IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පිටරට වාහනවලට වැටුණු අපේ නම්

‘‘මචං මට  ඕනෑ හොඳ කනේ මයිල් මොඞ්ල් කාර් එකක්’’ මිතුරන්ට එසේ පවසමින් ‘‘කනේ මයිල් මොඩලයක්’’ සොයමින් ලංකාව පුරා ඇවිද ගිය ඡායාරූප

අත්තනායක මොඞ්ල්

මාධ්‍යවේදී මිතුරකු මට සිහිපත් වෙයි. අවසානයේ දී ලක්‍ෂ 5ක මුදලක් වැයකර කළු පැහැති කනේ මයිල් මොඩලයක් මිලට ගත් ඔහු උදම් ඇනුවේ ලක්‍ෂ 20කට ඉල්ලූවත් මේක නම් ආයෙ විකුණන්නේ නෑ යි පවසමිනි.

මේ කනේ මයිල් මොඩලය වනාහි වෝක්ස්වැගන් මෝටර් රථය යි. අදටත් වෝක්ස්වැගන් මෝටර් රථයක් තමා සතු කරගන්නට ප‍්‍රිය කරන, තවත් අතෙකින් පැරැණි වාහනවලට ප‍්‍රිය කරන්නෝ සුලබ වෙති.

එහෙත් මේ වදන් වියමන පැරැණි වාහන ගැන නම් නොවේ. අන්වර්ථ නම් පටබැඳුණු අන්වර්ථ නමින්ම ජනප‍්‍රියත්වයට පත් වාහන පිළිබඳවය.
වෝක්ස්වැගන් කනේ මයිල් මොඞ්ල් වීමේ කතාන්දරය පසෙක තබා ලියන්නට අවැසි තවත් කරුණු කිහිපයක් තිබේ. එනම් වාහනවලට මෙසේ අන්වර්ථ නම් භාවිත වීමට බලපෑ පසුබිම කවරක් ද යන්න පිළිබඳවයි.

ඒ ඇතැම් වාහනවලට එලෙස වෙනත් නම් භාවිත වූයේ එම වාහනයේ හැඩය අනුවය. එමෙන්ම ඇතැම් වාහනවලට අන්වර්ථ නම් පබැඳුණේ ඒ වාහනය ද සම්බන්ධව සිදුවූ ප‍්‍රකට සිදුවීමක් කරණ කොටගෙනය. අනෙක් හේතුව නම් වෘත්තිකයින් අනුව, එනම් යම් වෘත්තියක නියැළෙන්නන් වෙනුවෙන්ම ගෙන්වන ලද වාහන එම වෘත්තිකයන්ගේ නම් සම්බන්ධ කොටගෙන අන්වර්ථ නමකට හිමිකම් කීමය.

වාහනවලට මෙසේ අන්වර්ථ නම් තැබීමට පුරෝගාමී වූයේ තැරැව්කරුවන්ය. එදා අද මෙන් සන්නිවේදනය දියුණුවේ උච්චස්ථානයකට පැමිණ තිබුණේ නැත. වාහනයේ පින්තූරයක් ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන එය ගැනුම්කරුවන්ට පෙන්වීමේ පහසුකම තබා ජංගම දුරකථනවත් එකල නොතිබුණේය. අනෙක් අතට කටට නුහුරු ඉංගිරිසි නම් කට පාඩම් කර ගැනීමට වඩා ඉහත කී සාධක ඔස්සේ ඒ වාහනය හැඳින්වීමට අන්වර්ථ නමක් යොදා ගැනීම සිංහලයට හුරු වූ

