IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


භූගත බංකරයේ තිබූ ප‍්‍රභාකරන්ගේ හිස කෙස්

ගම්වලට කඩා පැන අහිංසකයන් පෙතිගසා මරා දමන්නට, මව්වරුන්ගේ ඇකයේ සිටින කිරි දරුවන් පවා ඔසවා පොළොවේ ගසන්නට, බස් කෝච්චිවල බෝම්බ අටවා අහිංසකයන් බුරුතු පිටින් මරා දමන්නට සිය ගෝල බාලයින්ට අණ දුන්නේ කොටි නායකයාව සිටි වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය.

 

ධර්මපුරම්හී පිහිටි ප‍්‍රභාකරන්ගේ නිවෙස

 

කොටි හිතවාදීන් නිර්භීත නායකයෙක් ලෙස සලකන ප‍්‍රභාකරන් තමාගේ සෙවනැල්ල පවා දකින විට බියට පත්වන තරමේ බිය ගුල්ලෙකි. 

කොටි නායකයා තමාගේ සෙවනැල්ල දකින විට පවා තිගැස්සෙන අයෙක් බව වන්නි මානුෂීය මෙහෙයුම පැවති සමයේ අත් අඩංගුවට ගත් හා බාරවූ කොටි නායකයින් ගණනාවක්ම හමුදාවට ද පවසා තිබුණි.

ප‍්‍රභාකරන් ඔහුගේ බිරිඳ සහ දරුවන්ට පදිංචිවී සිටීම සඳහා මුලතිව් සහ කිලිනොච්චියේ ඉතා රහසිගතව තනා තිබූ භූගත මාලිගා පහක් මේ වනවිට සොයාගෙන ඇත. 

ඒ භූගත මාලිගා පහ තැනීම සඳහා යොදා ඇති ආරක්‍ෂක ක‍්‍රමෝපාය දෙස බැලීමේදී පවා ඔහු කෙතරම් බියකින් පසුවූවාද යන්න පසක්වේ. 

ප‍්‍රභාකරන් ඔහුගේ සෙවනැල්ලට පවා බියවී පිස්තෝලය ඉනෙන් ඇදගත් අවස්ථා  ඕනෑතරම් තිබෙන බව ප‍්‍රසිද්ධ රහසක් යැයි කිලිනොච්චියේදී අපට හමුවූ කිලිනොච්චිය කොටි පොලිසියේ අපරාධ විමර්ශන අංශය භාරව සිටි ලොක්කා වන සින්න පොඩියත් පුලේන්ද්‍රන් ද පැවසීය.

කොටි නායක ප‍්‍රභාකරන් හදිහූනියම් හා  පිල්ලි වැනි අද්භූත දේ ගැන දැඩි ලෙස විශ්වාස කළ අයෙකි.

වෙඩිතබා බෝම්බ ගසා තමාව ඝාතනය කිරීමට විරුද්ධවාදීන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව දන්නා ප‍්‍රභාකරන් එසේවුවත් හදි හූනියම්කර හෝ පිල්ලියක් එවා මරා දමාවි යන සැකයෙන් නිතර පසුවී ඇත. 

තමාගේ හිස කෙස් හෝ රැවුල් ගසක් කෙසේ හෝ සොයාගෙන ඒවාට කට්ටඩියන් ලවා ජපකර ඝාතනය කිරීමට විරුද්ධවාදීන් කටයුතු කරාවි යැයි ප‍්‍රභාකරන් ඔහුගේ සහයකයින්ට නිතර පවසන බව වන්නි මානුෂීය මෙහෙයුම සමයේ අල්ලාගත් හා බාරවූ ප‍්‍රබල කොටි නායකයින් හමුදාවට හෙළිකර තිබේ. 

