සමහරු නම් දඹුලූ ගිහින් තලගොයි මසුත් කාල එනවා කියල කතාවට කියනවා. මේකත් අද ඊයෙ කතාවක් නෙවෙයි. බොහොම පැරණි කතාවක්. කොහොම වුණත් වැඩි දෙනෙක් දුරක වන්දනාවෙ ගියත්, පින්කම් අතරෙ හොයන්නෙ දඩමස්. විනෝද චාරිකාවක් ගියත් හීන් සීරුවෙ ළඟ පාත ගැවසිලා, ‘‘මෙහෙ දඩමස් එහෙම නැද්ද’’ කියල අහනවා.
ඒ තරමට සමහරු දඩමසට පෙරේතයි. කොහොම වුණත් පසුගිය දවස්වල දඩමස් කියල බලූමස් පවා ගිල්ලෝල තිබුණා. මෙන්න කතාව...යමුද කතරගම....
තිස්ස වැව් බන්ට් එක දිගේම බැදපු වැව් මාළු විකිණෙයි. හීන් සීරුවේ බෝතල් කඩන අයට අපූරු බයිට් එකකි. ගෙනාපු බත් එකත් ලිහාගෙන කන අයටත් පොඩි වෙනසකි.
වැව් තාවල්ලෙන් හමන තද සුළඟට මැදිවී වැව් මාළු රස බැලීමේ ආසාව මටත් උපදියි.
‘කීයද’
‘පනහයි’
එය අමුතු වෙනසකි. කතරගම, ‘‘දෙවියන්ගේ’’ අඩිවියකි. එය අමුතු සංස්කෘතියකි. කාවඩි හඬින් පුදබිමට දෝංකාර දෙයි. මැණික් ගෙඟන් නා පූජා බාර හාර ඔප්පු කරන්නට යන බැතිමතුන් ලක්ෂ ගණනෙකි.
ඒ අය අතර මගේ අරමුණ වෙනස් මාතෘකාවකි. නඩ අරන් එන අයත්, නඩවල එන අයත් හීන් සීරුවේ පුරුදු නාගරිකයන්ට ළංවෙති.
‘‘මල්ලි මේ හරියෙ දඩමස් කොහෙද තියෙන්නෙ...’
මේ කතරගම, තිස්ස, හම්බන්තොට දිගටම හුරු මාතෘකාවකි. එම නිසා ‘‘මස් වැද්දෝ’’ දිගටම රජ කරති. දෙවියන්ගේ අඩවියේ දඩමස් බිස්නස්...’’
අපට ආරංචි හැටියට කතරගම, සෙල්ල කතරගම, ඇඹිලිපිටිය, තිස්සමහාරාම, සූරියවැව, බෙලිඅත්ත, අම්බලන්තොට, හම්බන්තොට, හා අවට දඩමස් වෙළෙඳාමට අතිශය ප‍්‍රසිද්ධය.
‘දඩමස් එක්ක ප‍්‍රසිද්ධ බත් කඩ රාශියක් මේ ප‍්‍රදේශවල තිබේ.
වැවුමාළු, මුව මස්, ගෝන මස්, තලගොයි මස්, වල් ඌරු මස් ආදී නොයෙක් මාදිලියේ දේවල් යහමින් ගන්නට ලැබේ. ලංකාවේ කොහේ සිට ගියත් වෙනසක් සොයන අය ඉබේම මේවාට ඇදේ.
දකුණේ ප‍්‍රසිද්ධ ජාතික වන රක්ෂිත කීපයකි. බූන්දල, යාල, උඩවලව, ලූණුගම්වෙහෙර ඒ අතර වෙයි.
‘‘මස් එන්නෙ මේවායින්ද?’’
එය එසේ නොවේම යැයි කියන්නට අපට පුළුවන්කමක් නැත. එහෙත් වනජීවී නිලධාරීන් කියන හැටියට එහි ආරක්ෂාව වැඩි නිසා ආරක්ෂාව අඩු පැතිවල ‘‘දඩයම’’ රජවෙයි. ඒ අනුව විශේෂයෙන් හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය එක තැනකි. මෙය අලින් හාරසීයක් පමණ ජීවත්වන වන බිමෙකි. මෙහි අලින් අතරේ තවත් බෝහෝ වන සතුන් වෙසෙති. මුවන්, ගෝනුන්, හඳුන් දිවියන්, රැුසකි. මෙය වටකොට ගම්මාන පිහිටීම නිසා කොතැනින් හෝ පැන දඩයමක් කර ගැනීම ලෙහෙසි හා පහසු දෙයකි. ඊට අමතරව මත්තල ගුවන්තොටුපළ අවට, සීනුක්කුගල, අන්දර වැව, බඳගිරිය, තම්මැන්නාවැව, කෑලියපුර, අවට දැවැන්තව වන සත්ව දඩයම සිදුවේ.