කනේ මයිල්

දෙතොලගට ද පහසුවක් වූයේය. තැරැව්කරුවන් විසින් මෙසේ පටබඳින ලද නම් අවසානයේ එම වාහනයේ නියම නම අමතකව යන මට්ටමට ජනප‍්‍රිය විය.
කනේමයිල්, රුක්මනී මොඞ්ල්, ජේ.ආර්. මොඞ්ල්, උපාලි පියට්, කාපේරි චවලට්, ඩොක්ටර් සනී, ඩෙලිකා වඳුරු මූණ, සමුළු කාර්, බොක්ස් මොඞ්ල්, රට බොඩි බෙන්ස්, අත්තනායක මොඞ්ල්, ඒ.එස්.පී. මොඞ්ල්, ලොටෝ මොඞ්ල්, බිංකුංඩා ට‍්‍රැක්ටරය, යුනිමෝ ලොක්කා, ඞීමෝ බට්ටා, ඞීමෝ බට්ටී, තැපැල් ලොරි, බටු සනී, ඉබ්බා මොඞ්ල්, බඞී. කිච් කිච් ඩෙලිකා කහකුරුල්ලා, පළාත් සභා ජීප් කී නොකී සියලූ වාහනවලට මෙසේ අන්වර්ථ නම් පටබැඳුණු ඉතිහාසය සතුව රසවත් කතාන්දර සමුදායකි.

වෝක්ස් වැගන් මෝටර් රථය කනේ මයිල් නමින් හැඳින්වීමට හේතු භූත වූයේ එහි පිටුපස වීදුරුව ළඟ කනක් වැනි කොටසක් පැවතීමය. එහි ඉරි රටා තිබුණි. ඒ කොටස හැඩය අනුව ගත් කල මිනිස් කනකට සමානය. ඉරි රටා සහිත කනක කොටසක් වැනි වූ උපාංගයක් සහිත වෝක්ස්වැගන් මෝටර් රථයට කනේ මයිල් නම් අපූරු නමක් පටබැඳුණි. ඒ නමේ නිර්මාතෘවරයා කවුරුන්දැයි කීමට නොදන්නා නමුත් නම් බොහොමයක හිමිකරුවන් තැරැුව්කරුවන් බව නම් ඉහත කී පරිදිම සත්‍යයකි. ජේ.ආර්. මොඞ්ල් යැයි නම් තැබුණේ ලොරියකටය. දිගු නහයක් සහ පළල් නළල් තලයකින් හෙබි හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුහුණේ රුවට එම ලොරියේ මුහුණත සැබැවින්ම සමාන විය. සැබැවින්ම ඒ උපමාව එකල පවා රසයක් දනවන්නක්ම මිස  ජනපතිවරයකුට කරන අපහාසයක් නම් වූයේ නැත. තැරැුව්කරුවෙකු හෝ වෙනත් පුද්ගලයෙක් ජේ.ආර්. මොඩලයේ ලොරියක් යැයි පැවසූ විට ඒ ලොරියේ මුහුණත මනසේ පැහැදිලිව සිත්තම් වෙන තරමට එය එදා ජනප‍්‍රිය විය. දිගු නාසයේ හා මුහුණේ දිගටි හැඩය ඒ ලොරි මුහුණතේ ද කැපී පෙනෙන ලක්‍ෂණය ලෙස පිළිඹිබුව තිබුණි.

රුක්මනී මොඞ්ල්

අතිශය ආදරණීය සිනමා තරුවක්ව ජනහදවත්හි ඉඩහසරක් වෙන් කරගත් රුක්මණී දේවිය අවාසනාවන්ත රිය අනතුරකට ගොදුරු වෙද්දී ඇය ගමන් කරමින් සිටියේ ටොයොටා හයිඒස් වෑන් රථයකය. 1970 දශකයේ අග භාගයේ දී නිෂ්පාදනය කළ එම වාහනය ටොයොටා හයිඒස් පරණ මොඞ්ල් ලෙස හැඳින්විණි. එම රිය අනතුර ශෝකයත් සමඟ ශේෂ කළ අනික් දෙය වූයේ රුක්මණී මොඞ්ල් යන වාහන නාමයයි. එදා සිට ටොයොටා හයිඒස් පැරැණි මොඞ්ල් වෑන් රථය රුක්මණී මොඞ්ල් යනුවෙන් බෞතීස්ම ලද්දේය.

