‘‘කිසි කෙනෙකුට ඔයාට කරදරයක් කරන්න මම ඉඩතියන්නේ නැහැ.’’
‘‘මම දන්නවා ඔයා මම ගැන හිතන විදිය. ඒත් කී දවසකටද? එහෙම බෑ... මට ඕනේ අපි දෙන්නගේ ජීවිතවලට සදාකාලික විසඳුමක්....’’
මේ ආදරණීය වදන් ගලා ආවේ චාතුර්යා සහ තේමිය මඩුගල්ලගෙනි. එදා චාතුර්යාට පණ දුන් ඇය ඇගේ ජීවිතයේ සොඳුරුම යෞවන කාලය ගෙවා දැමුවාය. ආදරයට ආදරය කරන ලෙන්ගතු සිත්වල ආදරය විරහව තුළ සිනා කඳුළු නන්වමින් ජීවමාන වූවාය. ඒ ලෙන්ගතු සිතැත්තිය අද අපේ ආදරයේ මුල් පොත සරසන්නීය. ඇය නයනා කුමාරි නම් ප‍්‍රවීන රංගන ශිල්පිනියයි.
ඔබේ පාසල් ජීවිතයේ මතකයන් මොනවාද?
මගේ ගම බත්තරමුල්ල. මම ඉගෙන ගත්තේ බත්තරමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. මට අක්කලා තුන්දෙනෙක් හිටියා. මම මිශ‍්‍ර පාසලක අධ්‍යාපනය ලැබු කෙනෙක්. ඒ නිසා ගෑණු ළමයි පිරිමි ළමයි කියලා භේදයකින් තොරව එකට සෙල්ලම් කළා. එකමුතුවෙන් කටයුතු කළා.
මගේ අක්කලා ආදර සම්බන්ධවලට පැටලිලා තියෙනවා. ඒ වෙලාවල අම්මා - තාත්තා එයාලට දුන්න උපදෙස් මම අහගෙන හිටියා. ඒ නිසා මම ඒ වගේ දේක පැටලෙන්නේ නෑ කියලා හිතුවා. ඒ නිසා පාසල් කාලයේ ආදර සම්බන්ධකම් ඇතිකරගත්තේ නැහැ. ඒත් මගේ යාළුවන්ගේ සම්බන්ධකම්වලට උදව්කරපු අවස්ථා තිබුණා.
ඒත් ආදරය ගැන කතාකරද්දි එක සුන්දර සිදුවීමක් මතකයට එනවා. එය සිතිවිල්ලක් පමණයි. ඒ කාලයේ මම හයේ පන්තියේ ඉගෙන ගත්තේ. මගේ වයසේ වෙන පන්තියක පිරිමි ළමයෙකුට මගේ පුංචි කැමැත්තක් තිබුණා. ඒක එයා අදටත් දන්නේ නැතිව ඇති. මම ඒ ළමයව දකින්න බලන්න ආසා කළා. ඒත් එයාගේ හොඳම යාළුවා තමයි මගේ පස්සෙන් ආවේ. මම ඒ යාළුව නම් ගණන් ගත්තේම නැහැ. මගේ ඒක පාර්ශ්වීය කැමැත්ත පාසලෙන් අයින් වෙනකම්ම තිබුණේ මම ගාව විතරයි.
මගේ පන්තියට ඉහළ පන්තිවල හිටපු අයියලා නම් ඕන තරම් යාළුවෙන්න අහලා තියෙනවා. අපේ ගෙවල් ළඟ නතර වෙලා හිටිය කෙනෙකුත් අවුරුද්දක් විතර මගේ පස්සෙන් ආවා. තෑගි ගෙනාවා. අකමැති වුණොත් මැරෙනවා කිව්වා. ඒත් මට ඒ ආදරය දැනුනේ නෑ. මට ඕනේ වුණේ මව්පියන්ට කීකරුවෙලා මගේ අරමුණු ඉටුකරගෙන ජීවිතයේ ඉදිරියට යන්න. මගේ මව්පියෝ වුණත් මාව විශ්වාස කරලා ඕනම දෙයක් කරන්න ඉඩ දුන්නේ ඒ නිසා. ඒ විශ්වාසයයි මගේ ආශාව හා හැකියාවයි නිසා කුඩා කාලයේම මම නාට්‍ය කලාවට සම්බන්ධ වුණා.