ජාතික රක්ෂිතවල ද සතුන් දඩයම රහසක් නොවන ඇත්තකි.
දඩමස් ලෝලීන් වැඩි නිසා ඉල්ලූමට සැපයුමක් දෙන්නට පුළුවන් කමක් නැත. අවට ගම්වාසීන් අපට කියන්නේ මෙවැනි කතාවකි.
‘‘කතරගම x සෙල්ල පැත්තට එන හුඟක් අය දඩමස් හොයනවා. අනික් මස් වගේ නෙවෙයි. මේකෙ පොඩි වෙනසකුත් තියනවනෙ... ගමට ගිහින් කියන්නෙ.
අපි කතරගම ගිහින් දඩමසුත් කාලා ආවේ කියලා සමහරුන්ට මේක රජ වැඩක්නෙ. මේක දන්න නිසා මිනිස්සු උපරිමේට සත්තුන්ට ගහනවා. කැලේට රිංගුවා එක්කො වෙඩි තියනවා. නැත්නම් මදු තියනවා. ඒ විතරක් නෙවෙයි දැන් හුඟක් වෙලාවට වස දාලත් සත්තු මරනවා...’’
ඒ කිව්වෙ.. මම අතුරු ප‍්‍රශ්නයක් ඇසුවෙමි.
දිගටම නියඟ කාලෙනෙ. සත්තුන්ට තියා මිනිස්සුන්ටත් බොන්න වතුර නෑ. ගස් වේළිලා කරවුණා. වැව් හිඳුණා. ඒ වුණාට කතරගමට මිනිස්සු අඩු නෑ. නියෙඟන් හොඳම ප‍්‍රයෝජනය ගත්තෙ මස් වැද්දො. සත්තුන්ට බොන්න වතුර නැතුව පිස්සු වැටිලා වගේ. මේ මිනිස්සු ගිහින් කැලේ පොඩි වළවල් හාරල ඒවට වතුර පුරෝනවා. වතුරට වස කළවම් කරනවා. සත්තු ඇවිත් පිපාසෙ වැඩිකමට වතුර බීගෙන බීගෙන යනවා. බිව්ව ගමන් අඩි දහයක් යන්නෙ නෑ ඇදන් වැටෙනවා. ඊට පස්සෙ මස්වලට. මැටිගත්වැවේ මේ වැඬේ කරළා සතුන් මරද්දි වනජීවී එකට අහුවුණා.
වස දී ඌරන්, මුවන් මැරීම රහසේ සිදුවන ජනප‍්‍රිය දඩයම් ක‍්‍රමයකි. විශේෂයෙන් දඩයක්කාරයන්ට පහසු මාධ්‍යයකි. මස් කන මිනිහාගේ ශරීර සෞඛ්‍යය දඩයක්කරුට වැඩක් නැත. ඔහුට අවශ්‍ය කරන්නේ කීයක් හෝ මිට මොළවා ගැනීම පමණි.
වස දාපු වතුර බීල ළඟදි ඇතින්නකුයි පැටියකුයි මැරුණා..’’
කෙනෙක් අත්දැකීමක් ගොනු කරයි.
‘වල් ඌරා - මුවා - ගෝනා කියලා දෙන්නෙ ඒවම නෙවෙයිනෙ...’’ මම විමසීමි.
‘‘මෙහෙමයි... වැඬේ හරියට කරන මිනිස්සු ඉන්නවා. මුවා කිවුවොත් මුවාම තමයි.. රවට්ටන්නෙ නෑ. හැබැයි සීයට අසූවක් හංගලා ‘‘ගේම’’ ගහනවා.
‘‘බලූ මස් විකුණුව කතාව දන්නවනෙ...’’
මම හිසින් එය අනුමත කළෙමි.
