උපකාරක පංති පැමිණි බාලවයස්කාර දරු දැරියන් පිරිසකට දඹුලූ ගල මතදී දඹුල්ල පොලිසියෙන් විශේෂ උපකාරක පංති පැවැත්වීම මේ දිනවල ආරම්භ කැර ඇත. ඒ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ උපදේශකත්වයෙනි. රංගිරි දඹුල්ල ඉතා ලෝක ප‍්‍රසිද්ධියට ලක්ව ඇත්තේ ලෙන් විහාර සංකීර්ණය නිසාවෙනි. එහෙත් වර්තමානයේ යෞවන යෞවනියන් අතර ප‍්‍රසිද්ධවී ඇත්තේ පංති මගහැර ගල්ගුහා අස්සේ පෙම්සුව විඳීමට ඇති ආරක්ෂිත ස්ථානයක් ලෙසයි.
මහනුවර, කුරුණෑගල, මාතලේ, පොලොන්නරුව, අනුරාධපුර දිස්ත‍්‍රික්කවල දරු දැරියෝ නිතර නිතර දඹුලූ විහාරයට පැමිණෙති. එපමණක් ද නොව එසේ පැමිණෙන දැරියන් තවත් පිරිසකගේ ගොදුරු බවට පත්කැර ගැනීමේ සංවිධානාත්මක කල්ලියක් ද දඹුලූ ලෙන ආසන්නයේ රැඳී සිටිති.
මේ කිසිත් නොදන්නා පාසල් අධ්‍යාපනය ලැබූ සමාජ අධ්‍යාපනය නොලද පුංචි දරු දැරියෝ ආදරය කිරීමට දඹුලූ ගලට පැමිණෙති. දඹුලූ ගලේ ඇති කැලෑබද ප‍්‍රදේශවල සිදුවන බොහෝ දේ සියැසින් දුටුවෝ මිනිසුන්ට වඩා රිලා වඳුරෝයි.
සිවිල් ආරක්ෂක කමිටුවල සාමාජිකයෝ මේ තත්ත්වය පිළිබඳව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාට දැනුම් දුන්නේය. මේ පිළිබඳව කරුණු අවබෝධ කැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් දඹුලූ ගලට යවා එහි සිදුවන ක‍්‍රියාදාමය පිළිබඳව සත්‍ය වාර්තාවක් ලබාගත් සමරකෝන් මහතා දඹුලූ ගල කාර්යබහුල වන්නේ ඉරිදා, සෙනසුරාදා සහ පෝය දිනවල බව හඳුනාගත්තේය.

පසුව රජයේ නිවාඩු දිනයක් යොදාගත් සමරකෝන් මහතා තම පොලිසියේ සිටිනා කාන්තා පොලිස් නිලධාරීන් හා තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කැඳවා තාවකාලික පෙම්වතුන් ලෙස ඔවුන් වෙස්ගැන්වීය. දඹුලූ ගලේ තැන තැන ස්ථානගත කර පැය කීපයක් ගත කිරීමෙන් පසු දඹුලූ ගලේ පෙම්සුව විඳිමින් සිටි ජෝඩු සිය භාරයට ගත්හ.
මෙම දරුවන් සියලූදෙනා අවුරුදු 18 ට අඩු අයවීම විශේෂත්වයකි. එමෙන්ම ඔවුන්ගෙන් ඇතමුන් ගස් ගල් යට හැසිරුණ ආකාරය එහි රැකවල් දා සිටි පොලිස් කාන්තාවන්ට ජීවිතයේ අමතක නොවන පාඩම් කියා දෙන්නක් විය.
”අම්මලා තාත්තලා දරුවන්ට උගන්වන්ඩ වෙන මහන්සිය. ඒත් දෙයියනේ කටේ කිරි සුවඳ යන්නට පෙර දරුවන් මේ තරම් අශෝබන ලෙස හැසිරෙන්නේ කොහොමද?” පොලිස් කොස්තාපල්වරියක් වන කුමාරි මහත්මිය අප සමග කියමින් ඉකිගසා හඬන්නට වූවාය.
පොලිස් භාරයට ගත් සියලූදෙනා දඹුලූ ගල පාමුල පිහිටි බෝධිය සෙවනට රැගෙන විත් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කළේය. ගෑනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද භීතියෙන් හඬා වැටෙන අයුරු අප දුටුවෙමු. ඔවුන් සිතුවේ පොලිසිය තමන්ව රැුගෙන ගොස් දෙමාපියන්ට භාරදී නීතිය ක‍්‍රියාත්මක කරයි. දඬුවම් ලබාදෙයි කියාය.
එහෙත් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා දරුවන්ට කතා කළේ ඔවුන්ගේ ළඟම ඥාතියකු ලෙසිනි.
