IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රට හැම අතින්ම අවුලෙන් අවුලට

 

රටේත් ජනතාවගේත් අනාගතය තීන්දු කරන මැතිවරණ තුනක් අත ළඟය. ඇමැති මෛත‍්‍රිපාල සිරිසේනගේ අභියෝගයට එජාපය දක්වන නවතම ප‍්‍රතිචාර කෙබඳුද? එජාප මහලේකම් තිස්ස අත්තනායකගේ හඬයි මේ.

* ප‍්‍රශ්නය:- වසර 1 1/2කට කලින් විසුරවූ පළාත් සභා තුන හරහා ජනතාවට කළ සේවයට වඩා ආණ්ඩුව ජනතාවට කියන්නේ විපක්‍ෂය මරා ගන්නා නිසා ජනතාවට විකල්පයක් නැති නිසා යළිත් ආණ්ඩුව දිනවන ලෙසයි. මෙවර එජාප ඡන්ද සටන මරා ගැනිලිවලින් තොරව එකමුතුව යනවාද? ආණ්ඩුවට විකල්පයක් වීමේ ශක්තිය එජාපය සතුද? පිළිතුර:- මේ ඡන්ද තුනේදී එජාපය එකමුතුව ශක්තිමත්ව ඡන්ද සටන මෙහෙය වනවා. නායකතුමා, සජිත් නියෝජ්‍ය නායකතුමා, මම හා ජයවික‍්‍රම පෙරේරා එජාප සභාපතිතුමා ප‍්‍රමුඛ මෙහෙයුම් කමිටුව හරහායි මේ ඡන්දය කරන්නේ. මෙවර අපි ලොකු වෙනසකුත් කළා. ප‍්‍රධාන කමිටුවට අමතරව ඒ ඒ පළාත්වලට තවත් මෙහෙයුම් කමිටුවක් පත් කළා. උතුරු මැද, නැගෙනහිර හා සබරගමුවට පිළිවෙළින් ජෝශප් මයිකල්, රවි කරුණානායක හා ලක්‍ෂ්මන් කිරිඇල්ලට බාරවුණේ ඒ තුළයි. ඊට අමතරව දිස්ති‍්‍රක් නායකයොත් පත් කළා. ප‍්‍රධාන කමිටුවේ උපදෙස් මත ඒ කමිටු තුන හරහා දැවැන්ත මැතිවරණ මෙහෙයුමක් දියත් කරනවා. ආණ්ඩුව දැන් බයවෙලා දෙදරලා ඉන්නේ. මොකද යුද්ධයෙන් පසු ජනතාවට සහන දෙනවා, පඩි වැඩි කරනවා, ගොවීන්ට යුක්තිය ඉටු කරනවා, තරුණයන්ට රැකියා දෙනවා කිව්වට ආණ්ඩුව ඒ කිසි දෙයක් කළේ නැහැ. කරපු එකම දේ ජනතාව පෙළමින් අන්දමින් ජනතා මුදල් ගසා කමින් පවුල් පිටින් පෝෂණය වීම පමණයි. ජනතාවට එදාවේල කන්න නැති පසුබිමක ආණ්ඩුවේ අය ලක්‍ෂ 200-300 වටිනා වාහනවල යන්නේ. ඔවුන් ලක්‍ෂ 700-800 වටිනා මාලිගා හදන්නේ. අනික රට හැම අතින්ම අවුලෙන් අවුලට ගිහින්. ඒවාට විසඳුම් දෙනවා වෙනුවට කෝටි සිය ගණනක් යට කරමින් අකලට මැතිවරණ පැවැත්වීම ගැන ජනතාව කෝප වෙලයි ඉන්නේ. උතුරුමැද ප‍්‍රමුඛ නියඟයෙන් පීඩා විඳින අයට සහන නොදී මැතිවරණ කන්න කියලයි ආණ්ඩුව කියන්නේ. අරවා මේවා දෙන්නම් කියමින් බොරු පොරොන්දු හා පෝරම කොළ බෙදනවා විනා ජනතාවට වටිනා සහනයක් දීල නැහැ. උදුළු තල, දෑකැති, හට්ටි, වළං, මදුරු දැල් වගේ දේ දීලා ඔවුන් රවටා ගන්නයි ආණ්ඩුව හදන්නේ. එජාපය ලෙස අපි බලකරන්නේ නියඟයෙන් පීඩාවූ හැම පවුලකටම රු. ලක්‍ෂයක් දිය යුතු බවයි. ඡන්ද මැද ජනතාවට මුදල් දුන්නා කියා එජාපය උසාවි නොයන බවට ලිඛිතව ප‍්‍රකාශයක් ලබාදෙන්නත් අපි සූදානම් කිව්වා. අනික නැගෙනහිර යුද්ධය ඉවර වුණත් ජාතීන් 03 දැඩි අවිශ්වාසයකින් ඉන්නේ. ඔවුන්ට යුද්ධය නිමවුණාට