‘කැලේ මුවෝ ගැවසෙන පැති තියනවා. ඒ ප‍්‍රදේශ වටලන්න ගියාම අලූත හම ගහපු බල්ලන්ගෙ ඔලූ, කකුල්, හම්බවුණා. කඳ විතරක් නෑ. බල්ලො ගණනාවක් මේ විදිහට මරලා. බළල්ලූත් මේ විදිහටම මරනවා. ඊට පස්සෙ දඩ මස් කියලා වල්ඌරු මසට, මුවමසට කළවම් කරල විකුණනවා. උඩවලවෙ මස් සුද්දා කියලා එකෙක් හිටියා. මිනිහා වල් ඌරු මස්වලට ප‍්‍රසිද්ධයි. වටේටම වල් ඌරො දුන්නෙ මිනිහා. එයා ගං ඌරො කොටුවකුත් කළා. වල් ඌරට ගහලා උගේ හම් කෑල්ලකුත් එක්ක ගං ඌරුමස් වැඩිපුර කළවම් කරල ‘‘දඩමසට’’ දෙනවා. ‘‘ඔය කියන හැටියට මිනිස්සු දඩමස් නෙවෙයිනෙ කන්නෙ...’’
‘‘ඔව්...වල් ඌරු මස් කියලා ගං ඌරු මස් කවනවා. මුවමස්, ගෝන මස් කියලා හරක් මස් කවනවා. බලූමස්, බළල් මස් කවනවා.
‘‘ඇඹිලිපිටියෙ දඩමස්වලට ප‍්‍රසිද්ධ තැන් කීපයක් තියෙනවා. මුවමස් කියලා විකුණලා තිබුණෙ හරක් මස්..’’
හම්බන්තොට ඉඳන් හුඟක් හෝටල්වල මේ ගේම යනවා... සමහරු වන්දනාවෙ එන්නෙ දඩමස් තියා කිසිම දෙයක් ඔළුවෙ නැතුව. මේ පැතිවල ඉන්න සමහරු වඬේ හරි, දොදොල් හරි, දෙළුම් හරි, සුවිප් හරි මොන මොනවා හෝ විකුණන විදිහට බස්, වෑන්, ලොරි ගාවට කිට්ටු වෙලා ‘‘මහත්තයා ගංජා තියනවා, දඩමස් තියනවා’’ කියලා යටින් වෙන බිස්නස් එකක් යනවා. මේක ජාවාරම් කාරයන්ගෙ ගුහාවක්.
‘‘තව නියම කතාවක්...’’
වන සත්ව අඩවි ආරක්ෂක අජිත් ගුණතුංග මහතා වෙනත් පැත්තකට හැරෙයි.
‘‘හම්බන්තොට අවට චීන ජාතිකයො හුඟක් නැවතිලා ඉන්නවා. එක එක ව්‍යාපෘති භාරව ඉන්නවනෙ. එයාලගෙ වැඩ බිම්වලට දඩයක්කාරයො යනවා. චීන්නු හුඟක් ආසයි, කිඹුල්මස් වලට, කිරි ඉබ්බන්ට සහ කැබැල්ලෑ (ඈයා) මසට. ඉතින් මේ පැතිවල මිනිස්සුන්ට දැන් මේ සතෙක් පේන්න බෑ. මේ තුන් දෙනාම දැඩි ආරක්ෂිත සත්තු. මස් කෑලි දාලා වැව් වලින් කිඹුල්ලූ අල්ලල මස් කරනවා. කැබැල්ලෑවා කිරි ඉබ්බා පණ පිටින්ම චීන්නුන්ගෙ වැඩ බිම්වලට ගිහින් දෙනවා. පණ පිටින් ගෙනාවම උන්ට හරි සතුටුයි. එයාලම මස්කර ගන්නවා.
කිලෝ දෙකක විතර කැබැල්ලෑවෙක් පණ පිටින් දුන්නම රුපියල් 20,000/=ක් විතර ලැබෙනවා. මේ පැත්තෙ මිනිහෙකුට මාස දෙකකට ජීවත් වෙන්න ඇති. ඉතින් කැලෑ පීරනවා...’’
‘‘එතකොට කිරි ඉබ්බා..’’
‘‘කිරි ඉබ්බෙක් හය හත් දාහකට යනවා...’’
දැනට හම්බන්තොට උසාවියෙ චීන ජාතිකයන්ට මේ සතුන් සම්බන්ධව, නඩු රාශියක් වැටිල තියෙනවා. දඩත් ගහල තියෙනවා.