කිලිනොච්චිය - මුලතිව් මාර්ගයේ ගමන් කරනවිට ධර්මපුරම් නමැති ගම්මානය හමුවේ ප‍්‍රධාන මාර්ගයෙන් හැරී ගියවිට හමුවන ධර්මපුරම් නමැති මේ ගම්මානයේ ප‍්‍රභාකරන් හා පවුලේ අය වෙනුවෙන් තනා තිබූ අධි ආරක්‍ෂිත නිවසක් හා අධි ආරක්‍ෂිත බංකරයක් පිහිටා ඇත. 

විවිධ ආරක්ෂිත ක‍්‍රමවේද යොදාගනිමින් තනා ඇති ප‍්‍රභාකරන් පදිංචිව සිටි මෙම නිවසේ ඇති නාන කාමරයේ තිබී රැුවුල් හා හිස කෙස් පිරවූ බෑග් තොගයක් සොයාගැනීමට හැකිවූ බව එහි ගිය අපට පැවසුවේ එදා මෙම නිවස අල්ලා ගැනීමේ මෙහෙයුමට හවුල්වූ යුදහමුදා නිලධාරියෙකි. 

 

ප‍්‍රභාකරන්ගේ නිදන කාමරය

 

ප‍්‍රභාකරන්ගේ කෙස්, කොණ්ඩය හා රැවුල බෑමෙන් පසු ඒ කොණ්ඩ හා රැවුල් කොටස් එකක් නෑර අහුලා බෑග්වල බහා එකතුකර සුරක්ෂිතව තබාගෙන සිට ඇත්තේ කිසිවකු හෝ එවායින් ටිකක් රැගෙන ගොස් විරුද්ධවාදීන් අතට පත්කරාවි යැයි ඇතිවූ තදබල සැකය, අවිශ්වාසය නිසාය.

කොණ්ඩ හෝ රැවුල් කොටස් කෙසේ හෝ රැගෙන ගොස් කට්ටඩින් ලවා ජීවම්කර ඝාතනය කිරීමට කටයුතු කරාවි යැයි ප‍්‍රභාකරන් වැඩියෙන්ම සැකකර ඇත්තේ කොටි සංවිධානයට විරුද්ධ ද්‍රවිඩ දේශපාලන සංවිධානවල නායකයින් හා ක‍්‍රියාකාරීන්ය. 

ඒ නිසා තමාගේ කොණ්ඩ හා රැවුල් කොටස් සුළඟටවත් ගසාගෙන යාමට ඉඩනොදීමට ඔහු වගබලාගෙන ඇත.

පසුකාලීනව ප‍්‍රභාකරන් ඔහුගේ රැවුල තමා විසින්ම කපාගෙන ඇති අතර කොණ්ඩය බිරිඳ මදිවදනි හෝ පුතුන්ට කියා කප්පවාගෙන ඇත. 

කරණවෑමියකු ගෙන්වා ගෙන ඒ කටයුත්ත කරගතහොත් රැවුල් හෝ කොණ්ඩ කොටස් ඔහුගේ මාර්ගයෙන් විරුද්ධවාදීන් ගෙන්වා ගනීවි යැයි ප‍්‍රභාකරන් බියකින් පසුවී ඇත. 

වන්නි මානුෂීය මෙහෙයුම සමයේ අත් අඩංගුවටගත් සහ බාරවූ ප‍්‍රබල කොටි නායකයන් කිහිපදෙනෙක් මෙම කරුණු කාරණා ගැන තොරතුරු හෙළිකර සිටි බව ඒ හමුදා නිලධාරියා අප සමග පැවසීය. 

දශක තුනක් තිස්සේ සිය දහස් ගණනක් ඝාතනය කිරීමට අණ දුන් කොටිනායකයා නිතර සිට ඇත්තේ මරණ බියෙන් ගැහෙමිනි. 
එවකට පැවති රජය සමග ඇතිකරගත් සටන්විරාම ගිවිසුමෙන් පසු කිලිනොච්චිය වට්ටකච්චිය ප‍්‍රදේශයේදී කොටි නායක ප‍්‍රභාකරන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවට පැමිණියේය.