ප‍්‍රශ්න දැඩි වුණා මිසක් කිසිම සහනයක් නැහැ. සබරගමු පළාතේ ජනතාවත් රටේ සෙසු ප‍්‍රදේශවල අය වගේම අධික ජීවන බරින් විරැකියාවෙන් අධ්‍යාපන, විදුලි හා සියලූ අවුල්වලින් බැට කනවා. මේ නිසා තැතිගත් ආණ්ඩුව ජනතාවට කළ සේවයක් ගැන කියන්නේ නැතුව එජාපය විකල්පයක් නොවන නිසා අපිටම චන්දය දෙන්න කියනවා. ඒත් මෙතෙක් රැවටුනු ජනතාව මෙවර හරි තීන්දුව ගන්නා බව ස්ථිරයි.   * ප‍්‍රශ්නය:- ඒත් රට පුරා විශාල සංවර්ධනයක් දියත්වන බව ආණ්ඩුවේ විග‍්‍රහයයි. ඔබ එය අමතක කරන්නේ ඇයි? පිළිතුර:- රටයි ජනතාවයි අනාගත පරපුරයි මේ තරමට උගස් කරලා බාල සංවර්ධනයක් කිරීම ඉතා හානිකරයි. 1948 ඉඳලා 2005 දක්වා. රු. බිලියන 2200ක් ණය ගත් ලංකාව 2005 සිට මේ දක්වා වසර 06ට ඒ වගේ දෙගුණයකටත් වඩා එනම් රු. බිලයන 5200ක් ණය අරන් තිබෙනවා. එජාප කාලේ රු. 80,000ක් එක් පුද්ගලයකු ණය බවට කෑගහපු ශ්‍රීලනිප, වම හා වීරවංශ, චම්පිකලා අද එක් අයෙක් රු. දෙලක්‍ෂ පනස්දාහක ණය කාරයෙක් කර තිබෙනවා. ආශ්චර්ය කියන්නේ  ඕකටද? රට ණය කරලා කරන සංවර්ධනය හරියට නොකළොත් අනාගත පරපුරම අනතුරේ. ණය අරන් එජාපය එදා මහවැලිය හැදුවා. මේ රටේ විදුලියෙන් 50%ක් හා වගා ජලය දෙන්නේ ඒ හරහායි. ඒත් අද රට උගස් කරලා මේ ආණ්ඩුව කරන වැඩ ඔක්කොම අසාර්ථකයි. නොරොච්චෝලේ හැමදාම කැඩිලා. හම්බන්තොට හා ඔලූවිල් වරායවලට නැව් එන්නෙ නෑ. පාරවල් හදන්නේ ටෙන්ඩර් නැතිවයි. කාපට් කිලෝ මීටරයක් හදන්න යන මුදල මෙන් හතර ගුණයක් හිතවත් කොන්ත‍්‍රාත්කාරයන්ට ගෙවනවා. මේ හරහා අතයට කොමිස් ගන්න අයගේ පරම්පරා 7 ම ගොඩ. ඒත් හාමතේ ඉඳන් ජනතාවටයි මේවා ගෙවන්න වෙන්නේ. ජනතාව දැන් මේවා දන්නවා. මේ රටට උපරිම සේවයක් කරලා පෙන්නුවේ එජාපය බවත් ජනතාව දන්නවා. මේ ඡන්ද ඉතා අමාරු බව ආණ්ඩුව දන්නා නිසා ලැජ්ජා නැතුව ආණ්ඩුවේ ප‍්‍රබලයො දැන් එජාපයට මඩ ගහන්න පටන් අරන්.   * ප‍්‍රශ්නය:- 94 ජනපතිවරණයේදී එජාප නායකයා රනිල් ප‍්‍රතිවාදී පිලේ චන්ද්‍රිකාට යටින් සහාය දුන් බවට ඇමැති මෛත‍්‍රිපාල වසර 18කට පසුව කියන කතාව එල්ලෙන්න වැල් නැතිව ආණ්ඩුව ගහන මඩක් බව එජාපයේ ප‍්‍රතිචාරයි. දෙපාර්ශවයේ මේ සංවාදයේ අලූත්ම තත්ත්වය කෙබඳුද? පිළිතුර:- ශ්‍රීලනිපයේ මහ ලේකම් රටට විහිළු සපයන හා මඩ දේශපාලනය කරන තැනට වැටීම ගැන එජාපය කනගාටු වෙනවා. එතුමා මේක කියපු ගමන් මම එජාපය වෙනුවෙන් කිව්වේ චන්ද්‍රිකා මැතිනිය ලවා ඒක ඔප්පු කරවන්න කියලයි. හොඳම සාක්කිය එයයි. ඒත් චන්ද්‍රිකා මැතිනිය පැහැදිලිවම කියලා තිබුණා ඇමැති මෛත‍්‍රීගෙ මේ කතාව අලි බොරුවක් කියලා. එතැනින්ම මේ වාදය ඉවරයි. උතුරු මැද හා විශේෂයෙන් පොලොන්නරුවේ හා රටපුරා දැන් ආණ්ඩුවට ඉතා අවාසි පසුබිමක් නිර්මාණය වෙලා නිසා මඩවලින් හරි ගොඩ ඇවිත් ඡන්ද දිනන්නයි ඇමැති මෛත‍්‍රී බලන්නේ. 