‘චීන ජාතිකයො ඉල්ලන්නෙ මොනවද මෙහෙ මිනිස්සු ගිහින් දෙනවා. ලැබෙන ගාණ හොඳයිනෙ...’’
‘‘ගණිකාවො වැහි වැහැලා’’
මේ අනුව චීන ජාතිකයන්ගේ ජීවිත සැපවත් කරමින් විශාල පිරිසක් ජීවත් වෙති. එය දඩ මසින් පමණක් නොවේ. ගණිකාවන් සැපයීමෙන්ද කෙරේ. චීනුන්ට පමණක් නොව දේශීය සංචාරකයන්ට ද යහමින් දඩමස - ගණිකාව - ගංජා ලැබෙන මාර්ග තිබේ. එම නිසා අද කතරගම යන ඇතැමුන් මැණික් ගෙඟන් නා පූජාවට්ටි තබා, කිරි වෙහෙර වැඳ, කාවඩි නටා, ගංජා ගසා, දඩමස් සමඟ අරක්කු බී, ගණිකාවක් සමඟ හිඳ එන මට්ටමට වැටී ඇත. අපට ආරංචි හැටියට සර්පයන් පවා දඩයමට මස් බවට පත්වෙයි.
විශේෂයෙන් චීන ජාතිකයන් සඳහා විශාල පිඹුරන් කැළෑවල මස්වන බවට සාක්ෂි තිබේ.
කොකුන්, සහ දැවැන්ත පක්ෂීන්, මුගටියන්, තල ගොයින් බහුලව දඩයම් වෙයි.
සියලූ තොරතුරු අතරේ අපි ගොඩනගා ගත් මතයක් තිබේ.
බොහෝ සත්තු ජලය නැතිව අසරණ වී සිටිති. සතුන්ට ආහාර වාසස්ථාන නැත. අලි ගම් වැදෙති යැයි එක පැත්තකින් පන්නද්දී ඒ අලි තවත් තැනකින් ගමට ඇතුළු වෙති.
අලින්ට පමණක් නොව සියලූ සතුන් අසරණ වී කොටු වී සිටියි. ඒ සතුන්ට අනුකම්පාව කාගෙන්ද?
මේ සියලූ සත්තු දඩයක්කරුවන්ගේ පහසු ඉලක්කයකි. වස දී මැරුවත් ගාන කපන්නට හොඳ ඉල්ලූමක් දඩ මසට තිබේ.
හුඟ දෙනෙක් දඩමස් ලෙස කන්නේ හෝ ලැබෙන්නේ කවර මසක්ද යන්න නොහඳුනති. එබැවින් මුව-ගෝන-වල් ඌරු මස් ලෙස නයිxපොළොං පිඹුරු මස් හෝ දෙන්නට අපහසු නැත.
එබැවින් අපි ඔබට අනතුරක් පෙන්වමු. හම්බන්තොට - ඇඹිලිපිටිය - කතරගම පමණක් නොව ලංකාවේ නන් දෙසින් ලැබෙන දඩමසට වගකීමක් නැත.