ප‍්‍රභාකරන්ගේ ඒ මාධ්‍ය හමුව ආවරණය කිරීමට දිනපතා ලංකාදීපය වෙනුවෙන් මා ද සහභාගිවූ අතර එදා යොදා තිබූ දැවැන්ත හා සූක්‍ෂම ආරක්‍ෂක විධිවිධානද ප‍්‍රභාකරන් කොතරම් මරණයට බිය පුද්ගලයෙක්ද යන්න කියා පෑවේය.

ඇතැම් ආරක්‍ෂක ක‍්‍රමෝපායන් විදෙස් මාධ්‍යවේදීන්ගේ පවා සිනහවට ලක්වූ ඒවා විය. 

මාධ්‍යවේදීන්ගේ පෑන් පරික්‍ෂාවට ලක්කල අතර කැමරා එකිනෙක ගලවනු ලැබුවේ ඒ සඳහාම යොදවා සිටි කොටි මාධ්‍ය අංශයේ සහායක සහායිකාවන් පිරිසක් විසිනි.

මෙසේ පරීක්‍ෂාවට ලක්කල කැමරා සහ පෑන් මාධ්‍යවේදීන් අතට ආපසු පත්කරනු ලැබුවේ ප‍්‍රභාකරන් සහභාගිවන ප‍්‍රවෘත්ති සාකච්ඡුාව පැවති වට්ටකච්චි ප‍්‍රදේශයට ගිය පසුවය. 

දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ කන්වලට නාස්පුඩුවලට පවා කොටි ඇගිලි ගසමින් පැළඳ සිටි සපත්තු පමණක් නොව ඇඳුම් පැළඳුම් පවා ගලවා පැය ගණනක් තිස්සේ කරන ලද පුදුමාකාරයේ පරීක්‍ෂා කිරීම් මගින්ද පැහැදිලිවූයේ අන් කිසිවක් නොව ප‍්‍රභාකරන්ගේ ඇති බියගුළු බව මිස වෙන දෙයක් නොවේ. 

 

නිවෙසේ සවිකර තිබූ අධිතාක්ෂණික සන්නිවේදන උපකරණ

 

කොටි නායකයාව සිටි ප‍්‍රභාකරන් ඇතුළු පවුලේ අය සැඟව සිටි අනෙකුත් භූගත බංකර් හා සුපිරි නිවස මෙන්ම ධර්මපුරම් ගම්මානයේ පිහිටි නිවස හා මෙයට යාබදව ඉදිකර තිබූ භූගත සුවිසල් බංකරයද සියලූම පහසුකම්වලින් සමන්විත විය. 

පිටත සිට බලා  ඕනෑම කෙනකුට කුඩා නිවසක් ලෙස පෙනී යන ආකාරයට තනා ඇති මෙම නිවස ප‍්‍රභාකරන් පදිංචිව සිටින නිවසක් කියා කිසිවකු නිකමටවත් සිතන්නේ නැත. 

ප‍්‍රභාකරන් ඇතුළු පවුලේ අය පදිංචිව සිටි නිවසේ වහලයට ඇස්බැස්ටස් තහඩු සෙවිලිකර ඒ මතින් පොල් අතු අතුරා තිබී ඇත්තේ තවත් එක් ආරක්ෂක උපක‍්‍රමයක් වශයෙනි.

පිටතින් කුඩා පෙනුමක් තිබුණත් මෙය සියලූම පහසුකම් වලින් සමන්විත අංගසම්පූර්ණ සුඛෝපභෝගී නිවසකි. 

2002 සහ 2005 අතර කාලයේ එවකට පැවති රජයේ පාලන කාලයේ කොටි සංවිධානය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන්කර ගෙන තිබිණි. 

මෙම අවබෝධතා ගිවිසුම පැවති සමයේ කොටි පාලන ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් සහනාධාර යොදාගෙන මෙම සුඛෝපභෝගී නිවස තනා ඇති බවට තොරතුරු අල්ලාගත් හා බාරවූ කොටින්ගෙන් හෙළිකරගෙන ඇති බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකි. 