අත්තනායක මොඞ්ල් ලෙස හැඳින්වූයේ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර භාවිත කළ ලාන්සර් වැගන් රථයයි. උලපනේ වතු යායක සැඟවී රහස්‍ය ජීවිතයකට පිලිපන් රෝහණ විජේවීර එදා සමාජයට යම් පමණකින් හෝ විවෘත වූවානම් ඒ විවෘත වූයේ අත්තනායක යන නමිනි. ඒ ‘අත්තනායක’ ගේ දෑත් මත විලංගු වැටෙද්දී ඔහු භාවිත කළේ ලාන්සර් වැගන් මෝටර් රථයයි. එනයින් එය එවක් පටන් ලාන්සර් වැගන් නමින් නොව අත්තනායක මොඞ්ල් නමින්ම ප‍්‍රචලිත වූයේය.

වෘත්තිකයින් අනුව අන්වර්ථ නම් යෙදුනු වාහන අතර ඩොක්ටර් සනී පෙරමුණෙන්ම සිටියි.

එෆ්.බී. 13 - ඩොක්ටර් සනී බවට පරිවර්තනය වූයේ එය 1990-93 යුගවල දී ආනයනය කළේ වෛද්‍ය වෘත්තිකයින්ට වෙන්වූ බලපත‍්‍රය වෙනුවෙන් වීම නිසාය. වෘත්තිකයින් වෙනුවෙන් වෙන්වූ තවත් වාහනයක් ජනප‍්‍රිය වූයේ ඒ.එස්.පී. මොඞ්ල් යනුවෙනි. ඒ පොලිසියේ ඒ.එස්.පී. නිලධාරීන් වෙනුවෙන් වෙන්වූ 18ශ්‍රී 19ශ්‍රී ලාන්සර් මෝටර් රථයයි.

මේ අතර වාහන සමාගම් අයිතිකරුගේ නමින් ජනප‍්‍රිය වූ වාහනයක් ද ඇත. ඒ උපාලි පියට් රථයයි. පියට් රථය මෙරට එකලස් කළේ උපාලි විජේවර්ධන නම් ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයා විසිනි. එහෙයින් පියට් රථය උපාලි පියට් යන නමින් හඳුන්වන්නට යෙදුනි.

දෙවැනි ලෝක යුද සමයේ දී අප‍්‍රිකානු කළු ජාතික යුද භටයෝ මෙරටට පැමිණියහ. ඔවුන් ප‍්‍රවාහනය කිරීමට යොදාගත්තේ චවලට් ලොරියයි. කාපිරින් ගේ ගමනාගමනය සඳහා යෙදවූ චවලට් රථය ටික කලක් ඇවෑමෙන් කාපේරි චවලට් යන නමින් ජනප‍්‍රියත්වයට පත්විය.

ඩෙලිකා වෑන් රථය වඳුරු මූණ නමින් හැඳින්වූයේ එහි හැඩය හේතුවෙනි. 1970 දී ගෙන්වූ මිට්සුබිෂි වෑන් රථය බොක්ස් මොඞ්ල් නමින් හැඳින්වූයේ ද පෙට්ටියක හැඩය ගත් එහි බාහිර පෙනුම හේතුවෙනි.

1976 වසරේ දී සිරිමා බණ්ඩාරනායක යුගයේ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ දී පැවැත්විණි. එම සමුළුව සඳහා ගෙන්වන ලද එක් කාර් වර්ගයක් වූයේ පර්ජෝ 504 මෝටර් රථයයි. එය ගෙන්වන ලද්දේ ප‍්‍රංශයෙනි. ප‍්‍රංශයෙන් ගෙන්වන ලද පර්ජෝ 504 ගෙන්වූයේ සමුළුවේ ප‍්‍රවාහන කාර්යයන් සඳහාම වූ බැවින් එය පසිඳු වූයේ සමුළු කාර් යන නමින් ය.

ලොටෝ මොඞ්ල් ඒ නමින් විවරණ ලද්දේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් හඳුන්වා දෙනු ලැබූ ලොටෝ ලොතරැයිය නිසාය. ටොයොටා සී.ආර්. 27 ටවුන් ඒස් වෑන් රථය එදවස ගම් දනව් සිසාරා ලොටෝ ලොතරැයිය බෙදාහරින්නට බහුල ලෙස භාවිත කෙරිණි. ලොටෝ ලොතරැ

ලොටෝ මොඞ්ල්

යියේ ගමන් මගට සරණක් වූ ටොයෝටා සී.ආර්. 27 ටවුන් ඒස් ලොටෝ මොඞ්ල් ලෙස ජනප‍්‍රිය වන්නට ගතවූයේ ද ඉතාමත් කෙටි කාලයකි.