”දරුවනේ ඔයාල බයවෙන්න එපා. මම දෙමාපියන්ට කියන්නේ නැහැ. අපිට ඕනෑ ඔයාලා නිවැරදි මගට ගන්න. වැරදි වෙන්නේ ඔයාලා නොදන්නා නිසා. ඒ නිසා ඔයාලට නොදන්න දේ කියලා දීම අපේ යුතුකමක්. ඒ යුතුකම මම ඉටුකරන්නේ.” එම කතාවත් සමග භීතියෙන් සිටි දරු දැරියන්ගේ මුහුණු යම් මට්ටමකට පැහැපත් වන අයුරු දුටුවෙමු.
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම දරුවන් කීපදෙනෙකුගෙන් ප‍්‍රශ්න කරන්නට විය. එහිදී කියැවුණේ මහා කනගාටුදායක හා දුක්මුසු කතා පුවත්ය.

ඇතැම් දරුවන්ගේ දෙමාපියන් ගොවීන්ය. පුංචි පුංචි රැකියා කරන අයගේ දරුවන්ය. තවත් කීපදෙනෙකු රජයේ උසස් රැකියාවල නිරත නිලධාරීන්ගේ දරුවන්ය. මෙහි සිටි කිසිම දරුවකුගේ දෙමාපියෙක් එම දරුවන් දඹුලූ ගලට පැමිණි බව නොදැන සිටි බව දරුවෝ කීහ.
මෙහිදී දරුවන් ඇමැතූ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා. ”ඔයාලා අනාගතේ මේ රට භාරගන්න ඉන්න පිරිස. මේ රටේ සිදුවෙන අපරාධ රැුසක් වෙලා තියෙන්නේ මේ වගේ අනාරක්ෂිතව පැමිණීම නිසයි.
මෙතන ඉන්න කිසිම කෙනෙකුට තවම තමන්වත් බලාගන්න බැරි පුංචි දරුවෝ. හැඟීම්වලට යටවෙන්න එපා. තමන්ගේ දෙමාපියන් දැන් බත් පිඟාන බෙදාගෙන මග බලාගෙන ඉන්නවා දරුවෝ පන්ති ඇරිලා ගෙදර එනකල්. ඒත් ඔයාලා ඒ අහිංසක බලාපොරොත්තු තුට්ටුවකට මායිම් කරන්නේ නැතිව කිලෝමීටර් 50 - 60 දුර ගෙවාගෙන දඹුලූ ඇවිල්ලා. බැරි වෙලාවත් මෙහේදී කරදරයක් වුණානම් කොහොමද දෙමාපියන් දැනගන්නේ?
දෙමාපියන් දරුවන් කෙරේ තබලා තියෙන විශ්වාසය පලූදු කළොත් දුවේ පුතේ ඒ අයට අනාගතය සරුකර ගන්න අමාරුයි.
ඇතැම්විට අපි තරම් අපේ දෙමාපියන් ඉගෙනගෙන නැහැ. හැබැයි ඒ අය ඉගෙන ගත්තු සමාජ විශ්වවිද්‍යාලය, සංස්කෘතික හා හැදියාව කියන උපාධිය ඒ අයට තියෙනවා. ඒ නිසා ඒ අය අපට වඩා අත්දැකීම් බහුල අය. අපි දෙමාපියන්ට කීකරුව හැදුනාම තමයි වැදගත් මිනිස්සු වෙන්නෙ. අපිට වැරදුනොත් ආයේ හදාගන්න බෑ.”
දිගින් දිගටම දරුවන්ට අවවාද දෙන්නට විය. දරුවෝ හඬා වැටෙන්නට වූහ. තමන් කළ ක‍්‍රියාව තේරුම් ගත් දරු දැරියන්ට පරිස්සමින් නිවෙස්වලට යන ලෙස දැනුම් දුන්නේය.