94 දී රනිල් නායකතුමා චන්ද්‍රිකාට උදව් කරපු නිසාද බටලන්ද කොමිසම ගෙනැත් එතුමා හිරේ දාන්න ඇය දැඟලූවේ. 94 දී එහෙම පාවාදීමක් වුණා නම් 99 ජනපතිවරණයේදී චන්ද්‍රිකාම ඔය කතාව එළිකරලා වාසි ගන්නේ නැද්ද? අනික 94 දී චන්ද්‍රිකා අගමැති වෙලා මාසයකින් පැවැත්වූ ජනපතිවරණය දිනන්න චන්ද්‍රිකාට කාගේවත් සහාය අවශ්‍යද කියලා දේශපාලනයේ මුල් අකුරු දන්නා අයටත් තේරෙනවා. අනික මහින්ද-රනිල් තීරණාත්මක 2005 ජනපතිවරණයේදී ඇමැති මෛත‍්‍රී මේක එළි කරලා මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සහාය නොදුන්නෙ ඇයි කියලත් අපි අහනවා. ඔහු දේශපාලනය ගැන ලියපු පොත්වල මේ කරුණු නොතිබුණේ ඇයි? ඒත් දැන් එතුමා දියාරු උත්තර පත්තරවලට කියලා ඇඟ බේරා ගන්න හදනවා. එතුමා වැටෙන වැටිල්ල දරාගන්න බැරුව වීදුරු ගෙවල්වල ඉඳන් අනුන්ට මඩ ගහලා දැන් හොඳටම අමාරුවේ වැටිලා ඉන්නේ. පක්‍ෂ මහලේකම් මේ තත්ත්වයට පත්වීම ගැන ශ්‍රී ලනිපයේ අයම අපත් සමග ඔහුට දොස් කියනවා. මෛත‍්‍රී ඇමැතිතුමාට පැවරුණු වගකීම් ඉටු කරගන්න බැරුවයි ඉන්නේ. අගමැති හීනයත් දැන් බොඳ වෙලා. සෞඛ්‍ය ඇමැති ලෙස ඩෙංගු මදුරුවා මර්දනය කරගන්නත් බැරි වුණා. රජරට වකුගඩු රෝගය ශීඝ‍්‍රයෙන් පැතිර යන ජාතික විපතක්. එය මර්දන කිරීමේ වාර්තා තුනක් ලෝක සෞඛ්‍ය සංවිධානය එතුමාට බාර දුන්නත් ඔහු ඒවා කි‍්‍රයාත්මක නොකර හංගාගෙන ඉන්නවා. රජ රට ජනතාව ගැන හැඟීමක් නැති පළාත් සභාවත් මේ ගැන සද්ද නොකර ඉන්නවා. එජාපය බලයට ආ විගස රජරට වකුගඩු රෝගය වළකන පියවර ගන්නවා. දැයට කිරුළට රු. දශ ලක්‍ෂ 22,000ක් නාස්ති කළත් රජරට ජනතාවට පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් කරන්න ආණ්ඩුව ක‍්‍රියා කළේ නැහැ. ජනතාව තේරුම්ගත යුත්තේ එයයි. ඇමැති මෛතී‍්‍රට පෙර සෞඛ්‍යය භාරගෙන, හිටපු ඇමැති නිමල් සිරිපාලට දැඩි ප‍්‍රහාර දියත් කළේ දුෂිත චෝදනා එල්ල කරමිනුයි. ඒත් අද තිබුණටත් වඩා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය දුෂිත බව කවුරුත් කියනවා. අද පොලොන්නරුවේ වතුර නැත්තේ සන්ධාන බලවතුන්ගේ ක‍්‍රියාකලාපය නිසා බවට ජනතාව චෝදනා කරනවා. පරාක‍්‍රම සමුද්‍රයේ තාවුල්ලේ හෝටල් හැදුවෙ කවුද හා හෝටලය නිසා වැවේ වතුර නිරපරාදේ අපතේ යවන්නේ කවුද? බැංකුවකට සින්න වෙන්න ගිය තවත් හෝටලයක් වෙන ගැනුම්කරුවන්ට එන්න නොදී පිස්තෝල පෙන්නලා ගත්තේ කවුද? ගොවියාගේ වී කොල්ලකමින් ඔවුන්ට සොච්චම් මුදලක් දීලා කෝටිපතියන් වෙන්නේ කවුද? මහවැලි ගෙඟ් වැලි