ජීවිතයේ පළමු ආදර අත්දැකීම පිළිබඳව කතා කළොත්?
මගේ පළමු ටෙලි නාට්‍යයේදීමයි මට සුමිත්ව මුණගැහුණේ. මම ආදරය හඳුනා ගත්තේත්, ලැබුවේත් ඔහුගෙන්. එතකොට මට අවුරුදු 18ක් විතර ඇති. සුමිත් මගෙන් ඇහුවට පස්සෙත් මම ඒ ගැන අම්මට කිව්වා. අම්මා මට ඒකට කැමැත්ත දුන්නා. හේතුව මම කිසිම දවසක ඒ වගේ දේවල් නිසා මව්පියන්ට ප‍්‍රශ්න ඇතිකරලා තිබුණේ නැහැ. ඒ නිසාම අම්මලා මාව ගොඩක් විශ්වාස කළා. මව්පියන්ගේ ආශිර්වාදය සමඟයි සුමිතුයි මායි ආදරය කරන්න පටන්ගත්තේ. අපි අවුරුදු 9ක් ආදරේ කරලා විවාහ වුණා.
තරුවලට ආදරය කරන පෙම්වතුන් ඔබටත් හමුවෙලා තියෙනවද?
උන්මත්තකයන් වගේ ආදරය කරන අයනම් මට හමුවෙලා නැහැ. හැබැයි ජනතාවගේ ආදරය තරාතිරමකින් තොරව මට ලැබුණා. කලා ක්ෂේත‍්‍රයෙනුත් මට බලපෑම් ඇතිවෙලා නැහැ. මම මගේ පළවෙනි ආර්ටිකල් එකෙන්ම මට පෙම්වතෙක් ඉන්න බව පැවසුවා. ඒ වගේම මගේ පරමාර්තය වුණේ මම ආදරය කළ කෙනාම සමග විවාහවීම. අද සමාජයේ ගොඩක් දෙනාට ආදරය කරන කෙනාම විවාහ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්නා අතර පුදුම බැඳීමක් ඇතිවුණා. අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කරා. අපි අතර හොඳ අවබෝධයක් තිබුණා. එයා මගේ කටයුතු වලට ගොඩක් උදව්කළා.
වත්පොහොසත්කම් මිල මුදල් අපි අතර නොතිබුණත් කඩාදාන්න බැරි තරම් ලොකු බැඳීමක් අපි අතර තිබුණා. ඒ නිසාම අපි විවාහ වුණා. මගේ විවාහයෙන් පස්සෙයි චාතුර්යා ටෙලි නාට්‍යයේ රංගනයට දායක වුණේ. ඒ නාට්‍යයේ චාතුර්යා කියන්නේ මගේ රඟපෑම නෙවෙයි. මම සුමිත්ට කළ ආදරය තමයි නාට්‍යය හරහා දකින්න ලැබෙන්නේ. ඒ තමයි මගේ ආදරයේ හොඳම කාලය. අද මම අම්මා කෙනෙක්. මට පුතෙක් ඉන්නවා.
විවිධ කාලවලදි ආදරය වෙනස් වෙනවා. අද ඔබ ආදරය දකින්නේ කොහොමද?
ඔව්. මම පාසල් කාලයේ පෙම්වතියක් වුණේ නෑ. පිරිමි ළමයි කොච්චර පස්සෙන් ආවත් යාළුවුණේ නෑ. ඒත් මගෙම වයසේ ළමයෙකුට හිතේ යම්කිසි කැමැත්තක් ඇතිවුණා. මම පාසලට යද්දි ලස්සනට ඇඳගෙන ගියා. එයාම දකින්න ඕන වුණා. ඒත් ඒ හැඟීම් අදටත් එයා දන්නේ නැහැ. ඒ සිතිවිල්ල පාසලෙන් අයින් වනතුරුම සිතේ තිබුණා. ඒක සුන්දර මතකයක් විතරක් වුණා.
මගේ පළමු ආදරය වුණේ සුමිත්. අපි ආදරය කරලා විවාහ වුණා. ඒ ආදරය ගොඩක් සුන්දරයි. ඒ අත්දැකීම් ගොඩක් රසවත්. ඉස්සර සුමිත්ට ආදරය කරන කාලේ එයා අපේ ගෙදර එනව කිව්වම නාලා, පර්ෆියුම් දාලා, චුයින්ගම් කාලා, ලස්සන ඇඳුමක් ඇඳගෙන, මුළුගේම ලස්සනට අස්කරලා, මිදුල් අතුගාලා පාර බලාගෙන ඉන්නවා. සුමිත් එන්නෙත් ඒ විදියට. කාගෙවත් හිතක් රිද්දන්නේ නෑ. ඒ ආදරයත් හුඟාක් සුන්දරයි.