එංගලන්තයේ ලියුම් බෙදීමට පාවිච්චි කළ රතු සහ නිල් පැහැයෙන් යුතු මොරිස් සමාගමේ නිෂ්පාදනය කළ ලොරිය ප‍්‍රකට වූයේ තැපැල් ලොරි යන නමිනි. නිසාන් වැනට් වෑන් රථයේ මුහුණත සිංහ මුහුණ හැඩය ගත් හෙයින් එය සිංහ මූණ නමින් ප‍්‍රකට විය.  නිසාන් බී-ටූ-ටෙන් මෝටර් රථය බටු ගෙඩියක් සේ කුඩා පිම්බුණු ආකාරයක් ගත්තේය. එහෙයින් එයට බටු සනී යන නම පටබැඳුණු අතර මොරිස් සමාගමෙන් නිෂ්පාදනය කළ මෝටර් රථයක් එහි හැඩය අනුව ඉබ්බා මොඞ්ල් නමින් ප‍්‍රකට විය.

සුසුකි, ඉසුසු, හොණ්ඩා, ඩයිහට්සු පොඩි වෑන් රථය ජනතා අතරට ගියේ බඞී යන නමිනි. පිටුපස දොර අරින විට කිචි කිචි ශබ්දයක් නැගුණ ඩෙලිකා වෑන් රථයට කිචි කිචි ඩෙලිකා යන නම පටබැඳුණු අතර ලංගමයට ගෙනා ලටෙක් බස් රථය එහි පැහැය අනුව කහ කුරුල්ලා නමින් ප‍්‍රසිද්ධ විය. පළාත් සභා මන්ත‍්‍රීන්ට ගෙන්වන ලද මිට්සුබිෂි ජීප් රථය ප‍්‍රසිද්ධියට පත්වූයේ පළාත් සභා ජීප් යන නමිනි.

බිංකුංඩා ට‍්‍රැක්ටරය, යුනිමෝ ලොක්කා ඞීමෝ බට්ටා, හාඩිමෝ බට්ටී ඒ නම් ලද්දේ ද එහි හැඩය ප‍්‍රමාණය හා ‘‘සමකාලීන වර්ගයා’’ අතර ඊට හිමි ස්ථානය අනුවය. සැකෙවින්ම ‘‘උස, මහත, ප‍්‍රමාණය’’ අනුවය.

1959 දී ප‍්‍රවාහන සේවය ජනසතු කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංගමය බිහිවිය. ඒ හිටපු අගමැති ඇස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක යුගයේදී ය. ජනසතුවත් සමග ජර්මනියෙන් මෙරටට බස් රථ ගෙන්වන ලදී. පළමුවෙන්ම ලංකාවට ගෙන ආ එම බස් රථ රට බොඩි බෙන්ස් නමින් ජනප‍්‍රිය වූයේ ගමනාගමන මණ්ඩලයේ සේවකයන් හා මගීන් අතරය.

අද වෙද්දී තවත් වාහනයක් තවත් අන්වර්ථ නමකින් ජනතාව අතර ජනප‍්‍රිය වෙමින් පවතී. ඒ සන්ධ්‍යාවන්හි කුඩා මංමාවත් සිසාරා පාන් බනිස් ආදිය තබාගත් පුංචි කැබිනට්ටුවක් ද සහිතව ගමනේ යෙදෙන ත‍්‍රීවීල් රථයයි.

