ගත්තා.
තවදුරටත් රේණුකා නමැත්තිය පොලිසියට මෙසේද පවසා ඇතැයි දැනගැනීමට ඇත.
රාගම ඉස්පිරිතාලේදි මට පිරිමි දරුවෙක් ලැබුණා. නිරෝගී ලස්සන පුංචි පුතෙක් මට ලැබුණා. දරුවා ලැබුණේ පසුගිය 24 වැනිදා. රෝහලෙන් මගේ ටිකට් කැපුවේ. ටිකට් කපාගෙන බබාත් තුරුළු කරගෙන රෝහල් කොරිඩෝවෙ දිගේ එද්දි සැමියා කුමාරි හා රෝහිණී එක්ක ආවා. කලින්ම සැමියාට සල්ලි දීලා තිබිලා. ඒ ගොල්ලෝ ආපු ගමන් මගේ අතේ උන්නු දරු පැටියා උදුරලා වාගේ අරන් යන්න ගියා. ඊට පස්සේ අපි ගෙදර ආවා. අපි දෙන්නා කෙළින්ම ආවේ පොඩි පුතා විකුණලා ගත්තු සල්ලිවලට අරන් තිබුණු ගෙරදට යැයිද පොලීසිය පවසා තිබෙන බව කියති.
බිළිඳා විකුණූ මව නුවර ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය වැල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක මෙහෙකාර වෘත්තියේ නිරතව සිටියදී ඩඞ්ලි නමැත්තා හඳුනාගෙන ඔහු සමග විවාහ වී ඇත.
බිළිඳා විකුණු පසු ලබාගත් මුදල්වලින් රුපියල් 18,000 ක පමණ මුදලකට අඹු සැමි යුවළට මුහුදු වෙරළට ආසන්නයෙන් නිවසක් මිලදී ගැනීමට උදව් කර ඇත්තේද බිළිඳා විකිණීමට තැරැුව්කාරියන් ලෙස කටයුතු කළ කාන්තාවන් දෙදෙනා විසිනි.
මස්කඩ මුදලාලිගෙන් ලැබුණු රුපියල් 25,000 ක මුදල මේ කාන්තාවන් දෙදෙනා බෙදාගෙන ඇති බව පොලිසියට දැනගැනීමට ලැබී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් හා සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කුසලානි පුංචිහේවා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප නියම කළද ඇප කොන්දේසි ඉටුකිරීමට නොහැකිවූ නිසා රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
රුපියල් ලක්ෂය බැගින් වන ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප හා පදිංචිය තහවුරුකිරීමේ ලේඛන ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් කුසලානි පුංචිහේවා මහත්මිය පැනවූ ඇප කොන්දේසි ඉටුකරලීමට නොහැකිවීම නිසා ඔවුන් රිමාන්ඞ් බාරයට පත් කෙරිණි.
දින හතක් පමණ වයසැති බිළිඳා ළමා නිවාසයකට බාරදීමටද අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ උතුරු සහ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී නන්දන සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මෝදර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලූපුල් සෝමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබූවේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් වික‍්‍රමරත්න, උප පොලිස් පරීක්ෂිකා දුල්මිණි, පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් (84253) සහ කැලූම් (86471) යන මහත්ම මහත්මීන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහ අසාධාරණ වැඩක්නේ. දරුවා විකුනපු එක මිලේච්ඡ වැඩක් උනත් සල්ලි වලට හරි දරුවා හදාගන්න ගත්තු එකට ඒ මනුස්සයට දොස් කියන්නේ කොහොමද? ඒ මනුස්සයා ළමයව හදාගන්න ගත්තේ තමන්ට ළමයි නැති නිසානේ. සමහර විට අර දෙමව්පියන් ළඟ ඉන්නවට වඩා ඒ මුදලාලි එක්ක ඉන්න එකෙන් ඒ ළමයගේ ජිවිතේ ලස්සන වෙන්න ඉඩ තිබුණා. දැන් ඉතුරු වෙන්නේ අවුරුදු 16ක් වෙනකන් අනාථයෙක් විදිහට හැදෙමින් , ලෝකෙටම වෛර කරමින් අනාථ නිවාසෙක දුක් විඳින එක. මේ ළමයගේ අනාගතේ අඳුරු උනොත් එ්කට මේ හිනාවෙලා ඉන්න බලධාරිනුත් වග කියන්න ඕනේ. (නදී)
මේකේ අැත්ත අපිට තේරුනත් පොලිසියේ ලොකු මහත්තයට තේරෙන්නේ නැහැනේ (නදී)
කුසට අහරක් හිසට සෙවනක් නැති වුන දාට අපි කවුරුත් ඔය තත්වයට පත්වෙනවා .මේවා මානුෂිකව බැලිය යුතු දේවල්.(අ)
මෙතන අදහස් දමල තියන හැමෝම එක්කමමත් එකගයි. නීති මාර්ගයෙන් දරුවාව ඒ මුදලාලිට දෙන්න තිබුනා ඒ දරුවා අනාතයෙක් නොකොට.(දී)
මුදලාලි දරුකමට හදාගන්නනේ ගත්තේ. දැන් ඒ ළමයා ළමා නිවාසෙට යයි (නදී)
ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ මුදලාලිට කළ දේ අසාධාරනයි.දරුවාට අල්ලපු අත්තත් නැහැ පයගපු අත්තත් නැහැ. දරුවා අනාථයෙක් වුණා.මුදලාලිට දරු සුරතල් බලන්න බැරි වුණා. (නි)
අනේ මන්දා! මේ ළමයව එක්කෝ අම්මලාටම බාරදෙන්න ඕනෑ, නැත්නම් අර හදාගන්න ගත් අයටම දෙන්න තිබුනා. (නි)
දරුවට ඉන්න තැන ඉන්න දුන්නා නම් දරුවවත් සතුටින් ඉදී. ළමා නිවාසවල මොන දුකක්ද ? හදාගන්න බැරි පුළුවන් කෙනෙකුට දෙන එකේ වරදක් නැහැ. මුදලට ගනුදෙනු නොකර (නදී)
කෙසේ නමුත් දරුවාව එයාලට දෙන්න තිබුනේ නීත්‍යානුකූල ක්‍රමයටයි.ඒකයි ඔතන තිබෙන ප්‍රශ්නය.එයාලා දුප්පත්නේ. (නි)
මගේ අදහසත් දරුවාව ගත්තු දෙමාපියන්ටම දෙන්න කියලා.මෙතැනදී නීතිමය ක්‍රමයක් තියෙනවා නේද මාපිය කැපකරු කියලා. එම ක්‍රමයට දරුවාව දෙන්න. දරුවට හොඳ අනාගතයක් ලැබේවි. (නදී)
අපේ ලංකාවේ නීතිය කවදාවත් දරුවාගේ යහපත ගැන බලන්නේ නැහැ. මේ කෙහෙල්මල් නීතිය නිසා දරුවෝ කීදෙනෙකුට යහපත් ජීවිත ගත කරන්න තිබුන අවස්ථා නැති උනාද ? (නදී)
දුප්පත් කමට එහෙම කලත් ඒ දරුවා සුවයෙන් ඉන්නවා නේද, ඉතින් ඒ ළමය අරන් ළමා නිවායකට බාර දුන්නේ මොකටද? (ස)
දුප්පත්කමටනේ! (නි)
පොලිසිය කරන්නෙම ඔය වගේ වැඩනේ! (නි)
සල්ලි දීලා හරි දරුවා ගත්තෙ දරුවන් නැතිකමටනේ. (නි)
මේ ළමයාගේ ඉරනම මස් කඩ මුදලාලි ළඟ හැදුනා නම් මීට වඩා හොඳ වෙයි. මේ වගේ දේවල් ගැන සානුකම්පිතව බලන්න ක්‍රමවේදයක් තිබිය යුතුයි. (නදී)
පවු දුප්පතුන්! (නි)
මම හිතන්නේ මේක නීති මාර්ගයෙන් කළා නම් ඔහොම වෙන්නේ නැහැ (නි)
පොලිසියෙන් ලොකු වැඩක් කරලා තියෙන්නේ. බලමුකෝ හිනාවේ ලස්සන. (නදී)
මේවට වඩා කොපමණ ජරා වැඩ දේශපාලුවෝ කරනවද. කෝ ඒවාට නීතිය. (නදී)
අනේ ඒ දරුවා අනත නිවසේදී ඉන්නවට වැඩිය සතුටින් සමහරවිට විකුනපු තැන ඉන්න තිබුනේ. දැන් ඒ දරුවට ඉතුරු උනේ "අනාථය" කියන එක විතරයි. (නදී)
මමත් සුමුදු සමග එකඟයි. දරුවන් නැති දෙමාපියන් සල්ලි වලට හරි අරන් දරුවෙක් හදාගන්න එක හිරේ යන්න තරම් වරදක්ද..? (නි)