ඒත් කාලයත් එක්ක අපි පරිනත වෙනවා. ජීවිතය ප‍්‍රායෝගිකව දකින්න ගන්නවා. ඉස්සර දෙන්නෙක් විදියට හිටිය අපි එක්කෙනෙක් වෙනවා. එක ගෙදරක ඉන්නවා. නීතියෙන් අයිතිවෙලා. ඉස්සර වගේ දාලා යයි කියලා බයක් නෑ. අපි සැබෑ පුද්ගලයෝ විදියට අඳුනා ගන්නේ දකින්නේ පවුල් ජීවිතය ඇතුළේ. ජීවිතයේ ගඳ සුවඳ දැනෙන්න ගන්නේ එතකොට. අපි අපේ කියලා නීත්‍යානුකූලව එක්වෙලා එක ගෙදරක ඉද්දි ආදරය කරපු කාලේ කළ සුන්දර ආදරය ගිලිහිලා යනවා. වගකීම් වැඩිවෙනවා. තම තමන් ඔවුනොවුන් වෙනුවෙන් කළ කැපකිරීම් අඩුවෙනවා. දරුවෝ ලැබෙනකොට දෙන්නම දරුවට ආදරය කරනවා. තවත් වගකීම් එකතු කරගන්නවා. ටික ටික සුන්දර කෙළිලොල් ආදරය වගකීම් සහිත එකක් වෙන්නේ ඒ විදියට. ප‍්‍රශ්නත් විසඳාගනිමින් ජීවිතය ඉදිරියට ගෙනියන්න උත්සාහ ගන්නවා.
කොටින්ම කිව්වොත් ආදරය කරන කාලේ වගකීම් අඩුයි. ඒත් විවාහ වුණාට පස්සේ අපි වගකීම් වලින් බැඳුන පුද්ගලයෝ වෙනවා. ඒ තත්ත්වය එක්කයි ජීවිතය පවත්වාගෙන යන්නේ. මේ දේ අපි තේරුම්ගත්තොත් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනයා හැකියි.
වර්තමාන ආදරය ඔබ දකින්නේ කොහොමද?
අද බොහෝ දෙනෙක් මුදල් මුල් කරගෙනයි ආදරය කරන්නේ. ඒ වගේම තරුණ ළමයි අතර ලැජ්ජාව භය නැතිවෙලා තියෙනවා. රට සංවර්ධනය වෙලා ඇති. තමන් භෞතික විදියට දියුණු වෙලා ඇති. ඒත් අධ්‍යාත්මිකව හැම මනුස්සයෙක්ම පිරිහිලා. ඒ වගේ හේතු නිසා මව්පියන් නොහඳුනන, සහෝදර සහෝදරියන් නොහඳුනන සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. අද කාමයටයි මුල්තැන දීලා තියෙන්නේ. පුතා බලන්නේ අම්මව හරි දූෂණය කරන්න. මව්පියෝ අවවාද කළොත් ගෙදරින් පැනලා යනවා. ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න බයයි. ඉස්සර නම් දරුවෙක් අතරමන් වෙලා ඉන්නවා දැක්කොත් එක්කන් ගිහින් මව්පියන්ට භාරදෙනවා. අද කරන්නේ රවට්ටගෙන ගිහින් දූෂණය කරන එක. මේ වගේ ප‍්‍රශ්න වලට හේතු රාශියක් මම දකිනවා. මම සැලෝන් එකක් කරන කෙනෙක්. සමහර අම්මලා කුඩා දැරියන්ව එක්කරගෙන ඇවිත් විවිධ මෝස්තරද කරන්න කියනවා. කොට ඇඳුම් අන්දවනවා. ඔවුන්ගේ ළමා කාලය අහිමි කරනවා. සමහර අම්මලට මම කියලා ආපසු යවපු අවස්ථා තියෙනවා. හේතුව කුඩා දැරියෝ රූපය විකෘති කළාම ඒ අය හිතන්නෙත් වැඩිහිටියෝ විදියට. ඔවුන්ගේ බාහිර ආකර්ෂණය වැඩිවෙනවා.
අද ළමයි කුඩා කාලයේම ආදර සම්බන්ධතා ගොඩනගා ගන්නවා. හෝටලයකට යන්න කතාකළත් ඊට කැමති වෙනවා. දරුවන්ගේ ලැජ්ජා භය නැතිවීම පිළිබඳ ලොකුම වගකීම ගන්න වෙන්නේ මව්පියන්ට.
ගයාත‍්‍රිගේ මිත‍්‍රත්වය ඔබේ ජීවිතයට සමීප වෙන්නේ මොන ආකාරයටද?
මම කලාවට ආව මුල් කාලයේමයි ගයාත‍්‍රි මට මුණගැහෙන්නේ. අපි දෙන්නම අවිවාහකයි. ඒ කාලේ මම සුමිත්ට ආදරය කරනවා. ඒ කාලයේ ඇති වුණ ඒ හිතවත්කම අදටත් ඒ ලෙසම අපි පවත්වගෙන යනවා. හැමෝගෙම ජීවිතවලට ඒ වගේ හොඳ යාළුවෙක් ඉන්න ඕන. මොකද අපිට අපේ දුක සැප, ගැටළු බෙදාගන්න ස්වාමිපුරුෂයා වගේම හොඳ යහළුවෙක් හෝ යෙහෙළියක් අවශ්‍යයි. ගොඩක් අය හිනාවෙලා කතා කරලා එක දෙක කරලා කියලා ප‍්‍රශ්න ඇතිකරන අයයි. ඒ නිසයි බොහෝ අයට හොඳ මිතුරන් නොලැබෙන්නේ. ඒ නිසා මගෙයි ගයාත‍්‍රිගෙයි මිත‍්‍රකම ගැන ගොඩක් අය කතාකරනවා. අපි නිතර දෙවේලේ මුණගැහෙන එකට කාගෙන බීගෙන ඉන්න දෙන්නෙක් නෙවෙයි. ඒත් අපි ගොඩක් හොඳ යාළුවෝ දුකේදි සැපේදි අපි ළඟින් හිටියා. ඒ යාළුකම හරිම ප‍්‍රභලයි. සුමිත් - චන්න, අපේ පවුල් දෙකේ දරුවෝ අපි හැමෝම ගොඩක් සුහදව ඉන්නේ ඒ බැඳීම නිසා. මට අක්කලා තුන්දෙනෙක් ඉන්නවා. ගයාත‍්‍රිත් මට මගේ සහෝදරියක් කියලා කියන්න පුළුවන්. මේ පිළිබඳ වැරදි විදියට කතාකරන පිරිසක් ඉන්නවා. ඒත් අපේ යාළුකම අගය කරන පිරිස වැඩියි. අපි රූපලාවන්‍ය පැත්තෙන් කාන්තාවන්ට විශාල සේවයක් සපයනවා. අපි හොඳ යාළුවෝ සොහ්දරියෝ විදියට ඉදිරියටත් සමාජයටත් කළයුතු සේවයන් සපයමින් ජීවත්වෙනවා.
ඔබේ නමින් දුම්රියකුත් තියෙනවා නේද?
ඒ ගැන මගෙන් මුකුත් අහන්න එපා. ඒ පිළිබඳ ඕනතරම් පත්තර වලට කතාකරන්න ඉඩදීලා තිබුණා. ඒ නිසා දැන් ඒ සම්බන්ධව කතාකරන එක තේරුමක් නැති දෙයක්.
අම්මා කෙනෙකුගේ ආදරය හා අවබෝධය තරුණ දරුවන් කෙරෙහි කෙසේ විය යුතුද?
අපි අපේ කාලය ගැන හිතන්න ඕන. දරුවෝ ලොකු වෙන්න ලොකු වෙන්න එයාලගේ ඒ ඒ වයස් සීමාවලදි කොහොමද ගණුදෙනු කරන්න ඕනේ කියලා උගන්නන් අවශ්‍ය නැහැ. අපි අපේ අතීතය ගැන හිතලා දරුවන්ගේ සිතුවිලි තේරුම් ගන්න ඕන.