හොඳින් කනට ඇසෙන නළා හඬක් සමඟ සවස තේ පානයට කෙටි කෑම බීම, රාත‍්‍රී ආහාරයට පාන් රැගෙන එන මේ වාහනය එහි නළා හඬ අනුව ජනතාව

පළාත් සභා ජීප්

අතර ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ චූන් පාන් යනුවෙනි. ඇතැම්විට අනාගතයේ දී ත‍්‍රීවීල් රථය චූන්පාන් මොඞ්ල් ලෙස ජනප‍්‍රිය වෙන්නට ද බැරිකමක් නැත. හැඩය, ප‍්‍රකට සිදුවීම් මෙන්ම වෘත්තිකයින් අනුව වාහනවලට අන්වර්ථ නම් යෙදුනා මෙන්ම වාහනවල මුහුණත හැඩයට සමානයැයි යන උපකල්පනය මත මිනිසුන්ට වාහනවල නම් යෙදෙන අවස්ථා ද ඇතැම් විට කනින් කොණින් අසන්නට ලැබේ.

ලොරි මූණා, ලොරියා එලෙස වාහනවල හැඩය අනුව මිනිසුන්ට යෙදුන නම්ය. මෙවැනි යෙදුම් සැබැවින්ම දනවන්නේ උපහාසයක් මිස අපහාසයක් නම් නොවේ. මෙකී වගතුග අප අපේ පන්හිඳට අකුරු කොට ගත්තේ ද එනිසාවෙන් ම ය.

(මාලඹේ පුංචි කාර් නිවෙස පෞද්ගලික සමාගමේ සභාපති සරත් යාපා බණ්ඩාර මහතා දැක්වූ සහයෝගයට අපගේ විශේෂ ස්තූතිය හිමිවේ.)

 

සටහන : සංජීවිකා සමරතුංග

 



අදහස් (28)

පිටරට වාහනවලට වැටුණු අපේ නම්

ෂාම් ස්විට්සර්ලන්තය Sunday, 16 June 2013 01:12 PM

හොඳ පුවතක්.(නදී)

:       1       0

ධම්ම Wednesday, 05 June 2013 04:39 PM

ඇයි....ඇන්ග්ලියා යැන්කි මොඩල්, බක් පියට්, නයිලොන් බෙන්ස්, ලාන්සර් බොක්ස්. (නදී)

:       0       0

ගෝනා හාමු Tuesday, 04 June 2013 01:45 PM

මම අහලා තියෙන තවත් නම් කීපයක්; මනමාල ෆෝඩ්, බෝල රෝසා (බස්), බෝල කෝස්ටර් (බස්), තැපැල් නයින්ටි, සමනැල මූණ මැස්ඩා, ටියුබ් ලයිට් මොඩල්, බටු සනී.(නදී)

:       0       0

දමිත් Thursday, 06 June 2013 02:39 AM

කෝ ඩොල්ෆින් එහෙම නැද්ද? (නි)

:       0       0

දිසානායක Friday, 07 June 2013 02:10 AM

මෙන්න නියම පුවතක්

:       0       0

මනෝරිකා Wednesday, 19 June 2013 05:11 PM

ෂා නියමයි ලිපිය නම් (නි)

:       0       0

විමලසේන හ.ද. Friday, 07 June 2013 05:02 PM

ඔව් ඉතින්. අපි කාර් හදන්න දන්නේ නැති නිසා නම් හරි දාගනිමු (නි)

:       0       0

කට්ටා Friday, 07 June 2013 03:13 AM

255 පාරේ ගිය අයට මතක ඇති ඒ අතීතය. කට කපලා කැම්පස් ගිය හැටි මතකයි (නි)

:       0       0

ප්‍රසාද් විතානගේ Wednesday, 05 June 2013 09:54 AM

නියමයි. ඒක උසස් ලිපියක්.(නදී)

:       0       0

චමත් Tuesday, 18 June 2013 08:18 PM

ඩිමෝ බට්ටා, යුනිමෝ ලොක්කා වගේ නම් ඒ වෙළඳ සමාගම් විසින් දාපු නම් මිසක් මේ වගේ හැදිච්ච නම් නොවේ.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 03 June 2013 07:37 PM

සංජීවිකා ඉදිරිපත් කරන ලිපි හරිම ආකර්ශනීයයි. බොහොම ස්තුතියි. (නි)

:       0       0

සමන් තුෂාර Saturday, 08 June 2013 09:50 PM

අපි නොදන්න තව කොච්චර දේවල් නම් තියෙනවද?(නදී)