අලංකාර ගෘහ භාණ්ඩ වලින් යුතු මෙම නිවස සම්පූර්ණයෙන් වායු සමීකරනය කර ඇත. 

ශීතකරණ, රූපවාහිනී යන්ත‍්‍ර පවා සවිකර ඇති මෙම නිවසේ ප‍්‍රධාන දොරටුව වෙඩි නොවදින තහඩු යොදා ඇති අතර ඇතුළුවූ පසු අගුල දාගත් විට පිටත සිටින කිසිවකුටත් එය විවෘතකිරීමට නොහැකි ලෙස සාදා තිබේ.

හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔක්සිජන් සිලින්ඩර් ද මෙම නිවසේ සවිකර ඇත.

ප‍්‍රභාකරන්ගේ මේ නිවසට යාකර භූගත බංකරයක් තනා ඇති අතර හදිසි ප‍්‍රහාරයක් ගොඩබිමින් හෝ ගුවනින් එල්ලවූ බව කල්තියා දැනගත් වහාම ප‍්‍රභාකරන් ඇතුළු පවුලේ අය වහාම මේ බංකරයට රිංගා ගනිති. 

ගුවන් ප‍්‍රහාරවලට ඔරොත්තු දෙන ආකාරයේ ඉතා ශක්තිමත්ව මෙම බංකරය තනා ඇති අතර මෙම බංකරයේ දිග අඩි 40කි. පළල අඩි 38ක් වන අතර උස අඩි 15ක් පමණ වෙයි.

පිටත බිත්ති අඩි 4 1/2ක් පමණ ද ඇතුළත බිත්ති අඩි 2 1/2ක ඝනකමකින් යුක්ත ලෙසද කොන්ක‍්‍රීට් දමා ශක්තිමත් ලෙස තනා ඇත්තේ  ඕනෑම ගුවන් ප‍්‍රහාරයකට ඔරොත්තු දෙන අන්දමින්ය. 

මේ බංකරයටද ගුවන් ප‍්‍රහාර එල්ලවී ඇති බව බංකරය තනා ඇති බිත්ති තැනින් තැන ඉරිතලා ගොස් ඇති ආකාරයෙන් පෙනේ. 
බංකරයේ වෙනත් කොටසක අවි ආයුධ ගබඩාවක්ද තනා ඇති අතර මෙම භූගත බංකරයේ ආරක්ෂාවට කොටි සංවිධානයේ රාධා බළකායේ 125 දෙනෙක් පමණ එදා යොදවා ඇත. 

 

මිය යන කොටි නායකයන්ට ගෞරව දක්වන ස්ථානය

 

නිවසේ හා බංකරයේ ආරක්‍ෂාවට එය පිහිටි හතර කොනේ වෙඩි නොවදින තහඩු සවිකර මුරකුටි 04ක් තනා තිබේ.

මෙම මුරකුටි තුළට සන්නද්ධ කොටි සෙබළෙක් ඇතුළුකර පිටතින් වසා දැමූ පසු ඇතුලේ සිටින කොටි සාමාජිකයාට එය විවෘත කරගෙන පිටත පැමිණීමට නොහැකි අතර එය විවෘත කිරීමට නම් පිටතින් කෙනෙකු පැමිණිය යුතුය. 

මුරකුටියේ සේවය කරන අතරවාරයේ පිටතට යාමෙන් වළක්වා ගැනීමේ පියවර වශයෙන් මෙවැනි උපක‍්‍රමයක් යොදා ඇති අතර මුර කුටිය තුළ සිටින කොටි සෙබළාට තම හදිසි ශාරීරික අවශ්‍යතාවන් ඇතිවුවත් පිටතට යාමට හැකියාවක් නොමැත. 

ඊළඟ සේවා මුරය බාරගැනීමට නියමිත කොටි සෙබලා එනතෙක්ම මුරකුටියේ සෙබළාට එහි රැඳී සිටීමට සිදුවෙයි. ඒ අන් කිසිවක් නිසා නොව පිටතින් මුරකුටිය ලොක්කර දමා ගොස් ඇති නිසාය.