ජාවාරමේ ඒකාධිකාරය පවත්වමින් කෝටි ගණන් හම්බ කරන්නේ කවුද? ඖෂධ ජාවාරමෙන් ගසා කන්නේ කවුද කියල මම ඇමැති මෛත‍්‍රීගෙන් අහනවා. ආණ්ඩුවේ ඇමැතිතිවරුන්ගේ පවුල්වලට එක නාමයෝජනාවක් නොදෙන බව කිව්වට ඔවුන් බුරුතු පිටින් අද ඡන්දය ඉල්ලනවා. මේවාට උත්තර නොදී අනුන්ට මඩ ගහලා වැඩක් නැති බව මම එතුමාට මතක් කරනවා. මඩවලින් ජනතාව නොමග යවන්න බැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 40ක් විතර පාවිච්චි කරන්නේ කවුද කියල සොයා බලන ලෙස එජාපය ආණ්ඩුවට අභියෝග කරනවා.   * ප‍්‍රශ්නය:- ඒත් රනිල් නායකතුමා 94 දී කළ පාවාදීම ඔප්පු කළ හැකි සාධක හා ලියකියවිලි තිබෙන බව කියන ඇමැති මෛත‍්‍රී එජාප නායකයාට සංවාදයකට අභියෝග කරනවා නේද? පිළිතුර:- ඇත්තටම ඇමැති මෛත‍්‍රීපාලට විවාදයකට අභියෝග කළේ මමයි. ඒත් ඔහු ඒකෙන් පැනල ගිහින් රනිල් මහත්තයා එනවා නම් සූදානම් බව දැන් කියනවා. එජාප නායකයා කවුද ඔහු කවුද කියලා ඔහු මුලින්ම තේරුම් ගන්න  ඕනෑ. එජාප නායකතුමා දෙවරක් අගමැතිවූ ලෝකය පිළිගත් ඉතා උගත් මේ රටේ බලවත්ම පක්‍ෂයේ නායකයායි. ජනාධිපතිතුමා වගේ පක්‍ෂ නායකයෙක් අභියෝග කළා නම් නායකතුමා අභියෝගය බාර ගනීවි. මම කළ අභියෝගයෙන් ඇමැති මෛත‍්‍රී පැනල යන්නේ මේ කතාව මඩක් නිසාම තමයි.   * ප‍්‍රශ්නය:- මෙවර ජන්දය තිබෙන පළාත් 03 විවිධ ජාතීන් වසන පරස්පර දේශපාලන පසුබිම් සහිත ඒවායි. ඊට අදාළ එජාප දැක්ම කෙබඳුද? පිළිතුර:- මේ මැතිවරණය ගෙනාවේ ජනතාවට තිත්ත වූ ආණ්ඩුවට යම් කිහිලිකරුවන් කර ගන්නයි. රටම අවුල් නිසා ජනප‍්‍රියතාව ඉවර බව ආණ්ඩුව දන්නවා. ජනතාවට කරපු සේවය ගැන පෙන්නන්න දෙයක් නැති නිසාදෝ සර්වඥ ධාතු ගෙනැත් මැතිවරණ ප‍්‍රදේශවලයි පෙන්නුවේ. ධාතු බලන්න ආපු ජනතාවට දේශපාලන පත‍්‍රිකා බෙදුවා. බුදු දහම ඡන්දවලට යොදා ගැනීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි. දැන් ලාජ්ජාව වහගන්න ධාතු ප‍්‍රදර්ශනය සතියකින් දිගු කරලා ඡන්ද නැති ප‍්‍රදේශවලටත් ගෙනියනවා. ආණ්ඩුව මෙතෙක් යුද්ධය හා දේශපේ‍්‍රමය විකුණුවේ. මේ පාර ඒක හරි නොයන තැන ධාතූන් වහන්සේලාට නින්දා කරනවා. අද මේ ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ගේ ජනතා මුදල් ගසා කෑම් ගැන ජනතාව කෝප වෙලයි ඉන්නේ. වැරදි කරන අය රැකීම මිසක් දඬුවම් දීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නොවෙයි. බාල ඉන්ධන ගෙනාපු, අධ්‍යාපනය අවුල් කරපු, කොටස් වෙළෙඳපොළ ගසාකාපු, කප්පම් ගනිපු මිනීමැරුම් චෝදනා තියෙන, මත්ද්‍රව්‍ය ගැන නම් ගෑවුණු කාටත් ආණ්ඩුව රැකවරණ දෙනවා. අද රට පුරා නිදන් හාරන්නේ කවුද? කෞතුකාගාර හොරකම ඇල්ලීමේ ටෙලි