:       0       0

සතිස් Thursday, 06 June 2013 08:12 PM

කොට මොඩල්, ළඟ පිකප්.(නදී)

:       0       0

සීගිරි Monday, 03 June 2013 09:50 PM

මං ගාවත් තියෙනවා මොඩිෆයි කරපු ඉබ්බා කාර් ඵකක්. (නි)

:       0       0

ගලබඩ Wednesday, 05 June 2013 03:14 PM

අලුත්ම සාහිත්‍යයක්.....ඉතාම රසවත්.(ස)

:       0       0

හසීම් Tuesday, 04 June 2013 05:24 PM

සංජීවික සමරතුංග කියන්නේ විශිෂ්ට මාධ්‍යවේදිනියක්. ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 June 2013 03:37 PM

ඇයි....ඉස්සර නුවර පුරා දුවපු 'යකා බස්'?, හයි ඒස්/පජෙරෝ 'දිග මොඩල්' සහ 'කොට මොඩල්'. 'මුක්කන් ෆෝඩ්', 'බේබි ඇන්ග්ලියා' සහ 'බේබි ඔස්ටින්', ඩේලිකා 'උඩ පැඩල්' 'යට පැඩල්', (නදී)

:       0       0

රොහාන් ඉලේපෙරුම Wednesday, 05 June 2013 03:49 PM

හසල දැනුමක් ඇති දක්ෂ මාධ්‍යවේදිනියක් ,සියලු ලිපි කියවා ඇත්තෙමි. ඔබට සුබපැතුම්.(නදී)

:       0       0

චමින්ද Tuesday, 04 June 2013 11:58 AM

මනඃකල්පිතව බොරුවට හිතලා ලියන ලිපි වලට වඩා මේ වගේ ලිපි හරි රසවත් (නි)

:       0       0

අමල් Saturday, 08 June 2013 02:07 PM

ඇයි මැස්ඩා සිංහමූණ? ටවුන් ඒස් ලොටෝ එකට නම් නම ආවෙ කොහොමද කියන්න හරියටම දන්නෑ. හැබැයි ඒකෙ ජපානෙන් එනකොටම ලියල එන්නෙත් සි.ආර් 27 ලොටෝ කියලා.(නදී)

:       0       0

චන්න Thursday, 06 June 2013 03:43 PM

කවුරුත් නොදන්නා කතාවක් (දී)

:       0       0

සම්පත් Wednesday, 05 June 2013 12:24 PM

සංජීවිකාගේ ලිපි වලට මමත් කැමතියි.(නදී)

:       0       0

උදේනි පනාගොඩ මිලානෝ Wednesday, 05 June 2013 10:18 PM

මගේ මහත්තයාට නම් තියෙන්නේ "තල්ලු ෆෝඩ්" එකක්, ගිය ගිය තැන කැඩෙනවා.(නදී)

:       0       0

විජේකූන් Tuesday, 04 June 2013 12:14 PM

ඉතාම රසවත් ලිපියක්! (නි)

:       0       0

කුමාරි Wednesday, 05 June 2013 07:27 AM

මේ වගේ ලිපි දාන කොට තවත් ටිකක් විස්තර හොයල බලනවානම් හොදයි. සමහර තැන් පොඩ්ඩක් වරද වගේ. උදාහරණයක් විදියට ජේ.ආර් මුණ කියන්නේ වැන් ජාතියක් ලොරියක් නෙවෙයි. (දී)

:       0       0

මනෝරිකා Thursday, 20 June 2013 11:24 AM

ඇත්තටම මේ වගේ නොදන්නා දේවල් කොච්චර තියෙනවද? (නි)

:       0       0

චින්තක Tuesday, 25 October 2022 12:23 PM

දැන් තියෙනවා මුරුත්තෙට්ටු මොඩල් මොඩල්, බෝම්බ මොඩ්ල් වගේ අන්වර්ථ නාමත්.

:       0       0

පද්ම Friday, 19 January 2024 06:55 AM

ඉස්සර අපේ තාත්තාට තිබුණා දඬුෆෝඩ් එකක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 666 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1175 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 150 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 395 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 565 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 931 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site