ඒත් සමගම දරුවන් කීපදෙනෙකු කූඩුවෙන් එළියට ගිය ගිරවුන් ලෙස පිටව ගියහ. බොහෝදෙනෙකු හඬා වැටෙමින් මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ කකුල්දෙක අල්ලා වැඳ වැටෙමින් කීවේ ජීවිත කාලයටම මෙම පාඩම මතක තබාගන්නා බවයි. පිරිසට තෙරුවන් සරණ ප‍්‍රාර්ථනා කළ පොලිසිය දරුවන් පිටත්කැර යැවූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද දෙයක් කරලා තියෙන්නේ....ඔබතුමාට පින් වගේම ඒ ලමයින්ට කවදා හරි හොද තැනක ඉන්න කොට ඔබතුමාව මතක් වේයි..(නදී)
ඉතාම වටිනා ක්‍රියාවක්. තමන් චන්ඩිය නොවී, ඇත්ත කියාදීම අගය කොට සැලකිය යුතුයි. පොලිසියට වටිනා චරිතයක්. හොදින් සේවය කිරීමට ලැබේවා. (නදී)
පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පිරිසට ජාතියේ උත්තමාචාරය...!(නදී)
ඇත්තටම හොඳයි. ගොඩක් අය කරන්නේ මේ අයව අරන් ගිහින් බය කරලා නොමග යවන එක (නදී)
සාරනාත් සමරකෝන් මැති තුමනි ඔබ තුමාට සදා ජය. මෙන්න රටේ ආඩම්බරකාර තාත්තා. (නදී)
අතමිට තියෙන දෙමාපියන්ගේ දරුවෝ මීට වඩා දුර-දිග ගිහින් සුපිරි හෝටල් වලටත් යනවා.දැන දැනම මේවා නොදැක්කා වගේ නීතිය ඇස් පියාගෙන ඉන්නවාද කියලත් අපිට හිතෙනවා (නි)
දරිද්‍රතාවය, ඉච්ඡා භංගත්වය ඉහළ පන්ති වලට යනවිට තරුණ සිසු සිසුවියන්ට තදින්ම දැනේ. බොහෝ දැරිවියන් පවුලේ අගහිඟකම් නිසා හැකි ඉක්මනින් නිවසින් පිටවීමට අකමැත්තෙන් වුවද පෙළඹෙන බව විශ්‍රාමික ගුරුවරයෙක් ලෙස මම දනිමි උපකාරක පන්ති වලට තම මිතුරු මිතුරියන් යද්දී මෙම දිළිඳු දරුවන්ගේ අනාගත අපේක්ෂා ඉබේම බිඳවැටී කොපමණ බුද්ධිමත් වුවත් පාසලෙන් ඉවත්වීම සමාජ අසාධාරණය මැනවින් පෙන්වන්නකි (නි)
ඉතාම වටිනා ක්‍රියාවක්, බොරු පොලිස් චණ්ඩි පාර්ට් දාන්නෙ නැතුව හරි වැරැද්ද කියලා දුන්න එක. මට මතකයි මම පාසල් යනකාලේ හරි බයයි පොලිසියට අහුවෙයි කියලා. මොකද ගෙදරට කතාකරලා කියන නිසා. (නි)
ඉතාම හොඳ වැඩක්. අපේ සුබ පැතුම්! අන්න ඒ වගේ මිනිස්සු වුණා නම් හැම පොලිස් මහතෙක්ම?? (නි)
අවංකවම කියනවා නම් අද සමාඡයට වටිනා ආදර්ශයක් එම පොලීසිය විසින් ලබාදුන්නා.අද සමාඡයේ බොහෝ දෙනෙක් පොලීයේ අයට බනිනවා.ඒ බනින්නේ පොලීසියෙන් වැරදි කරන අය සිටින නිසා.නමුත් ඒ අතරින් ඉතා අවංකව සේවය කරන පොලිස් නිළධාරීන් සිටිිනවා.ඒ අතරින් දඔුල්ල පොලීසියේ නිළධාරීන්. මෙවැනි පොලිස් නිළධාරීන් අපි අගය කරනවා.ඔබලාට පැහැබර අනාගතයකට මම සුභ පතනවා! (නි)
අතමිට තියෙන දෙමාපියන්ගේ දරුවෝ සුපිරි හෝටල් වල මීට වඩා දුරදිග යනවා. නීතිය ඒවාට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? (නි)
යොවුන් ප්‍රේමය ගැන තියුණු සමාජ කතිකාවතක් ඇතිවිය යුතු කාලය එළඹ ඇතැයි සිතේ . පෙම් උයන් පිලිබදව පසුගිය කාලයේ ඇමතිවරයකු කල ප්‍රකාශ සමච්චලයට ලක් කලත් එවැනි තැනක් හෝ තිබුණා නම් වගකීමක් ඇතිව හැසිරීමට මොවුන් පෙළඹෙනු ඇත . (අ)
මේ අබුද්දස්ස කලේ හැදෙන කොල්ලෝ කෙල්ලෝ හදන්න පොලිස් නෙවෙයි හමුදාව ආවත් හදන්න පුලුවන් ජාතියක් නෙවෙයි. (නදී)
මේවා තමයි යහපාලනයේ වෙනස්කම් (දිල්)
18දි පෙම් නොකර 60දි කරන්නද?(හේ)
දුමින්ද.....එතන ඔයාගේ දරුවෙකුත් හිටියනම් .....පොලිසියේ මහත් වරුනි තම තමන්ගේ බලප්‍රදේශ තුළ මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක වෙතොත් ජාතියේ දරුවන්ගේ හෙට දවස් මීට වඩා සුබවේවී.දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ජාතියේ ප්‍රණාමය.(හේ)