මේ මෑත දවසක මගේ සොයුරියක් මට කතාකළා. ඇගේ දියණියට පේ‍්‍රම සබඳතාවයක් තියෙනවළු. ඒක මහ ලොකු දෙයක් විදියට හිතට අරන් ජීවිතේම ඉවරයි වගේ හිතාගෙන කලබලවෙලා. මම එයාට කිව්වේ ඕකට ඔයතරම් කලබල වෙන්න එපා කියලා. එයාට එයාගේ අතීතයට ගිහින් එයා කළ කී දේ කල්පනා කරන්න කිව්වා. ඒ ඒ වයස් සීමාවන් වලදී ඒ වගේ දේවල් ඇතිවෙනවා. ඒවා වලක්වන්න බැහැ. ඒත් අපි පාසල් යන කාලේ පාසල් යාමත්, ආදරයකරන කාලේ ආදරය කිරීමත්, විවාහ වෙන කාලේ විවාහ වීමත් පිළිබඳ දරුවන් දැනුවත් කළාට කමක් නැහැ. මේ සියළු දේ හෝමෝන වෙනස්කම් නිසා සිදුවෙන දේවල්. එය අපි තේරුම්ගෙන දරුවන් සමග කටයුතු කරන්න ඕන.
උපක‍්‍රමශීලීව දරුවට හොඳ නරක කියාදෙන්න ඕන. අම්මා තාත්තා දරුවන්ට හොඳ යාළුවෙක් වෙන්න ඕන. එහෙම වුණොත් දරුවන් තේරුම් ගන්නවා ඉන් අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙන එකක් නැහැ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවකට ස්ථිර ආදායම් මාර්ග හෝ උගත්කම් නැති නම් ගොඩ එන්න තිබෙන එකම ක්‍රමය නිලි වෘත්තීය තමයි. දොස්තර නෝනා කෙනෙක් උපාධිදාරිනියක් වගේ උගත් කාන්තාවක් ජීවිත කාලයක් තුල උපයන දේවල් නිළියන්ට එක දවසින් උපයා ගන්න පුළුවන්. නැද්ද හොඳයි ? (නදී)
ඇය සුන්දරයි (නි)
අපරාදේ කියන්න බැහැ දේශපාලනයට ගැලපෙන ඊටම හරියන සුන්දරත්වයක් තියෙන්නේ.(නදී)
අපි නොදන්න මොණරතැන්න! (නි)
මොකද මේ කට්ටිය කුලප්පු වෙලා.පව් මේ ළමයා (ස)
අනෙක් වැදගත් දේවල් කළේ වයස කීයෙදීද දන්නේ නැහැ (නි)
මොනාව වුණත් ඇත්තම කියලා තිබෙනවා වගෙයි (නි)
කාලයක් මම වැඩියෙන්ම ආශාකළ රංගන හැකියාවක් තිබුණු නිළිය. රූපෙනුත් ලස්සනයි.ඒත් දැන්නම් අහන්නවත් කැමති නැති නමක්. (නි)
මේ සැලුන් එකට එනවා ඇත්තේ දේශපාලනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොටට අඳින්න කැමති බවලතුන් සහ තරුණියන් කියලයි මම නම් හිතන්නේ. (නි)
දිගු ගමනකට වාසනා! (නි)
අම්මලාට දුවලා හදන හැටි ගැන වැරදි කියන්න ඔයාට හිතට එකඟව පුලුවන්ද? (නි)
මම නම් මෙයා ගැන කතාකරන්න කැමති නැහැ (නි)
කාලයක් මම කැමතිම නිළියක්. ඒත් දැන් නම් ඒ ප්‍රසාදය නැතිවෙලා ගොඩක් කල්. අපි කවුරුවත් රහත්වෙලා නැහැ .ඒත් කාන්තාවන් වන අපිට තමන්ගේ වැදගත්කම රැකගන්න අවශ්‍යයි (නි)
නිළියක් තියා කවුරු වුණත් අපි පුතාලගේ අම්මලා හැටියට අපේ පුතාට වැදගත් පවුලකින් හැුණු දුවෙක් ගේන්න පුළුවන් පවුල් පසුබිමක් හදාගත්තේ නැත්නම් අපේ ළමයි අපිට අනාගතයේ ශාපකරාවි. (නි)