මෙම නිවසට හා භූගත බංකරයට විදුලිය සපයා ඇත්තේ එකක් කිලෝවොට් 37 ක ධාරිතාවයකින් යුතු අධිබල විදුලි ජනක යන්ත‍්‍ර දෙකක් මාර්ගයෙනි. 

මෙම අධිබල විදුලිය ජනක යන්ත‍්‍ර දෙක ක‍්‍රියාත්මක කළ විට පිටතට කිසිම ශබ්දයක් ඇසෙන්නේ නැතිවීම විශේෂත්වයකි. 
ඉහළ පෙළේ කොටි නායක නායිකාවන් මිය ගිය පසු ප‍්‍රභාකරන් ඔවුන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන අතර ඔවුන්ගේ සිරුරු තැබීමට විශේෂ කුටියක්ද මෙම නිවසට යාබදව ඉදිකර ඇත. 

ඉහළ පෙළේ කොටිනායකයින් සමග සාකච්ඡා කරමින් ත‍්‍රස්ත ක‍්‍රියා සැලසුම් කිරීම සහ කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය සමග සම්බන්ධතා පැවැත්වීමටද ප‍්‍රභාකරන් යොදාගෙන ඇත්තේ මෙම අධි ආරක්‍ෂිත නිවස බව එහි සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් කරුණු හෙළිකරමින් පැවසීය. 

ආරක්ෂක හමුදාවේ පණිවිඩ හුවමාරු ජාලයට බාධා කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මෙහි සවිකර තිබී ඇති බව හමුදා නිලධාරියා වැඩිදුරටත් කීය.

ප‍්‍රභාකරන්ගේ නිවස පිහිටි භූමියේ මෙම අධි තාක්‍ෂණික උපකරණ ප‍්‍රදර්ශනයට තබා ඇත.

කොටි සන්නද්ධ අංශයේ සාමාජික සාමාජිකාවන්ගේ ප‍්‍රයෝජනය සඳහා වෙඩි නොවදින ඇඳුම් කට්ටල (බොඩි ආමර්) හිස් වැසුම් මිලදී ගැනීමට පෙර ඒවායේ සාම්පල් ගෙන්වාගෙන ඒවායේ තත්ත්වය කෙබඳුදැයි පෞද්ගලිකව පරීක්‍ෂාකර බලා ඇත්තේ ද ප‍්‍රභාකරන් ය. 
බොඩි ආමර් හා හෙල්මට් සාම්පල් රඳවා තබා වෙඩි තබා ඒවායේ තත්ත්වය පරීක්‍ෂාකර බැලීමට විශේෂ ස්ථානයක්ද මෙහි තනා තිබේ.
මේවා මෙම විශේෂිත ස්ථානයේ තබා වෙඩි තබා තත්ත්වය පරීක්‍ෂාකර බැලීමෙන් පසු ඒවා මිලදීගත යුතුද නැතිද කියා ප‍්‍රභාකරන් ඒ මොහොතේම සිය නායකයන්ට උපදෙස් දී තිබේ. 

කොටි නායකයා පරිහරණය කළ නොයෙක් දෑ මෙම නිවසේ ප‍්‍රදර්ශනයට තබා ඇති අතර ඔහුගේ බාලපුත් බාලචන්ද්‍රන් කුඩා කාලයේ පැදවූ සෙල්ලම් කාරයද ඒ අතර දක්නට ඇත. 

කොටි පාලන ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාව, කොටි සාමාජික සාමාජිකාවන් දහ දුක් විඳිද්දී ප‍්‍රභාකරන් ඔහුගේ බිරිඳ ඇතුළු දු දරුවන් උපන්දින සාද පවත්වමින් සුඛෝපභෝගී ජීවිත ගත කළ ආකාරය දැක්වෙන ඡායාරූපද මෙම අධි ආරක්‍ෂිත නිවසේ තබා ඇත්තේ එහි එන ජනතාවට දැකබලා ගැනීමටය.