නාට්‍යය ලිව්වේ කවුද කියල අපි අහනවා. සේවක අර්ධසාධක අරමුදල ගසා කාපු ආණ්ඩුවට ඒක දිගට කරගෙන යන්න අපි ඉඩ දුන්නේ නෑ. දැන් ඒ නිසා සමෘද්ධිය පවුල් ලක්‍ෂ 20, සමෘද්ධි ලාභීන් ලක්‍ෂ ගණනක් සමෘද්ධි නියාමකවරු 20,000ක් රැකියා නැතිවෙලා අනාථ කරලා ඒ මුදල් ටික ”දිවි නැඟුම” කියලා බොරුවක් හරහා ගසා කන්නයි යන්නේ. ජනතාව මේ පහත් ගසාකෑම්වලට ඉඩ දෙනවා නම් යළිත් සන්ධානය දිනවාවි. උතුරු මැද පළාත් සභාව කරපු එකම දේ ජනතා සේවය නෙවෙයි ගසා කෑම විතරයි. නැව් අයිති කාටද කියලාත් වැව්වලින් ගසා කාලා අතටම අහුවෙලා ඉන්නේ කවුද කියලාත් අපි අහනවා. සබරගමුව පළාත් සභාව අන්ත දුෂිත හා වැරදිවලින් අකාර්යක්‍ෂමතාවෙන් පිරුණු එකක් බව ඇමැති වාසුදේව ගිය සිකුරාදා පත‍්‍රවලට කියා තිබුණා. තවත් කතා මොකටද? නැගෙනහිර පළාත් සභාවට මධ්‍යම ආණ්ඩුව මුදල් නොදුන් නිසා කිසි දෙයක් කරන්න බැරිවූ බව පළාත් සභාවේ හිටපු අය වසර 04 පුරාම කිව්වා. ඒ හැන්සාඞ්වල ඒවා තියෙනවා. අද රටේ ඉහළම බුද්ධිමතුන් පවා පාරට දාලා තියෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය, සමෘද්ධි බේරාගෙන ගසාකෑම් නවතලා සහන ලබන්න ජනතාවට අවශ්‍ය නම් බාල බඩු වෙනුවට අඩු මිලට හොඳ භාණ්ඩ ලබාගෙන අතමිට සරු අනාගතයක් අවශ්‍ය නම් මේ ඡන්දයේදී එජාපය දිනවන්න. නැත්නම් ජනතාව විසින්ම තමන්ගේ හා දු දරුවන්ගේ අනාගතය විනාශ කරගත්තා වේවි.

 

එජාප මහලේකම් තිස්ස අත්තනායක

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

රට හැම අතින්ම අවුලෙන් අවුලට

රාජා Thursday, 06 September 2012 02:39 PM

මෙයාලට දුන්නොත් සේරම හරියයි කියල හිතන්න තරම් මෝඩ අය ඉන්නවද?(වි)

:       0       0

සුනිල් Monday, 03 September 2012 03:23 PM

දැන් නිකම් විපක්ෂයක් නැහැ වගේ (දී)

:       0       0

ගුණවර්ධන Tuesday, 04 September 2012 10:00 PM

ඇත්තෙන්ම අගය කරනවා. ජයක් ලැබෙන තුරු අත් නොහරින්න. (නි)

:       0       0

අසින්ත Friday, 07 September 2012 05:08 PM

කතාව ඇත්ත (දී)

:       0       0

ගාමිණී-කුවෙයිට් Tuesday, 04 September 2012 02:05 AM

කාලෙකට පස්සේ ඇගට දැනෙන කතාවක්. ඔහොම යං ඔහොම යං. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 118 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5945 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 881 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1473 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 135 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site