මම නම් ඔය දේශපාලනයට ගෑවුණු නිළියන්ට සම්මානයක් ලැබුනත් අත්පොළසන් දෙන්නේවත් නැහැ. ඒ තරම් මට ඒ අයගේ පැවැත්ම අප්‍රසන්නයි! අපි 100% හොඳයි නෙමෙයි. හැබැයි ගැහැණියකගේ වැදගත්කම නැති තැන එතන ප්‍රතිභාවකුත් නැහැ. (නි)
තනි ඇහැට ඇඩෙනවා (බ)
එතකොට සියඹලා ගෙනත්ම නැ (ම)
කියන්න නම් බැරියෑ ඉතින් ඕනෑ දෙයක් (නි)
ඔයා ලඟදි නුවර එළි ආවා නේද? එතකොට මමත් එහේ හිටියේ (නදී)
ලස්සනට කතා කරලා තියෙනවා (බ)
නයනාගෙන් ගෙන් මම දැන ගන්න කැමතියි අදාළ දුර සීමාවේනුත් එපිට ඉඳන් සැමියා හෝ ආදී සිසුවෙකු නොවී රාජකීය විදුහලට ළමයෙකු දමා ගන්න ක්‍රමය මොකද්ද කියලා. (නදී)
මාත් 6 පන්තියේදී ඒක පාර්ශිකව ආදරය කලා. මට දැන් මම ගැනම පව් කියල හිතෙනවා (නදී)
ස්වාමි පුරුෂයා විතරක්ද වාසනාවන්ත? (නදී)
කාලේ නාස්ති කරන දේවල් මේවා!!(නදී)
මාරි, මෙයා ලස්සන නිසා ස්වාමි පුරුෂයාගේ වාසනවන්තකම කෙසේවෙතත් ඇය ආරක්ෂා කරගන්න පැය විසිහතර පුරාම මොන වදයක් ඔහු විඳිනවා ඇද්ද? මට ඔබ විශ්වාසයි කියලා වචනයෙන් කිවුවට හිත ඇතුළ කොහොමද දකින්නේ? (නි)
සෙනරත් - ඔයාගේ දේවල් මේකට ගලපාගන්න එපා (නදී)
ඒ වුනාට මේ පත්තරේම ඡායාරූපවලට මේ ලඟදි මෙයා කොටට ඇඳලා පෙනී සිටියානේ. මොනවාද මේ වැදි බණ. (නදී)
මම දන්න දේවල් කියන්න බයයි. මොකද අපායේ යයිද කියලා (නි)
ඔවා දෙනු පරහට- තමා සම්මතෙහි පිහිටා සිට කියන්නේ අපේ හොඳ පරණ කියමනක් බව පේනවා. (නි)
අපෝ ඔබ්තුමියගෙන් බවලතුන්ට හැදිච්ච කම ගැන මෙතන ලියලා තියෙන අවවාද ගන්න තරම් අපිට තවම මොලේ අමාරුවක් නැහැ. (නදී)
අනේ මෙයා මාර ලස්සනයි. මෙයාගේ ස්වාමි පුරුෂයා හරිම වාසනාවන්තයි (නදී)
නයනා ඔයා අනෙක් කාන්තාවන්ට ආචාර ධර්ම ගැන අවවාද දෙන්න යන්න කලින් දෙවරක් හිතන්න කියල මම කාරුණිකව ඉල්ලනවා. (නදී)
මෙන්න බොලේ අපේ නෝනලාට දුවලාට බලන්න වටිනා අපුරු ආදර්ශමත් කාන්තාවක්. කොච්චර අහිංසක ජීවිතයක්ද ගත කරන්නේ.(නදී)
කාන්තාවක් අම්මා කෙනෙකු ලෙස තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම ගෞව්රවය චරිතයයි. ඒක නැති නම් මොන සැරසිලි තිබුනත් වැඩක් නැහැ. (නදී)
අනේ අපිට නම් ඉතින් අපේ පවුල් ජීවිතේ හොඳ කම ගැන පුන පුනා හැමතැනම කියව කියවා යන්න ඕන නැහැ. ඒක හොඳ බව අපේ හෘදය සාක්ෂියේ ලියවිලා තිබෙනවා. (නදී)
ඔයාට ඡන්දෙ ඉල්ලන්න ඕන ඔක්කොම සුදුසුකම් තියෙනවා!(ම)
උඩබලාගෙන කෙළගහගන්න එපා (නි)
ඔබ කොහොමද මේ වාගේ ලස්සනට කතා කරන්නේ ඔබේ පවුල් ජිවිතේ ගැන ඔයා ගැන දන්න අය දන්නවා හොදටම (ම)
මෙන්න බලන්න. පරමාදර්ශී කාන්තාවක්! (ස)