විශේෂ ස්තුතිය : හම්බන්තොට වන සත්ව අඩවි ආරක්ෂක, අජිත් ගුණතුංග මහතා ඇතුළු කතරගම අවට ජනතාවට.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක රියදුරන් සහ සංචාරක මග පෙන්වන්නන් දඩ මස් පෙරේතයෝ. සීගිරිය හබරණ පැත්තේ රෙස්ටුරන්ට් කරන අය බලු මස් කැව්වලු මේ අයට මීට හුග කාලයකට පෙර. සිගිරිය රක්ෂිතයේ තිබිල බලු ඔලු නරි ඔලු හම්ඹ උනා. පොඩියට පටන්ගත්ත මේ රෙස්ටුරන්ට් දැන් ලොකු හෝටල් බවට පත් වෙලා කොහොමද බලු මස් ,නරි මස් වල රස (නදී)
මස් කන එක මිනිස් ශිෂ්ටාචාරේ පටන් ගත්ත දා ඉඳලම තිබුන එකක් විවිධ ආගම් මගින් මේක අවම කරන්න හැදුවත් තවම ඒක වෙලා නැහැ නමුත් අනාගත ලෝකයක් ඒවි මිනිස්සු මේ අනිත් අයගේ "මළකුණු " අනුභවය නවත්වන .එතකල් මේ වගේ ප්‍රශ්න සදාකාලිකව තියේවි (අ)
ලගදීම මිනි මසුත් ඔය ගණයට වැටෙන බවට පත් වේවි (නදී)
සියල්ලෝම දඩු මුගුරු වලට බිය වෙත්. සියල්ලෝම මරණයට බිය වෙත්. තමන්ට තම පවුලේ අයට එවන් විපත් පැමිණි විට ඇති වන වේදනාවම දුකම කදුලම අන් අයටත් තිරිසන් සතෙකුට වුවත් පැමිණෙන බව සංවේදීව දැන අවබෝධ කොට කිසිවෙකුටත් හිංසා කරන්න එපා. මරණයට පමුණුවන්න එපා. (නදී)
අහිංසක සතුන්ගේ දඩමස් කන්න එන අයට 'බලු මස්' කැවූ අයට මගේ ප්‍රණාමය! මොවුන්ට තව තවත් බලු, බළල් සහ පොළොං මස් හොඳින් තෙම්පරාදු කර දියයුතුය. (නි)
අමාරුවෙන් ලබපු මනුෂ්‍ය ආත්මය අසුචි කාල බලු කරගන්නේ නැතුව ගුණ ධර්ම රැක්ක නම් හුඟක් වටිනවා (නදී)
මිනිසුන්ට මෙහෙම කරන්න පුලුවන්ද? (නි)
ඔය පැත්තේ ඉන්නවා කියන දෙයියන්ට මේවා පෙනේනේ නැතිද ? නැතිනම් එයත් ඔය බිස්නස් වලට හවුල්ද?(හේ)
මස් කන එක මහා පවුකාරකමක් (නි)
මේ වගේ අයව වෙඩි තියල මරා දන්න තියෙන්නේ (නදී)
වනජීවිය හමුදාවට බාර දෙන්න ඔක්කොම දුෂන කැළේ කපන ඒවා නවතීවි (නදී)
මුදල් පමණක් සොයන පරමාර්ථය මත වැඩකරන මිනිසුන් නිසා හෙට අනිද්දා වෙද්දී මිනීමසුත් වෙළඳපළට එයිද දන්නෙ නැහැ (නි)
තොරතුරු කිව්වට බොහොම ස්තුති වන්ත වෙනවා. එත් දඹුලු ගිහින් තලගොයි මස් කෑවට නෙවෙයි .දඹුලු ගිහින් තල ගොවියන්ගෙන් අඩුවට තල අරන් එනවට කියන්නේ දඹුලු ගිහින් තල ගොයි මරන්එනවා කියල. (අ) '
මිනිසත් බව ලද ඔබ ඇයි මළකුණු කන්නේ? (අ)
මේ පළාතේ මිනිසුන්ට හොද රැකියා ටිකක් හොයලා දුන්නා නම් ඔය ප්‍රශ්නේ ඉවරයි.(හේ)
මිනිසුන් කොහොමත් තවම වනචාරී තමයි ...ඒ හින්ද සත්තු ගැන අනුකම්පාවක් නෑ ..දඬුවම් වැඩි කරන ගමන්ම වනජීවී එකටත් සේවකයෝ බඳවා ගන්න තියෙන්නේ නැත්නම් සිවිල් ආරක්ෂක අංශය හරි අනුබද්ධ කරන්න තියෙන්නේ. (ස)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... (නි)
අනුන්ගේ මස් කන එකේ අනිසන්ස.(හේ)
අනුන්ගේ මස් කන අයට හොඳ වැඩේ.(හේ)
සල්ලි පසුපස හඹායන මිනිසුන්ට පන්සිල් පදවල මුල් පදය අමතකවෙන එක කියන්නත් දෙයක්ද? මිනිස්සු තිරිසනුන් වෙනකොට නියම තිරිසන් සතුන් මිනිස් තිරිසනුන් අතින් විනාශ වෙනවා. උදේ සිට බුදු බණ අහන මිනිසුන් සිටින රටක්ද මේ? (නි)
හොඳ ප්‍රසිද්දියක් ලැබෙනවා මේ වැඩෙන්. දැන් කට්ටිය ගිහින් හොයාගෙනම කන්න පුරුදුවෙයි. (ස)
අහිංසක අසරණ සත්තු තිරිසන් මිනිසුන් නිසා දුක්විඳින තරම! (නි)