ප‍්‍රභාකරන්ගේ මෙම අධි ආරක්‍ෂිත නිවස හා භූගත බංකරය සහිත ප‍්‍රදේශයේ දරුණු ගැටුම්වලින් පසු අල්ලාගෙන ඇත්තේ 58 වැනි සේනාංකය බාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා (එවකට බි‍්‍රගේඩියර්) මහතාගේ අණදීම යටතේ ගිය විරෝදාර රණවිරුවන් විසිනි. 

වන්නි මානුෂීය මෙහෙයුමේදී වැඩිම කොටි පාලන ප‍්‍රදේශ අල්ලාගනු ලැබුවේද ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අණදීම යටතේ ගිය 58 වැනි සේනාංකයේ භට කණ්ඩායම්ය. 

සාමයේ මල් පුබුදුවාලන්නට ඇස් ඉස් මස් දන්දුන් රණවිරුවන්ගේ ලෙයින් මේ බිම තෙත් වී ඇත. ඒ නිසා හිරු නැග එන මොහොතේද හිරු බැස යන මොහොතේද අපි ඔවුන් සදා සිහිකල යුතු වන්නෙමු. එය මුළු මහත් ජාතියේම වගකීමකි. 

 

මුර කුටියක්

 

නිවෙසේ සාදා ඇති භූගත බංකරය

 

උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ද සිල්වා, කිලිනොච්චිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි එඞ්මන් මහේන්ද්‍ර සහ කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර යන මහත්වරුන්ට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය.

 

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප: මාදම්පේ - එස්. හේරත්

 

 



අදහස් (0)

භූගත බංකරයේ තිබූ ප‍්‍රභාකරන්ගේ හිස කෙස්

ගයි Sunday, 26 May 2013 07:41 PM

මොනවා කලත් දැන් පස් යට මේවා හොද පාඩම් දැන් ඉන්න නායකයන්ට.(නදී)

:       0       0

අපොන්සු Saturday, 25 May 2013 06:46 AM

බලන්න හිතලා. යුද්ධ කළ අය පෙට්ටි වල. නියෝග දුන් අය රජසැපෙන් (නි)

:       0       0

කුමාර් Monday, 27 May 2013 05:52 PM

මේ විස්තර පිටරට පත්තර වලයි. අන්තර්ජාලයෙයි දැම්මා නම් තමයි හරි. ලෝකේ මිනිස්සු දකින්නේ බී.බී.සී සහ චැනල් 4 එකේ වගේ බොරුනේ.(නදී)

:       0       0

චාමි Monday, 20 May 2013 08:16 PM

මතක් කරන්න එපා (අ)

:       0       0

සදුනි Sunday, 19 May 2013 09:59 PM

කොහේ කෙලෙස සැගවී සිටියත් සිදුකල අපරාද වලට වන්දි ගෙවීමට සිදුවිය.(නදී)

:       0       0

ලසන්ත Monday, 20 May 2013 10:35 AM

මේ තත්වෙට රට පත්කළේ දේශපාලකයෝ ජාතිවදේ පැතිරෙන්ට හැර බලාසිට,දෙමල සිංහල පරිපාලන,සමාජ,ආර්ථික ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට යට ගැසීමේ නියාය. කල්මැරීම නියාය. (නි)

:       0       0

ශීලා Monday, 20 May 2013 10:35 AM

ත්‍රස්තවාදේ ඉවරයි.එකියන්නේ රෝග ලක්ෂණ ඉවරයි.නමුත් රෝග මුලය.... මෙන්න මේකට බෙහෙත් දෙන්න... ඡන්ද ගොඩ දිහා නොබලා නිට්ටාවට සුව වෙනතුරු ඡන්ද වැඩි වුණත් අඩු වුණත් කල්නොමරා බෙහෙත් දෙන්න.නැතිනම් ආයිත් මේවා වෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5623 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 803 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1385 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site